Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාව ගැන ගුරුවරුන්ගෙන් අසමු

මෙය 2011.01.19 වන දා බුදුසරණ පත්‍රයේ පළ කරන ලද Ask the Teachers ලිපියෙහි පර්වර්තනයකි.

ප්‍රශ්නය : තුන් අවුරුදු හුදකලා හෝ ඊටත් වැඩි දීර්ඝකාලීන භාවනාව කෙරෙහි අවධානය යොමු කරන්නට සිතන්නේ කවර සුදුසුකමක් පදනම් කර ගෙන ද? එහිදී සංවේදී පුද්ගලයන් ට උපරිම ප්‍රතිලාභය ලබාගත හැක්කේ කෙසේ ද? එසේ කළ හැකි වන්නේ දෛනිකව මු‍්‍රළු පවුල සහ සමාජ වටපිටාව හෝ ආශ්‍රමික යෝගියකු ලෙස පුහුණුව ලබමින් ද?

ගුරු සෙන්කායි බැලන්ච් හාර්ට්මන් :

මම එක්තරා කණ්ඩායමක් අතර සිට දැඩි අවධානයක් සහ අන්තර් ක්‍රියාකාරිත්වයකින් යුතුව ජපන් සෙන් සම්ප්‍රදාය ප්‍රගුණ කර ඇත්තෙමි. එහෙත් තනිව දිගුකාලීනව හුදකලා භාවනාවක නිරත වීමේ සෘජු පෞද්ගලික අත්දැකීමක් මට නැත. තව දුරටත් නේවාසික භික්ෂූන් සමඟ භාවනා පුහුණුව ලබමින් අවුරුදු කීපයක් ගතකර සිටිමි.

කෙසේ වෙතත් භාවනාව විෂයයෙහි මගේ ගෞරවයට පාත්‍රවූ මිත්‍රයෝ දෙදෙනෙක් මට සිටිති. ඔවුන් විසින් වෙනත් සම්ප්‍රදායයන් තුළත් ප්‍රායෝගික පුහුණුව ලබා ඇත. එයිනුත් ඒක පුද්ගල හුදකලා සම්ප්‍රදාය ඉහළින් ම අගය කළ බවත්, එහිලා ඔවුන්ගේ ඇතැම් පුළුල් අත්දැකීම් මා සමඟ බෙදා හදා ගත් බවක් පෙනේ. පළමුවෙන් ඔවුහු වසර කීපයක් නොව මාස කීපයක් හුදකලා පුහුණුවක් තෝරා ගත්හ. ඔවුන් එසේ කළේ ඔවුන්ගේ ගුරුවරුන් ඒ ක්‍රමය අනුමත කළ හෙයිනි. දෙවැනි පියවරේදී ඔවුහු කෙළින් ම සිය ගුරුවරුන් සමඟ භාවනාව, ආහාර ගැනීම, වැඩමුළු, අධ්‍යයනය සහ වෙනත් ආගමික ක්‍රියාකාරකම් එනම් යෝගාසන, සූත්‍ර ගායනය ආදිය ඇතුළත් දෛනික සැලසුමකට අනුව කටයුතු සූදානම් කළහ. ඔවුන් ඒවා ඉටු කළේ දැඩි සැලකිල්ලෙන් සහ අවධානයෙනි. දැන් ඔවුන් දෙදෙනාම මුහුකුරා ගිය අත්දැකීම් ලද, ගරු කටයුතු ධර්මාචාර්යයෝ ය. ඔවුහු ඒක පුද්ගල හුදකලා භාවනා වැඩ පිළිවෙළ නොකඩවා පවත්වා ගෙන යමින් සිටිති.

ඔබ යෝජනා කරන හැටියට දිරිගැන්වීම විශිෂ්ට චේතනාවකි. ඔබ විසින්ම ඇසිය යුතු ප්‍රශ්නය මඟින් ඔබේ ජීවිතය මෙහෙයවන තෝරා ගැනීම ඔබ දිගට ම කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඒ ප්‍රශ්නය නම් මෙයයි. ”සංවේදී ජීවීන් සඳහා අප ශ්‍රේෂ්ඨතම ප්‍රතිලාභයක් වන්නේ කෙසේ ද?” යනු යි. අප හැම කෙනෙකුට ම එකකට එකක් පටහැනි කර්ම ප්‍රවණතා, කොන්දේසි සහ වාතාවරණයක් ඇත. එබැවින් යම් සේ දෛනික වශයෙන් පවුල, සමාජය හෝ ආශ්‍රමික යෝගියකු ලෙස විශිෂ්ට ප්‍රතිලාභයක් අත්කර ගනු පිණිස ඔබේ ප්‍රශ්නටය, ගුරු මුෂ්ටියක් ලෙස මට දිය හැකි පිළිතුරක් නැත.

එසේ ම කෙනෙකුගේ ජීවිතයේ එකකට එකක් වෙනස් අවස්ථාවලදී, එක සමාන ප්‍රශ්න වුවත් මාරු විය හැකි බව හෝ අත්‍යන්තයෙන් සුදුසු ප්‍රතිචාර දක්වන බව සොයා ගත හැකි වනු ඇත.

ඔබ විසින් ගරු කටයුතු ලෙස සලකනු ලබන සහ ඔබ ගැනත් මැනවින් තේරුම් ගත් ගුරුවරයකු සමඟ සාකච්ඡා කිරීමෙන් පැහැදිලි නිගමනයකට එළඹෙන්නට උපකාර වන්නේ එලෙසින් වන බැවිනි. ඉදින් ඔබ ඔබේ පවුල් ජීවිතයේ දී එය සමඟ එකහෙළා වගකීම් සහිත බැඳීමකින් ගිවිසුම්ගතව සිටිත් නම්, ඔබේ මුළු පවුල ම ඒ නිගමනය අනුමත කළ යුතුය.

අපට කොතැනකදී ප්‍රායෝගික පුහුණුව ලබන්නට සිදුවුවත්, අපේ ගිවිසුම වන්නේ අපේ ජීවිත මුළු මහත් සත්ත්ව සන්තතියේ යහපත පිණිස කැප කිරීමට නම්, ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව සහ කරුණාව වගා කරන්නට හැකි මඟක් සොයා ගන්නට හැකි බවට මා තුළ විශ්වාසයක් පවතී. වැඩි දුරටත්, බුද්ධ, ධම්ම සහ සංඝ නම් වූ ත්‍රිරත්නය අපේ ගිවිසුම සපුරා ලන්නට අමිල රුකුලක් සපයන බව මම දනිමි.

ටෙන්සිං වැන්ග්යල් රින්පෝච් :

අවුරුදු තුනක් හෝ ඊටත් වැඩියෙන් දිගු කාල පරාසයක තනිව හුදකලා භාවනාවක දී ලැබෙන ප්‍රතිලාභයෙහි ලා ප්‍රශ්නයක් නැත. මේ ක්‍රමය තිබ්බත බුදු දහමේ බොහෝ ගුරු කුල තුළ සාම්ප්‍රදායිකව පැවත එන්නකි. එහිදී පවුල, සමාජය සහ සංස්කෘතියෙන් ද ඇති පදමින් දිරි ගැන්වීම ලැබෙයි. කෙනෙකුගේ ඇප කැපවීම සහ අවබෝධයට අමතරව එහිදී දිරි ගැන්වීම වුවමනා වෙයි.

හාට්මන් - සැන්ෆ‍්‍රැන්සිස්කෝවල සෙන් ගුරුවරයෙකි

රින්පෝච් – ටිබෙට් සම්ප්‍රදායේ භාවනා ගුරුවරයෙකි

ග්‍රාඩී - කේම්බ්‍රිජ්හි ඉන්සයිට් මෙඩිටේෂන් මධ්‍යස්ථානයේ ගුරුවරියකි

අපරදිග රටවලදී දීර්ඝකාලීන හුදකලාවේ දී ශිෂ්‍යයන් වඩා හොඳ ප්‍රතිලාභ ලබා ඇති බව මා දැක ඇති අතර, එසේ ම ඇතැම් විට එවන් හොඳ ප්‍රතිඵල ලබා නැති බව දැක ඇත්තෙමි. එතැන්හිදී ඇතැමුන් තනිව මෙහෙයවූයේ බලවත් උද්යෝගයකින් සහ නුවුවමනා කඩිමුඩියකිනි. ඇත්තටම එය දීර්ඝකාලීන සැලසුමක් වුවත්, ඇතැම්මු මාස දෙක තුනක්වත් එක දිගට නොසිටියෝය. ඇතැම් කෙනෙක් නොයෙක් තාක්ෂණික ඉරියවු සහ අභිචාර විධි ප්‍රගුණ කරන්නට වන්හ. ඔවුහු තමන් කළ යුත්තේ කුමක් දැයි හඳුනා නොගත්හ. සැබවින් ම යථාර්ථවත් අරමුණ විය යුත්තේ ඒ එකක් වත් නොව පුද්ගලයකු හුදෙක් තමාගේ මනස පෝෂණය පිණිස වූ හුදකලාව යි.

ඔබේ පුහුණුවෙහි උච්චාවචනය වීම් සිදුවන ආකාරය අවබෝධ කර ගන්නට ප්‍රමාණවත් වන පමණට ඔබ ධර්මය සමඟ පවතින තාක් කල් ඔබේ ගුරුවරයාගේත්, ඔබේ සමාජයේත් පූර්ණ සහයෝගය ඔබට ලැබේ ද යන අවදානමට මුහුණ දෙන්නට තරම් විමසිලිමත් වන්නට සූදානම් විය හැකි ය. හුදකලා භාවනාවෙන් අප තුළ යම් ව්‍යාකූ®ලත්වයක් ඇතොත් එය වඩාත් පැහැදිලිව තේරුම් ගෙන දෛනික ජීවිතයේ අසහනය අඩු කර ගත හැකි ය. ඒ එක්ක ම තමාගේ ප්‍රකෘති මනස සමඟ කෙළින් ම සම්බන්ධකම් පවත්වන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවන. කෙනෙකුට තමන්ගේ ප්‍රකෘති මනස හඳුනා ගන්නට ලැබීම ප්‍රඥාව යි. එය හඳුනා ගත හැක්කේත් ප්‍රඥාව මඟින් ම පමණි. සත්තකින් ම එසේ හඳුනා ගන්නට නම්, මනස අවිද්‍යාව නමැති වස විසෙන් හෙවත් සිත කිලුටු කරන දෙයින් නිදහස් විය යුතු ය. සියලු දුකට මූලය වන්නේ් අවිද්‍යාව යි. සිත අවිද්‍යාවෙන් මිදුණු විට චිත්ත විශුද්ධිය සාක්ෂාත් වෙයි. පිරිසුදු සිතින් සන්නද්ධ වූ කල්හි අනෙකුත් ජීවීනට සත්‍යවාදී මඟ පෙන්වන්නකු විය හැකි ය. සාර්ථක, දීර්ඝකාලීන, හුදකලා චිත්ත ඒකාග්‍රතාවෙන් කෙනෙකුගේ ප්‍රකෘති මනස සමඟ සහෘදත්වය මුහුකුරා යෑමට අවස්ථාව සලසා ගත හැකි ය.

ඒ කෙසේ වෙතත්, අනුන් කෙරෙහි සෙත සැලසීමේ ප්‍රශ්නය නම්, මේ මිහිතලයේ ප්‍රායෝගික ජීවියකු වීමට එරෙහිව, එය ඉක්මවා හුදකලා ව තවුස් දම් පුරන්නකු වීම තරම් සරල දෙයක් හෝ වෙනත් එවන් යමක් නොවේ. කඩින් කඩ හුදකලා භාවනාවේ නිරත වූ තරුණයකු ගැන මම දනිමි. ඔහු නිතර නිතර සිය මව සමඟ අඩදබර ඇති කර ගත්තේ ය. ඔහුගේ මව ඔහුට මෙසේ පැමිණිලි කරයි : “හැම දාම ඔයාගෙ ඉවරයක් නැති හුදකලා භාවනාව, භාවනාව, තවමත් ඕකෙ ඉවරයක් නැද්ද? මම එන්න එන්න නාකි වෙවී බැරි ගැහෙනවා. ඉතින් දැන් මටත් ඔයාගෙ උදවු ඕනැ වෙලාව නොවෙයි ද?”

සත්තකින් ම මේ තරුණයා සිතුවේ සිය මව තමාගේ භාවනා පුහුණුවට ඉමහත් කරදරයක් වන බවයි. මේ මත ගැටුමේ එක් පියවරකදී තරුණයා ලාමාවරයකු සමඟ කඳුකරයට ගොස් සිය වටිනා පලස මත පද්මාසන ඉරියවුවෙන් සිට මෙසේ කියමින් කරුණා භාවනාව වඩන්නට පටන් ගත්තේ ය. “මම මගේ මව වැනි සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාව වඩමි.” එහෙත් සත්තකින් ම, තමාගේ හුදකලා වියපත් එකම මව කෙරෙහි කරුණාවෙන් ඇය සමග එක පැයක් පමණකුත් ගත කරන්නට නොහැකි පුද්ගලයාගේ ඒ කරුණා භාවනාව කවර නම් ව්‍යාජයක් ද?

ඇත්තට ම මේ උදාහරණය නම්, අතිශයෝක්තියක දෝංකාරයකි. එහෙත් ඒ දෝංකාරයෙන් සන්නිවේදනය කැරෙන පණිවිඩය කුමක් ද? එනම් එක් අතකින් එය අපේ ධර්මය ප්‍රගුණ කිරීම විෂයයෙහි වූ සාටෝපවත් පරමාදර්ශයන්ගේ දෙදරා යෑමක් වන අතර අනෙක් අතින් අපේ ප්‍රායෝගික ජීවන රටාවේ ශෝකාන්තයක් ද වන්නේ ය. මේ දෙදරා යෑම අසාමාන්‍ය එකක් නොවේ. එසේ නම් යථාවාදී ප්‍රශ්නය පැන නඟින්නේ කෙසේ ද? සැබවින් ම ඒ දෙදරා යෑම එහි යථා ස්වභාවයෙන් හඳුනා ගන්නට අපි කැමැත්තෙන් සිටිමු ද? එනම් මොහොතක් පාසා වෙනස් වන ක්ෂණභංගුර මනසේ යථා ස්වභාවය තේරුම් ගන්නටත්, එය පුහුණුව සඳහා සෘජුව ම යොමු කර ගන්නටත් ඇති විය යුතු ප්‍රවණතාව යි. අනෙක් අතට අපි අපේ පුහුණුව අපට මුහුණ දෙන්නට සිදුවන අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙන්නට යොදා ගනිමින් ඒවා වළක්වා ගෙන තාවකාලික සහනයක් සඳහා කැප නොවෙමු ද?

මම වසර පසළොසක් කටුක ආගමික ජීවිතයක් ගත කළෙමි. දැන් මම පවුල් ජීවිතයක් ගතකරමින් සිටිමි. සැමියකු, පියකු සහ ගුරුවරයකු ලෙස මා ගත කරන්නේ හුදකලා ජීවිතයක් නොවේ. මා මගේ පවුල සමඟ සිටින විට එය ව්‍යවහාරික ය. මා මගේ නිවහන වෙත එළඹෙන විට එය ව්‍යවහාරික, ප්‍රායෝගික අත්දැකීමකි. ඔබේ ගුරුවරයා ලෙස මා කටයුතු කරන විට සිදුවන සියලු දේ කෙරෙහි ඔබේ සැලකිල්ල යොමුවන කල්හි ඔබේ වටපිටාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන අතර, ඔබේ ප්‍රායෝගික පුහුණුව ද වේගවත් ප්‍රගතියක් අත්කර ගනු නියත ය.

ඔබේ ජීවන ගමනේදී ඔබට මුහුණ දෙන්නට සිදුවන අභියෝග සහ ඔබේ ප්‍රායෝගික භාවනා පුහුණුවේ විවෘතත්වයත් අතර අන්තර් සම්බන්ධතාවක් ඇති කර ගන්නට ඔබට හැකි නම්, ඔබ තනිව හුදකලා භාවනාවට ගියා හෝ එසේ නොගොස් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගතකළත්, ඔබහට ප්‍රායෝගික ප්‍රතිලාභයක් ම වන අතර, ඔබේ ධාර්මික ජීවිතය පලදායක ද වන්නේ මය.

නාරායන් ලිබ්සන් ග්‍රාඩි :

හුදකලා භාවනාවෙහි කෙතරම් දිගු කලක් හෝ යෙදී සිටීමේලා මට ඇත්තේ ඉමහත් ආස්වාදයකි.

ඒ නිසා ඔබේ ප්‍රශ්නයට මා පිළිතුරු සපයන්නේ ධ්‍යානශීලී භාවනාව තුළ ලබන ලද නිරාමිස ආනන්දය පිළිබඳ ආධ්‍යාත්මික අවබෝධයෙනි. එහිලා මගේ පළමුවැනි අත්දැකීම බුදු දහම සමඟ බැඳුණකි. එයට මඟ පෑදුණේ තෛ‍්‍රමාසික හුදකලා භාවනා වාරයක් නිමවා පැමිණි මිතුරකු හමුවුණු මොහොතකදී ය. ගිහි වෘත්තිකයකුට පවා එය ප්‍රගුණ කළ හැකි බව ඇසීමෙන් මම බෙහෙවින් සතුටට පත්වීමි.

එහෙත් එය පවා හැම යෝගියකුට ම ගැළපෙන්නේ නැත. පළමුවෙන් ඒ පිළිබඳ ගුරුවරයකු සමඟ සාකච්ඡා කිරීම හොඳ ය. ඇයි ද යත්, ඇතැම් පුහුණුකරුවන් එය අනුමත නොකරන අතර ඇතැමුන් එයට දිරි ගැන්වීමක් නොකරන හෙයිනි.

තුන් මසකට වැඩි කාල පරාසයක් ගැන සිතන විට එය වඩාත් දරා ගන්නට සහ ප්‍රතිඵල ලබන්නට හැකි වන්නේ් ජීවිතය පිළිබඳ වගකීම් බරින් සැහැල්ලු වුණු පමණට යි. පවුල් ජීවිතයක් ගත කරන්නවුන්ගෙන් වුවත්, කීපපදෙනකුට පමණක් තෛ‍්‍රයිවාර්ෂික හුදකලා භාවනාවේ නිරතව එය ප්‍රගුණ කරන්නට පුළුවන. අවමයෙන් මාස තුනේ සිට ඉහළට සති අන්තයට සැලසුම් කරන ලද ප්‍රමිතික විදර්ශනා භාවනා සම්ප්‍රදාය තුළ පුහුණුවක් ලබන්නට ද ඉඩකඩ සලසා ඇත.

ඔබ විසින් අසන ලද ප්‍රශ්නයට අනුව අපේ සාකච්ඡාවට බඳුන් වූ පුද්ගලයන් හැර වෙනත් අයට භාවනාවෙන් ලද හැකි විශිෂ්ටතම ප්‍රතිලාභ ලබා ගතහැකිවීම රඳා පවතින්නේ සිය දෛනික ජීවන පැවැත්මෙහිදී යෝගී භාවනා පුහුණුව ප්‍රගුණ කිරීමෙනි. සිය පවුල තුළත්, දෛනික වැඩ පළෙහිදී සහ සමාජ ජීවිතයේදීත් ඔබ සැහැල්ලු මනසක් පවත්වා ගන්නට කැපවී සිටින්නේ දැයි සිතා බලනු මැනවි.

ඔබේ ජීවන ගමනේ දී තෘප්තිමත් සහ සාවධානාත්මක වන්නට බැඳී සිටින්නේ ද? ඔබ හුදකලා භාවනාවේ නිරතව සිටින්නේ නම්, ඔබ එසේ සිටින්නේ ස්වාත්ම අවබෝධය තුළ ද?

නැතහොත් එයින් තොරව දැ යි විමසිලිමත් වන්න. එයින් මා අදහස් කරන්නේ ඔබ උත්සාහ දරන්නේ යම් කිසිවක් ලබා ගන්නට ද, නැතහොත් යම් කිසිවක් අත්හරිනු පිණිස වැඩි දුරටත් අවබෝධයක් ලබා ගන්නට ද යන්න ගැනයි. ඉදින් ඔබ ඔබේ ජීවන ගමන හුදකලාව තුළ සාවධානව මෙහෙයවා ගන්නේ ද, සහ නිර්ලෝභීව හෝ අනවධානව හෝ සමාජයේ අනෙක් පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ගන්නට ඔබ යොදා ගන්නා උපක්‍රමය කුමක් ද?

පොදු මතයෙන් ගත් කල බෞද්ධ සමාජය ඒකපුද්ගල හුදකලා භාවනාවේ වටිනාකම අවධාරණය කරතත්, කායික හෝ චිත්ත වේගාත්මක ඝට්ටන හෝ අනුන් වෙනුවෙන් ඉටු කළයුතු වගකීම් හෝ යුතුකම් හේතුවෙන් ඔබට එය අනුගමනය කළ නොහැකි නම්, එය ගැටලුවක් ලෙස සැලකීම අනිවාර්ය නොවේ.

හරියටම මේ මොහොතේ සිදුවන්නේ කුමක් ද යන්න කෙරෙහි සිත යොමු කිරීම පුද්ගලයා තුළ වෙනසක්, එනම් අවබෝධයක් ලැබීමට පදනම වෙයි. තවදුරටත් එහි වැදගත්කම අවධාරණය කරන්නට මම කැමැත්තෙමි. මම ස්වාත්ම ශංකාවෙන් අසහනයට පත් යෝගීන් ඇසුරු කොට ඇත්තෙමි.

ඒ පිළිබඳ අධ්‍යයනය කරන විට මට අවබෝධ වූයේ ඔවුනට දිගින් දිගට ඒක පුද්ගල හුදකලා භාවනා ඉරියවුව පවත්වා ගත නොහැකි වූයේ ඔවුන් කිසියම් නිධන්ගත රෝගයකින් පීඩා විඳිමින් සිටි නිසා බව යි. සිත නිදහස් කර ගන්නට පදනම් වන කිසියම් අවබෝධයක් ලබා ගැනීමට අනුගමනය කළයුතු නොයෙක් ක්‍රියා මාර්ග ඇත. එය ඒකපුද්ගල හුදකලා භාවනාව වැනි කිසිදු සුවිශේෂ ආකෘතියකට පමණක් සීමා කළ නොහැකි ය.

ඇතැම්විට භාවනා පුහුණුවක් ආරම්භ කරන්නකු තමා හුදකලා භාවනාවේ යෙදීම ආත්මාර්තකාමීත්වය දැයි අසන අවස්ථා ඇත. මේ ප්‍රකාශය යම් පමණකට බරපතළ ය. එයින් මගේ සිතට දැඩි කුහුලක් දැනෙයි. රූපවාහිනිය නැරඹීම, රූපවාහිනී වීඩියෝ ක්‍රීඩාවන්හි නිරතවීම ආදිය එහිදී එතරම් දුරට ගණන් ගත යුතු නොවේ.

කෙසේ වෙතත් මේ සියල්ල අතර ඔබ ඔබේ චින්තන ධාරාව ක්‍රියාත්මක වන ආකාරය ගැන නිරීක්ෂණාත්මක වීම වැදගත් ය. ඒකපුද්ගල හුදකලා භාවනාවක යෙදෙන්නට ඔබට වුවමනා කුමක් නිසා දැයි ඔබ ඔබෙන් ම අසන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.