Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුදහමෙන් කාන්තාවට හිමි වූ නිදහස

බ්‍රාහ්මණ මත නිසා සමාජයෙන් කොන් වී සිටි කාන්තාවට බුදුදහම තුළින් උරුම වූ නිදහසත් සමඟින් භාරතීය සමාජය ප්‍රබෝධමත් විය. වැරැදි ආකල්ප සමාජයෙන් තුරන් වූයේ සත්‍ය දහම සමාජය තුළ මුල්බැස ගැනීමත් සමගිනි. භාරතීය සමාජය තුළ ක්‍රමයෙන් මුල් බැසගත් සම්බුදුදහම ලක්දිවට පැමිණීමත් සමඟ මෙරට සමාජය තුළ ඇතිකළ පුනර්ජීවනය අතිමහත්ය.

භාරතීය පුරාතන සමාජයේ කාන්තාවට හිමි වූයේ අන්ත අසරණ තත්ත්වයකි. වෙසෙසින්ම බ්‍රාහ්මණ චින්තනය අනුව කාන්තාවට ලබාදුන් සමාජ තත්ත්වය මෙසේයි.

“බාල්‍යෙ පිතුර්වශේ තිෂ්ඨෙත්
පාණි ග්‍රාහස්‍ය යෞවනේ
පුත්‍රානං භර්තරී ප්‍රේතේ
නභජේත් ස්ත්‍රි ස්වතන්ත්‍රතාම්”

“බාලකාලයේ පියා යටතේ ද, යෞවන කාලය ස්වාමියා යටතේ ද, ස්වාමියා මළ පසු වැඩිමහල් පුතා යටතේ ද කාන්තාව සිටිය යුතු අතර ඇයට කිසිවිටෙක ස්වාධීනත්වයක් ලබා නොදිය යුතුය යන ආකල්පය බ්‍රාහ්මණ සමාජය තුළ මුල්බැසගෙන ක්‍රියාත්මක විය. මෙලෙස ජීවිතයේ අවසානය දක්වා ශෝචනීය ඉරණමක් උරුම කරගත් කාන්තාවට නිදහස ලබාදෙමින් ඇයගේ හඬට කන් දුන් එකම ආගමික දර්ශනය බුදුදහමයි. කාන්තාවට දියණියක්, මවක්, බිරිඳක්, ගෘහණියක්, සමාජ සේවිකාවක්, උපාසිකාවක්, භික්‍ෂුණියක්, යනාදී සෑම අංශයකින්ම අයිතිවාසිකම් ලබා දුන්නේ බුදුදහමයි.

දියණියකගේ බිහිවීම වනාහි පරපුරේ විනාශය ගෙනදෙන අසුබදායක පෙරනිමිත්තක් ලෙස සැලකූ බ්‍රාහ්මණ සමාජය දියණියක් උපන් අවස්ථාවේදීම ගෙල මිරිකා මරා දැමීමට හෝ කසල ගොඩකට දැමීමට නියම කළේ කාන්තාවගේ නිදහස දැඩිලෙස හෙළා දකිමිනි. නමුත් බුදුරදුන් පුතෙකුගේ උපත සේම දියණියකගේ උපත ද එක හා සමාන බව පෙන්වා දුන්හ. ‘පුත්තා වත්‍ථු මනුස්සානං’ ලෙස දැක්වූයේ මව්පියන්ට සෑම දරුවෙකුම එක හා සමානව වටිනා බවයි. සමාජය තුළ දියණියක් සම්බන්ධයෙන් පැවැති වැරැදි ආකල්පය හා බුදුරදුන් එයට දැක් වූ ප්‍රතිචාරය කෝසල සංයුක්තයේදී පැහැදිලි කරයි. කොසොල් රජු බුදුරදුන් සමඟින් සුහඳ සාකච්ඡාවක් කරමින් සිටින අතරතුරදී තම දේවියට දියණියක ලැබුණ ආරංචිය අසා කොසොල් රජු කනස්සල්ලට පත්වෙයි. එය දුටු බුදුරදුන් කොසොල් රජුට දේශනා කරන්නේ, “රජතුමනි, කනස්සල්ලට පත් නොවන්න. ඔය දියණිය පුතෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ විය හැකිය. ඇය පෝෂණය කරන්න. නුවණැතිව, සිල්වත්ව සිටිමින් යම් දිනෙක රාජ්‍ය අනුශාසනාවට පවා සුදුසු පුතුන් බිහි කරාවි.” යනුවෙනි.

දියණියක් සමාජයේ පිළිලයක් ලෙස සැලකූ වැරැදි සමාජ ආකල්පය සම්බුද්ධ දර්ශනය තුළින් නිවැරැදි ආකල්පයක් බවට පත් වීය. බමුණන් ප්‍රකාශ කළ

“ඖදුම්බර භවං පුෂ්ඵං
ශ්වේත වර්ණංච කාකයෝ
මත්ස්‍ය පාදේ ජලේ පශ්යේත්
ස්ත්‍රි භාස්‍ය නවිස්වසී”

කාන්තාව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් රාක්‍ෂණියක්ය යන සමාජ ආකල්පය වැරැදි බව පෙන්වාදුන් දහම බුදුදහමයි. මෙම වැරැදි ආකල්ප හේතුවෙන් කාන්තාවට උදා කළේ නිවෙසෙහි සහකාරියක තත්ත්වය නොව මෙහෙකාරියකගේ තත්ත්වයකි. එබැවින් ඇයට කටයුතු කිරීමට සිදුවූයේ ඉතා දුකසේයි. ස්වාමියාගේ සියලු කුදුමහත් බැලමෙහෙවරකම් ඉටු කරමින් අනේක කරදර මැද ජීවත් වූ කාන්තාවට බිරිඳකගේ වගකීම උදාවූයේ, ඇයට බිරිඳක් වශයෙන් ලැබිය යුතු අයිතිවාසිකම් ලබාගැනීමේ නිදහස උරුම කළේ බෞද්ධ දර්ශනයයි.

සිඟාලෝවාද, සංවාස, සමජීව ආදී සූත්‍ර දේශනා තුළින් කාන්තා වරප්‍රසාද ඇයට ලබා දී ඇති ආකාරය පැහැදිලි වෙයි. සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි – භාර්යාවන් අතර ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව දැක්වීමේ දී බිරිඳ පමණක් නොව ස්වාමියා ද බිරිඳ වෙනුවෙන් යුතුකම් පහක් ඉටුකළයුතු බව දක්වා ඇත. එම යුතුකම් නම්,

1. ගරු සරු ඇතිව කතා කිරීම.
2. අවමන් නොකිරීම.
3. අනාචාරයේ නොහැසිරීම.
4. ඉසුරු සම්පත් පවරාදීම.
5. අලංකාර වස්ත්‍රාභරණ ගෙනවිත් දීම.

මෙකී යුතුකම් අනුව කාන්තාවට බිරිඳක් වශයෙන් ඇයගේ වරප්‍රසාද තහවුරු වී ඇත. සංවාස සූත්‍රයේ දී, “දේවෝ දේවියා සද්ධිං සංවසති” යනුවෙන් සඳහන් කළේ දෙවියෙක් හා දෙවඟනක් ලෙසින් ස්වාමියාත් බිරිඳත් සමාන ගුණධර්ම වලින් යුක්තව එකිනෙකාට යුතුකම් ඉටුකරමින් ක්‍රියාකිරීම සාර්ථක පවුල් පසුබිමක් ගොඩනඟා ගැනීමට හේතුවන බවයි. බෞද්ධ දර්ශනය තුළ ස්වාමියාට බිරිඳටත් ලබා දී ඇත්තේ සමාන වටිනාකමකි. එමෙන්ම කාන්තාවට මවක් වශයෙන්ද ඇයගේ නිදහස තහවුරු කර මින් බ්‍රාහ්මණ මත නිසා අසරණ වූ කාන්තාවට පිළිසරණක් වූයේ බුදුදහමයි. බුදුරදුන් මාතෘත්වයේ උදාරත්වය වර්ණනා කළහ.

ත්‍රිපිටකයේ විවිධ ස්ථානවලදී මේ පිළිබඳව කරුණු දක්වයි.

“බ්‍රාහ්මාතී මාතා පිතරෝ
පුබ්බා චරියාති වුච්චරේ
ආහුණෙයාච පුත්තානං
පජාය අනුකම්පකා”

පියා මෙන්ම මවද හැඳින්වූයේ බ්‍රහ්ම, පුබ්බාචරිය, ආහුණෙයිය, අනුකම්පක යන සම්මානනිය ගුණ නාමයන්ගෙනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණ ධර්මයන්ගෙන් යුක්ත වන හෙයින් බ්‍රහ්ම යනුවෙන් ද, මුල් ගුරුවරු හෙයින් පුබ්බාචරිය යනුවෙන් ද දුර ඈත සිට යමක් ගෙනැවිත් පිදීමට සුදුසු වන හෙයින් ආහුණෙයිය යනුවෙන් ද සෑම දරුවකුටම අනුකම්පා කරන බැවින් අනුකම්පක යනුවෙන් ද හඳුන්වයි. ‘මාතා යථා නියං පුත්තං’ යනුවෙන් මෛත්‍රිය වැඩිය යුතු ආකාරය සමාන කළේ මවක් දරුවෙකුට දක්වන යහපත් ආකල්පයටයි. ‘මාතා පිතූ උපට්ඨානං’ මවට, පියාට සැලකීම මංගල කාරණයක් වන බව, මංගල සූත්‍රයේ දී ද ‘මාතා පිතා දිසා පුබ්බා’ මව පියා පූර්ව දිශාව ලෙස නම් කරමින් සිඟාලෝවාද සූත්‍රයේදී ද පෙන්වා දුන්හ. “බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට’ යන කියමන ලාංකේය ජනවහරට එකතු වූයේ බුදුදහමින් කාන්තා වරප්‍රසාද තහවුරු කරදීමත් සමඟින් යැයි සිතිය හැකි ය. පරාභව, වසල සූත්‍ර වලදී දැක්වූයේ, තමාට හැකියාව තිබියදී වයස්ගත වූ මවුපිය දෙපළ පෝෂණය නොකරන්නේ නම් එවැනි කෙනෙකු වහා පිරිහීමට පත් වන බවයි. දසදෙසින් මාතෘත්වයේ ගුණාත්මක බව නිරතුරුව වර්ණනාවට ලක් වූයේ බුදුදහම තුළින් මවකගේ වටිනාකම ලොවට හෙළිදරව් කිරීමත් සම¼ගින්ය.” අට්ටික්කා ගස්වල මල්පිපීම, සුදු කපුටන් දක්නට ලැබීම, මසුන්ගේ පා සටහන් ජලයෙහි දක්නට ලැබීම ලොව සිදුවිය නොහැකි අභව්‍ය සිදුවීම් ලෙස සැළකේ. එහෙත් මේවා යම් දිනෙක සිදුවූවද ස්ත්‍රියගේ වචන කිසිවිටෙකත් විශ්වාස නොකළ යුතු ය.” යනුවෙන් සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් ගොඩනැඟී තිබුණේ අසුභවාදී ආකල්පයකි.

බ්‍රාහ්මණ චින්තනය අනුව කාන්තාවට කිසිඳු නිදහසක් උරුම නොවිණි. ජාතක කතා පොතෙහි කාන්තා දුබලකම් හුවා දැක්වීමට බමුණන් ක්‍රියාකර ඇති බව පෙනේ. අන්ධභූත ජාතක කතාවෙහි කාන්තාව අවස්ථාව ලද පමණින් පාපයට නැඹුරුවන බව සඳහන්ය. මන්ද බුද්ධික වූ කාන්තාවට කවර හෝ නුවණක් නැති බව බමුණන්ගේ අදහසයි. ‘ද්වංගුල පඤ්ඤා’ යන නාමයෙන් කාන්තාව ඇමතුවේ ඇයට ඇත්තේ දෑඹුලක නුවණක් යන වැරැදි ආකල්පයකිනි.

පුරුෂයා පමණක් පූර්ණ සුදුසුකම් ඇතිකෙනෙකු වශයෙන් හඳුන්වා දෙමින් කාන්තා ශක්තිය, ඥානය දුබල බව ලොවට කියාපෑමට උත්සාහ දැරූ බ්‍රාහ්මණ සමාජයට එරෙහිවී කාන්තාවට සමාජයීය වශයෙන් නිදහසක් උරුම කරදීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළහ.

පූර්ණ ඥාන ශක්තියකින් හෙබි කාන්තාවට පුරුෂයාට මෙන්ම ඕනෑම ක්‍රියාවකට සිය දායකත්වය ලබාදිය හැකි බව බුදුරදුන් දේශනා කළේ,

“නසේ සබ්බේසු ඨානේසු
පුරිසෝ හෝති පණ්ඩිතෝ
ඉත්ථිපි පණ්ඩිතා හොන්ති
තත්‍ථ තත්‍ථ විචක්ඛණා”

“සෑම ස්ථානයකදීම පුරුෂයා පණ්ඩිත නොවන බවත් ඒ ඒ ස්ථානයේ දී විචක්ෂණශීලී කාන්තාව පුරුෂයා අභිබවා පණ්ඩිත වන බවත් ය.”

ආගම පිළිගැනීමට හෝ ආගමික ස්ථානයකට ගමන් කිරීමට පවා තහනම් වූ කාන්තාවට සැනසීමක් උදා කළේ බෞද්ධ දර්ශනයයි. භික්‍ෂුණී ශාසනය ඇතිකිරීමත් සමඟ කාන්තාවන්ට ලොව්තුරු සුවය ලැබීමේ වාසනාව මෙන්ම සමාජමය පිළිගැනීමක් ද ලැබුණි. බුදුරදුන් භික්‍ෂුවකටත් භික්‍ෂුණියකටත් උපදෙස් ලබාදීමේ දී සමාන වටිනාකම් ලබාදුන්හ.

බුදුරදුන් සිව්වනක් පිරිස ඇති කරද්දී උපාසක පිරිස සේම උපාසිකා පිරිසක් ඇති කළ අතර, භික්‍ෂු පිරිසක් සේම භික්‍ෂුණී පිරිසක් ද ඇති කළහ. කාන්තාවට ස්වකීය හැකියා වර්ධනය කරගැනීමට අවස්ථාව උදාකළේ බෞද්ධ දර්ශනයයි. සම්බුද්ධ දර්ශනය තුළ තනතුරු පිරිනැමීමේ දී කිසිඳු අඩුවක් නොකළ බුදුරදුන් සැරියුත් මුගලන් දෙනම සඳහා අග්‍රශ්‍රාවක තනතුරු පිරිනමද්දී ඛේමා, උප්පලවණ්ණා දෙනම සඳහා අග්‍ර ශ්‍රාවිකා තනතුරු පිරිනැමූහ.

බ්‍රාහ්මණ මත නිසා සමාජයෙන් කොන් වී සිටි කාන්තාවට බුදුදහම තුළින් උරුම වූ නිදහසත් සමඟින් භාරතීය සමාජය ප්‍රබෝධමත් විය. වැරැදි ආකල්ප සමාජයෙන් තුරන් වූයේ සත්‍ය දහම සමාජය තුළ මුල්බැස ගැනීමත් සමගිනි.

භාරතීය සමාජය තුළ ක්‍රමයෙන් මුල් බැසගත් සම්බුදුදහම ලක්දිවට පැමිණීමත් සමඟ මෙරට සමාජය තුළ ඇතිකළ පුනර්ජීවනය අතිමහත්ය. කාන්තා පාර්ශවයේ සුබ සිද්ධිය උදෙසා පමණක් නොව සෑම ක්‍රියාකාරී පාර්ශ්වයන්ගේම ප්‍රබෝධයක් සිදුකළ දර්ශනය බෞද්ධ දර්ශනයයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.