Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ යුගයේ බුදුගුණ වැයුම්

පැරණිසිංහල කවිය බුදු දහමින් මැනවින් පෝෂණය වූවකි. පෙදෙන් බුදු සිරිත යැයි සියබස්ලකරෙහි සඳහන් ගීයට අනුව පැරණි සිංහල කවීන් කාව්‍ය රචනයේදී සිය වස්තු විෂය සඳහා බුදු සිරිත, බුදු දහම පාදක කරගත් ආකාරය සිංහල සාහිත්‍ය වංශය විමසා බලන විට අපට පසක් වෙයි.

කෝට්ටේ යුගය වන විට සිංහල කවිය ගතානුගතිකත්වයෙන් මිදී විවිධ විෂයයන් කරා යොමුවන ආකාරයක් දැක ගත හැකිය. ස්වභාව සෞන්දර්යය වර්ණ යටත් කාලීන සමාජ තුතු පිළිබදව නව දෘෂ්ටියකින් බැලීමටත් සිංහල කවීන් නැඹුරු වී ගිය ආකාරය පෙනේ. ක්‍රමයෙන් මහනුවර යුගය වන විට අපේ පැරණි සිංහල කවිය ව්‍යක්ත සම්ප්‍රදායෙන් බැහැරව ගොස් ගැමි කාව්‍ය සම්ප්‍රදායක් කරා ගමන් කරන්නට පටන් ගත්තේය. විශේෂයෙන් සිංහල ජන කවි එළි දකින්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි.

මෙලෙසින් කුමන කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කළත් සිංහල කවියා බුදු දහම හා බැඳුණු බෞද්ධ සංස්කෘතියෙන් බැහැරව යාමට කල්පනා කළේ නැත. විචාරක මතයන්ට අනුව සිංහල කවිය මහනුවර මාතර යුග වනවිට කාව්‍ය ආකෘතිය වෙනස්වීම හේතුවෙන් කවියෙහි සම්භාව්‍ය ගුණය පරිහාණි තත්ත්වයකට පත්වූ බව පෙනෙන්ට තිබේ.

මෙලෙස ගමන් කළ සිංහල කවිය කොළඹ යුගය වන විට වස්තු විෂය අතින් බුදු දහමට පමණක්ම සීමා කිරීමට නොසිතා ලෞකික වස්තු විෂයයන් කරා යොමු කිරීමට ද පටන් ගැනිණ. එහි ලා වැදගත්ම ප්‍රවිෂ්ටයක් ලෙස ස්වභාව සෞන්දර්යය වර්ණනා පෙන්වා දීමට පුළුවන. එසේ වුවත් කොළඹ කවියා ද බුදු ගුණ වර්ණනය අමතක කර නැත. කොළඹ යුගයේ ආරම්භක කවින් වූ පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, එස්.මහින්ද හිමි වැනි කවීන්ද මෑත යුගය වන විට මීමන පේ‍්‍රමතිලක , මීදෙණියේ විමලානන්ද හිමි, සාගර පලන්සූරිය, යූ.ඒ.එස්. පෙරේරා වැනි අයත් සිය කවි රචනා මගින් බුදු ගුණ වර්ණනා කළහ.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවාදරයක් දැක් වූ කොළඹ යුගයේ කවියෙකි. බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා , බුදු වැනීමට ඉමහත් දක්ෂතාවයක් පෙන් වූ හෙතෙම බුදු ගුණ වැනුවේ මෙලෙසයි.

“නොහැඟුම් මල් තුරැති හද උයනෙහි නොනිමි
බැතිපෙම් මිණිමුවා ගඳ කිළියක් තනමී
නරදම් සැරිතුමාණන් එහි තුළ මහිමි
බව නිම් මා දකින තුරු වැඩ හිඳු වනෙමි “

තම හදවත බුදුරදුන්ට වැඩ සිටින්නට ගන්ධ කුටියක් කොට පුදන බව කවියා පවසයි.

ස්වභාව සෞන්දර්යය වර්ණනයට ඉමහත් දක්ෂතාවයක් පෙන්වු මීමන පේ‍්‍රමතිලක කවියා බුදු ගුණ වර්ණනයටද පසු බට නොවූ බව කිව යුතුය.

රෞද්‍ර වූ මාරයා පරදවා සියලු කෙලෙසුන් මුලිනුපුටා දමා බුදු බව ලැබූ බුදුරජාණන් වහන්සේ තම චින්තාමාණික්‍ය රත්නය බව කවියා කියන්නේ මෙලෙසය.

“ බිඳ රුදු මරුගෙ එඩි සැම කෙලෙසුන්ද දමා
අම බිඳු වැහෙන සැපතක් ගත් වෙතට තමා
සිත හුදු මෙතින් කරුණාවෙන් තිබෙන තෙමා
මගෙ බුදු මැණික මගෙ සිතුමිණ රුවන තමා”

මීදෙණියේ විමලානන්ද නාහිමියෝ කොළඹ කවි යුගය දීප්තිමත් කළ සම්භාව්‍ය කවියෙක් වූහ. උන්වහන්සේ බුදු ගුණ වැනීමට ඉමහත් රුචියක් දැක්වූහ. පැරණී සම්භාව්‍ය කවීන්ගේ ගතානුගතික උපමාවන් කාව්‍යකරණයේ දී යොදා ගනිමින් බුදුරදුන්ගේ අපරිමිත ගුණ සමුදාය අතිඋදාර බව ප්‍රකට කළහ.

“ බැති බර සිතින් සිරිපද ළඟ තබන මල
සුරපුර එකල සැපතට කළ හැකි ද මිල
ගරුතර සමිඳ එය උවමින් බලන කල
සමුදුර කර වටක් ගැඹුරින් සුනෙර මුල”

කොළඹ කවි යුගය හැම අතින්ම ශෝභමානවත් කළ ප්‍රතිභා පූර්ණ යූ.ඒ.එස්. පෙරේරා කවියා ‘ සිරි අය්යා’ නමින් ප්‍රකටව සිටියේය. ඔහු සිය බුදුගුණ වර්ණනාවලින් බොදු බැතිය ප්‍රකට කළ අයුරු. සුන්දර ජනකය.

“සදහම් දහර එන සඳ ඔබෙ දෙතොල ගලා
දෙව්රම් විහාරය අසබඩ සතෙකු වෙලා
උනිනම් මාත් ඇත අද පව් ඉවත හෙලා
එය කනගාටුවෙන් පවසමි කඳුළු සලා”

දෙව්රම් විහාරයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ විහාරය අසල තිරිසන් සතෙකු වී හෝ ඉපිද සිටියා නම් සැනසීම ලබා ගැනීමට හැකියාව තිබූ බව සිහි කරමින් කඳුළු සලමින් දුක්වෙන ආකාරය කියා පායි.

උපනන්ද බටුගෙදර කොළඹ යුගයේ සිටි තවත් එක් කවියෙකි. රස කවි සාහිත ලොවට තිළිණ කළ හෙතෙම දොම්නස් බව සසරෙහි දුක් බව නපුරු බව නුවණින් දැක ඉන් මිදීමට දහම් දෙසූ ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ අමතනුයේ හද පිරි කරුණාවෙනි.

“දොම්නස් පාන බව දුකගෙහි නපුර පෙනී
ඉන් ගැලවෙන අයුරු තම නුවණටම දැනී
පෙන් වූ නිවන් නිවනක් වෙත තිබෙන ගිනී
තුන් ලෝ නාථ සම්බුදු හාමුදුරු වනී”

කෑගල්ලේ ඩී.ටී. මල්ලව කවියා බුදුගුණ, වර්ණනා කළ කොළඹ යුගයේ කවියෙකි. හෙතෙම බුදුගුණ සයුර පිහිනු දක්ෂ කවියෙක් විය.

“ පිපිරෙන දැවෙන කතරක මැද සියලු දෙස
බැස යන සිහිල් දිය දහරක් පරිදි රස
ඔබ ගුණ තෙරට මුව පැටවෙකු පරිදි බැස
සරතැස නිවීමට අවසර තිලොව ඇස”

දැවෙන කාන්තාරයට සීතල ජල ධාරාවක් ලෙස බුදුරදුන් දකින කවියා අහිංසක මුව පොව්වකු මෙන් උන්වහන්සේගේ ගුණ සයුරට බැස පිපාසය නිවා ගැනීමට අවසර පතයි.

මේ ආකාරයට කොළඹ යුගයේ බුදුගුණ වැයුම් රාශියක් අපට දැක ගැනීමට පුළුවන.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.