Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරි මහා විහාරයට වසර 700 පිරීම නිමිත්තෙන් 2012 දී දරුවන් 700 ක් පැවිදි බිමට

වර්ෂ 1312 වසරේ වෙසක් පුන්පොහෝ දිනට වසර 700 ක් පිරීම නිමිත්තෙන් දරුවන් 700 ක් පැවිදි කිරීමට කටයුතු යොදා ඇත.

අස්ගිරිය මහා විහාරයේ උපෝෂතාගාරයට ප්‍රවේශවන මාර්ගය දෙපස වළාකුළු බැම්මක් ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදුකැරේ. අස්ගිරි මහා විහාරයේ ආරම්භක හා ශාසනික අවශ්‍යතාව සඳහා කොළඹ නිල නිවසක් සමඟ ඉඩමක් ලබාගැනීම, වසර 700 ක් පිරීම නිමිත්තෙන් ශිලාස්ථම්භයක් ආදාහන මළුව විහාරය අසල පිහිටුවීම, සුමංගල මාවතට ප්‍රවේශවන ස්ථානයේ මකර තොරණක් ඉදිකිරීම, යන කාර්යයන් ඉටු කිරීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ උපදේශකත්වයෙන් ක්‍රියාකාරි කමිටුවක් පත්කර ඇත. වර්ෂ 2012 වෙසක් පුන්පොහෝ දිනට වසර 700 ක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක්ද සංවිධානය කොට ඇති අතර මෙරට බෞද්ධ පුනරුදයට උත්කෘෂ්ඨ සේවයක් අස්ගිරි මහා විහාරයෙන් සැලසී ඇති බව ඉතිහාසඥයෝ සඳහන් කරති.

ක්‍රිස්තුවර්ෂ 1753 දී ලියැවුණු අස්ගිරි තල්පත හා අස්ගිරි විහාර උප්පත්ති කථා ප්‍රකරණය පෙන්වා දෙන පරිදි හතරවන පරාක්‍රමබාහු රජු යටතේ සෙංකඩගල පුරයෙහි ප්‍රාදේශික පාලනය කර ගෙන ගිය ඔහුගේ සිරිවර්ධන නම් සෙනෙවිගේ ඇරයුම පරිදි යාපහුවේ වලස්ගල විසූ විදර්ශනා ධූරීන භික්‍ෂුන් වහන්සේ සයනමක් එහි සිට මහපෙරහරින් බුද්ධ වර්ෂ 1850 දී හෙවත් ක්‍රි.ව. 1312 වෙසක් පුන්පොහෝ දිනට පෙරදින පිටත් කරවා රාත්‍රි ඇත්කඳ විහාරයෙහි ලැගුම් ගන්වා වෙසක් පොහෝ දින සවස් භාගයෙහි වර්තමාන මහනුවර ත්‍රිත්ව විද්‍යාල භූ®මියට වැඩමවා එහි මහනුවර අස්ගිරි විහාරය විදර්ශනා ධූරීන භික්‍ෂූන් වහන්සේගේ සෙනසුනක් ලෙස ආරම්භවී ඇතිබව පැවසේ.

මෙසේ මහනුවර අස්ගිරි විහාරය ආරම්භ කිරීමට සිරිවර්ධන සෙනෙවිගේ ඇරයුම පරිදි වැඩම කරවනු ලැබූ භික්‍ෂුන් වහන්සේලා හය නමක් ගැන ද අස්ගිරි තල්පත් දෙකේම සඳහන් වේ. ඒ හය නම වන්නේ දඹදෙණියේ වනරතන, මීගස්වැවේ මේධංකර, හිරිපිටියේ කස්සප, කෝන්ගස්වැවේ ධර්මකීර්ති, වලස්වැවේ උපතිස්ස, වේරවල කෝලිත යන හිමිවරුන්ය. මෙසේ මහනුවර අස්ගිරිය විහාරය ආරම්භ කරන එහි නායකත්වය දැරූ දඹදෙණියේ වනරතන තෙරුන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දවස වැඩ විසූ උපාලි මහ රහතන් වහන්සේගේ පටන් 142 වන සඟපරපුරේ නායකයාණන් බව සඳහන්වීම විශේෂයෙන්ම අස්ගිරි තල්පතින් ප්‍රකාශවෙයි.

වර්ෂ 1542 – 1579 දක්වා කන්ද උඩරට රාජධානිය කරගෙන සිටි වීරවික්‍රමබාහු රජතුමා තම රාජධානිය මනාව සුරක්‍ෂිත කරවා සිදුකළ පිංකමක් ලෙස කියැවෙන්නේ රාජ භවනට නුදුරෙන් උපෝෂථාගාරයක් සහිත සංඝාරාමයක් කරවීමයි. ඉන් පසුව රජතුමා විසින් අස්ගිරි විහාරයෙන් හන්තාන සෙනසුනට වැඩමවා විදර්ශනාධූරීනව සිටි කහවත්තේ වනරතන තෙරුන්ට පූජාකොට ඇත.

වර්තමාන අස්ගිරි විහාරයේ පිහිටීම බලනවිට ගෙඩිගේ විහාරය, උඩහ (පරණ විහාරය ඇතුළත්ව) විජයසුන්දරාරාමය පහළ පන්සල හෙවත් සීමාමාලකය පවත්නා පන්සල් සංකීර්ණය වශයෙන් ප්‍රමුඛතාව පෙළ ගැස්විය හැකිය. යාපහුවේ වලස්ගල හෙවත් අස්ගිරි සෙනසුන ක්‍රි.ව. 1236 දී ආරම්භ වී ඇති අතර මේ අනුව අස්ගිරි විහාරයේ ආදි කර්තෘවරයා වන්නේ දිඹුලාගල දීපංකර තෙරුන්වහන්සේය. අස්ගිරි මහා විහාරය අදටත් මෙරට බෞද්ධ පුනරුදයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙම විහාරයෙන් මෙරට බුදු සසුනේ චිරස්ථිතිය සඳහා සිදුවූ සේවාව ඉතා උත්කෘෂ්ට එකක් බවට පත්වී ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.