UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් නවම් පොහොය

සියලු පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතු ය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය.

ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු වූයේ එවන් දිනකදීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂු සංඝයා හට ඕවාද ප්‍රාතිමෝක්ෂය, දේශනා කොට වදාළේ ද නවම් පුනු පොහෝ දිනකදීය.

එමෙන්ම තථාගයන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තුන් මසකට පෙර ආයුසංස්කාරය කළේත් නවම් පුනු පොහෝ දිනකදීය.

සම්බුද්ධ ශාසනයෙහි මෙවැනි වූ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නවම් පොහෝ දිනය බොදුනුවන්ට විශේෂිත වූ ශාසනික වශයෙන් වැදගත් වන දිනයකි. මහා කාරුණික තථාගත බුදුපියාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට පිළිවෙළින් දකුණත් සවු සහ වමත් සවුයන ශාසනික තනතුරු පිරිනැමීම අප මනාව දන්නා සදහම් කාරණයකි. ඒ සඳහා උන්වහන්සේ දෙපළ සසර මහත් පාරමී පිරූහ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වේළුවනාරාමය උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් දහසක් ද, සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් ප්‍රධාන කොටගත් දෙසිය පනහක් භික්‍ෂූන් වහන්සේ ද යන එක් දහස් දෙසිය පනහක් මහ රහතන් වහන්සේගෙන් සෝභාමත් විය. මේ භික්‍ෂූන් වහන්සේ පිරිස අතරේදී සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් හට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සිදුවිය.

බුදු සසුනෙහි මුලින් පැවිදි උපසම්පදා ලත් භික්‍ෂූන් වහන්සේ සිටියදී තථාගතයන් වහන්සේ විසින්, මෑත කාලයේ බුදුසසුනෙහි පැවිදි උපසම්පදා ලත් මේ සැරියුත් හා මුගලන් හිමිවරුන්ට අග්‍රශාවක තනතුරු පිරිනමන ලදැයි සමහර භික්‍ෂූන් වහන්සේ අතර කතාබහක් මතුවිය.

තථාගතයන් වහන්සේ වදාළේ මේ සැරියුත්, මුගලන් තෙරුන් වහන්සේ දෙනම අග්‍ර ශ්‍රාවක බව පතාම සසරෙහි බොහෝ පින් දහම් කළ බවයි. උන්වහන්සේලාගේ අතීත ප්‍රවෘත්ති කතාව ගෙන හැර දැක්වූහ.

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස හට උන්වහන්සේලාගේ හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේ නවම් පුනු පොහොය දිනකයි.

ඛන්තී පරමං තපො නිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් වූ තපස් ගුණයෙකි. බුදුවරු නිවන උසස් කොට කියත්. අනුන් නසන්නා පැවිද්දකු නොවේ. අනුන් පෙළන්නා ශ්‍රමණයකු නොවේ.

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානු සාසනං

සියලු පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතු ය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

අනුපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ම සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තංච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො එතං බුද්ධනසාසනං

අනුන්ට හෙළා තළා කතා නොකළ යුතු ය. අනුන්ට හිංසා නොකළ යුතු ය. ප්‍රාතිමෝක්‍ෂ සංවරෙයෙහි පිහිටිය යුතුය.

ආහාරයෙන් පමණ දත යුතු ය. විවේක සේනාසනයෙහි ඇලුම් කළ යුතුය. සමවත් වැඩිය යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේ, එක් ස්ථානයකට රැස් කරවා මසකට හෝ තෙමසකට හෝ සය මසකට හෝ වරක් ඉහත සඳහන් ඕවාද ප්‍රාතිමෝක්‍ෂ දේශනාව කොට වදාරති. එය බුදුහිමියන්ගේ සිරිතක් ද විය.

නවම් පොහොය දිනය අපට වැදගත් වන අනෙක් විශේෂ කාරණය නම් බුදුන්වහන්සේ ආය සංස්කාරය හළේ නවම් පොහොය දිනකදී වීමයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපල චෛත්‍ය වෙත එළඹුණ සේක. එහි වැඩම කර පැනවූ අසුනෙහි වැඩහුන් සේක. එහිදී ආනන්ද හිමියන් අමතා සතර සෘද්ධිපාද වැඩු තැනැත්තහුට කැමැති නම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කලක් ජීවත් විය හැකි බව තෙවරක්ම ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන්ට මාරාවේශය වී සිටිය හෙයින් සිහි එළවා ගත නොහී ආයුකල්පයක් වැඩ සිටිනා මෙන් බුදු හිමියනට ආරධනා කරන්නට අමතක විය.

ඉන් පසු නොබෝ වේලාවකින් වසවත් මරුන් බුදුරජාණන් වහන්සේ වෙත ළඟා වී නුඹ වහන්සේට පරිනිර්වාණයට කාලය මෙය යැයි දන්වා සිටීය. බුදුරජාණන් වහන්සේ වසවත්මරුන් අමතා ප්‍රකාශ කළේ එතැන් පටන් තුන් මසක් ගත වූ තැනදී පිරිනිවන් පානා බවයි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ සේක. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ එ කෙණෙහිම මහ පොළොව කම්පා විය. අහසෙහිද ගිගුරුම් ඇති වන්නට විය.

මෙවැනි කරුණු කාරණා හේතුවෙන් නවම් පොහොය බෞද්ධයනට සුවිශේෂ වැදගත්කමක් ගෙනදෙයි.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]