UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සන්නිවේදනයේ හා ප්‍රවාහනයේ උපරිම දියුණුව සනිටුහන් කරන මේ යුගයේ සිරිපා වන්දනාව එතරම් දුෂ්කර කටයුත්තක් නොවුවද මෙයට වසර පනහකට පමණ පෙර සිරිපා කරුණා කිරීම විශාල අභියෝගයක් විය. ඊට හේතුව සිරිපා වන්දනාවේ මුල් කොටස පවා අතිශය දුෂ්කර ගමනක් වීමයි.

1940 දී සිරිපා වන්දනා නඩ සංවිධානය කර ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු ප්‍රසිද්ධ නඩේ ගුරෙකු විය. ගාල්ල දඩල්ලේ ජීවත් වූ ඔහු ‘දඩල්ලෙ මුත්තා’ නමින් වන්දනාකරුවෝ හඳුනාගෙන සිටියහ.

1940 උඳුවප් පොහොය උදාවී දෙසතියක් ඇවෑමෙන් දඩල්ලේ මුත්තා සංවිධානය කළ එක් ශ්‍රී පාද වන්දනා ගමනක රසබර තතු මෙසේ ය. හිනිදුම, පනංගල හා උඩුගමින් බරකරත්ත වල නැගි වන්දනා ගමන්කරුවන් පිරිස සන්ධ්‍යා යාමය වනවිට දඩල්ලේ මුත්තාගේ නිවසට එකතු පහදු වී සිටියහ. වන්දනාකරුවන් දහඅට දෙනෙකුගෙන් සමන්විත වූ මේ නඩය සන්ධ්‍යා සමයේ පළමුව පියනැගුවේ ගාල්ලේ වටරැක පුරාණ රජමහා විහාරයට ය. එහිදී නා හිමිපාණන් බැහැදැක සියලු දෙනා හෙට දින අරඹන වන්දනා ගමන ගැන නායක හාමුදුරුවන් සමග සුහද අල්ලාප සල්ලාපයක නියැලුණහ. ආගමික වතාවත් වලින් පසු පිරිසට සෙත් පතා සෙත් පිරිත්, දෙසු හාමුදුරුවෝ සියලු දෙනාගේම අත්වල පිරිත් නූල් ගැට ගැසූහ. පසුදින අරුණැල්ලේ සිසිලත් සමග පිබිදුන වන්දනා ගමන්කරුවන් පිරිස සියලු කළමනා කරත්ත තුනෙහි පටවා ගෙන, මහා හඬින් සාදුනාද නංවමින් ගමන ඇරඹූහ.


ඡායා - ලක්ෂාන්

පිරිස ගාල්ල දඩල්ලේ සිට මාතරටත්, මාතරින් රත්නපුරයටත් ගමන් ගත්හ. සිරිපා ගමන් මඟ ලෙස තෝරා ගත්තේ කුරුවිට එරත්න නම් වූ දුෂ්කර ගමන් මාර්ගයයි. ගමන් මාර්ගය කෙතෙක් දුෂ්කර වුණද පිරිසට නඩේගුරා කෙරෙහි දැඩි විශ්වාසයක් විය. එසේම ගමන සාර්ථක වනු ඇතැයි යන සුබවාදී බලාපොරොත්තුවක් ද හද පත්ලේ නිදන්ව තිබුණි.

වරින්වර වැසි හා සුළං වලින් ගමනට බාධක එල්ල වුවද ඒ බාධක සියල්ල හමුවේ පිරිස නොසැලී සිටියහ. ගමනේ් පළමු සැතපුම දහය පසුකළ විට, රාත්‍රී යාමයේදී පිරිස තරමක් බියට පත් කරවන සුළු සිද්ධියක් ඇතිවිය. රාත්‍රී සඳමඩල මෝදු වී තිබුණ නිසා හාත්පස අන්ධකාරය තුනීවී ගොස් තිබුණි. ඒ නිසාම වන්දනා නඩය පන්දම් හා ලන්තෑරුම් නිවාදමා ගමන් කරමින් සිටියහ.

වනාන්තරය තුළින් හදිසියේම ඇසුනේ කොළඅතු ඉති බිඳී පොඩි පට්ටම් වන හඬකි. දඩල්ලේ මුත්තාගේ තියුණු දෙසවන ඊට හොඳින් සංවේදී විය. ඉතාම ඉක්මනින් අණකිරීමක් බඳු හඬක් ඔහුගේ මුවින් නිකුත් විය. ‘හැමෝම තුන්සරණ කියන එක නවත්තල හිතින් විතරක් තුන් සරණෙ කියන්න. ඉස්සරහට යන එක නවත්තල ඔහොම පොඩ්ඩක් හිටිමු’ ඔහුගේ අණ සියලු දෙනා අකුරටම පිළිපැද්දහ. විනාඩි පහළොවකට පසු වනාන්තරය තුළින් මතුවූයේ තුන්පත් රෑනකි. සියලු දෙනාගේම පපු කැනිති ඩිග් ඩිග් ගා ගැසෙන්නට විය. එහෙත් කලබල නොවු වන්දනා ගමන්කරුවන් නිසලව තුන්පත් රෑනේ දර්ශනය දෙනෙතින් ස්පර්ශ කළහ. වනඅතු ඉති කඩා කමින් පාඩුවේ තුන්පත් රෑන සීරුවට ගමන් කළහ. අලි තිදෙනා නොපෙනී ගොස් විනාඩි දහයකට පසු දඩල්ලේ මුත්තාගේ කටහඬ අවදි විය. ‘දැක්කනේ සතුන්ට වුණත් මෛත්‍රී කෙරුවොත් අපට උන්ගෙන් කිසි අතුරු අන්තරාවක් නෑ’.

සැහැල්ලු වී ගිය සිත් ඇති වන්දනා ගමන්කරුවන් පිරිස තවත් ටිකක් දුර ගෙවා ගොස් හදවතේ ඇතිවූ පී‍්‍රතිය නිසා මෙන්ම සුදුසු තැනක් බලා ලිපක් සාදා වතුර හැලියක් ඉතිර වූහ. කහට වතුර වත්කර අග්ගලා කා කහට බිවූ පිරිස ගිමන් නිවා ගෙන යළි ගමන ඇරඹූහ.

කරුණාව දයාව මෛත්‍රි හමුවේ අතීතයේ කෙතරම් දුෂ්කරතා පැමිණියද වන්දනා ගමන් කරුවන්ට කිසිදු බාධාවක් හිරිහැරයක් නොවීය.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]