Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබන ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන් පිළිගැනීමේ උත්සව මාලාවක්

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සියම්නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාව විසින් “භාරතයේ ප්‍රධාන සංඝනායක” පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳව අක්තපත්‍රය ප්‍රදානය 2011 පෙබරවාරි මස 5 දා කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර මහා සංඝ සභා උපෝසථාගාරයේ දී සවස 03.00 ට සිදු කිරීමට නියමිතය. පෙබරවාරි 6 වන දා සවස 3.00 කළුතර දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී පිළිගැනීමේ මහා සභා රැස්වීමකි. පිළිගැනීමේ උත්සවයේ මුලසුන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත උඩුගම බුද්ධරක්‍ඛිතාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේ දරන අතර ප්‍රධාන අමුත්තා ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාය. ඉන්දියානු මහාබෝධි සමාගමේ සභාපති රෝයල් භූටානයේ අග්‍රාමාත්‍ය ජිග්මේ වයිතින්ලේ මැතිතුමා වෙනුවෙන් රාජකීය භූටාන් රජයේ ස්වදේශ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ලෙන්පො මින්ජුර් ඩොර්ජි මැතිතුමා සහ නියෝජිතයින් පස්දෙනෙක් සහභාගී වීමට නියමිතය.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා, මහාමාර්ග සහ වරාය කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මැතිතුමා ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගි වන එම උත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදුකරනු ලබන්නේ සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ධුරන්ධර ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසිනි.

2011 පෙබරවාරි මස 7 දා සවස 4.00 ට ජනාධිපති මන්දිරයේ දී සිදුවන පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ය. උත්සවයේ ප්‍රධාන අමුත්තා භූටානයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය ලෙන්පො මින්ජුර් ඩොර්ජි මැතිතුමාය.

උත්සව සභාවේ මුලසුන සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.