Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තමා අධිපති කොට තීරණ ගත යුතුයි

අප දුකට පත්කරවන පෞද්ගලික, සමාජගත හා දේශපාලන ව්‍යාධීන් පාලනය කිරීමේ බලය අප තුළ පවතී. මේ සඳහා අවශ්‍ය වන්නේ බුද්ධිමත් කමත් විචාර පූර්ව බවත්ය. නමුත් මේ ශක්තිය අප තුළ තිබෙන බව අප දන්නේ නැත. ඊට හේතුව අප සදාකාලිකවම අනුන්ගේ පිහිට පැතීමටත් ප්‍රබලයන් අනුගමනය කිරීමටත් පුරුදු වී තිබීම යි.

මිනිස් චිත්ත සන්තානයේ ඇති අසීමිත, අපරිමිත බලමහිමය මනොඥ ලෙස විකසිත කිරිමට බුදුන් වහන්සේ කේසපුත්ත නියම් ගමේ දී කාලාමයින්ට දේශනා කරන ලද සූත්‍රය තමාට තමාගේ ස්වාමිත්වයට පෙන්වා දීමට දුන් කදිම උදාහරණයකි.

ඉතා දැඩිව ගත් නොයෙක් මිථ්‍යා මතිමතාන්තර වලින් සිත පිරී පවතින මිනිසුන්ට අවිද්‍යාව දුරුකොට සම්‍යග් දෘෂ්ටිය ඇති කොට ගැනීමට කාලාම සූත්‍රය ඇසුරින් යමක් ඉදිරිපත් කිරීම කාලෝචිතයයි අදහස් කරමු.

කුරුරට කේසපුත්ත නියම්ගම් වැසි කාලාමවරුන් හමුවීමට නිතර නිතර නොයෙකුත් ලබ්ධි ගත් ආගමික කණ්ඩායම් පැමිණ ඇත. එකිනෙකට වෙනස් වූ ද පරප්පර වූද මතවාද ඔවුන් නිතර අසන්නට ලැබිණ. ඒ ඒ අය තමන්ගේ මතවාද අදහස් හුවා දක්වමින් අනුන්ගේ මතවාද හෙළා දැකීම සිරිතක් කොට ගෙන තිබිණ. මේවා ගැන කිසිත් නොදත් කාලාමයින්ට ඇත්ත කියන්නේ කවරහුද? බොරු කියන්නේ කවරහුද? යැයි ලොකු සැකයක් ඇතිවී තිබිණි.

මේ මතවාද ගැන කුතුහලය පවතිත් දී බුදුන් වහන්සේ කේසපුත්තයට වැඩම කළ සේක. එවිට කාලාමවරුන් එක් රැස්ව ඔවුන්ට මුහුණපාන්නට වූ සැකය පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නේ විවිධ මතධාරීන්ගේ බුද්ධිමය චර්යාව ගැන බලවත් සැකයකට හා විවේචනයට ලක්කරමිනි. මේ ඇසූ වහාම බුදුන් වහන්සේ , ඔබලාට ඇතිවූ සැකය හා විමතිය සාධාරණ බව වදාළ සේක.

“ ඔබගේ සැකය සාධාරණය. සැක කළ යුතු තැනම ඔබට සැකය ද විමතිය ද ඇතිවිය “ යනුවෙන් උන් වහන්සේ දේශනය ඇරඹූහ. නිසැක ලෙස යමක් අවබෝධ කරගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත, දස වැදෑරුම් නිශේධනයකින් (වැළැක්වීමකින්) යුතුව බුදුන් වහන්සේ වදාළ සේක.එය එකින් එක විස්තර කිරීම කාලෝචිතයයි අදහස් කරමු.

1. (අනුශ්‍රාවනයෙන්) යමක් අසා පිළිගැනීමන් :-කාලාන්තරයක් තිස්සේ බොහෝ දෙනා යමක් අසා ඒ කෙරෙහි විශ්වාසය තබමින් , කරනු ලබන නොයෙකුත් ඇදහීම් ප්‍රතික්‍ෂේප කළ යුතු යැයි වදාළේ ඒවා විශ්වාස කළ පමණින් සත්‍යයදැයි නිවැරැදිවම නො දන්නා හෙයිනි. විශ්වාසය එක් දෙයකි. සත්‍ය තවත් දෙයකි. යමක් විශ්වාස කළ පමණින් එය සත්‍ය නොවේ.

එය විශ්වාසයක් පමණි. එදා බුදුන් වහන්සේ වැඩ වසන කාලයේදී නොයෙක් මිථ්‍යා දෘෂ්ටි වැළඳගත්තවුන් ආගමික වත් පිළිවෙත්වල යෙදුනේ අවබෝධයෙන් තොරව ඇසූ දේ පිළිගැනීමෙනි. එම නිසා එ වැනි පිරිස් නිවැරදි මගට ගැනීම පිණිස අවබෝධයෙන් තොරව නොවිමසා පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළ යුතුයයි වදාළ සේක.

තම මගඵල ලබා ඇතැයි තමාම කියන අය දැන් කිහිප දෙනෙක් සිටිති. ඒ උත්තමයන්ගේ ධර්මය ශ්‍රවණය කිරීමටත් කමටහන් ලබා ගැනීමටත් දහස් ගණනින් ජනයා එක් රැස් වන බව දැන ගන්නට තිබේ.

මීට දෙ වසරකට පමණ කලින් අර්හත් ඵලයට පත්වූ යේ යැයි කියන රහතන් වහන්සේ නමක්, තමන් ධ්‍යානයට සමවැදී සිටින විට බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, ප්‍රථම ධර්මදේශනාව, පරිනිර්වාණය සිදුවී ඇත්තේ මේ ශ්‍රී ලංකාවේම බව දැක ඇත. එම රහතන් වහන්සේ මෙය වදාළ කල්හි එය බොහෝ දෙනා පිළිගෙන , පොත් මුද්‍රණය කරවා හතර ස්ථාන ශ්‍රී ලංකාවේදීම වැඳ පුදා ගැනීමට දැන් වන්දනාවේ යති. අප රටේ බෞද්ධයන්ට යමක් ගැන විමසා බැලීමට හා විචාරාත්මකව හිතන්නට තිබෙන බුද්ධිය ගැන මෙය කදිම උදාහරණය කි.

බුදුරජාණන් වහන්සේ කාලාමයින්ට යමක් ඇසූ පමණින් පිළිගන්නට එපා යැයි වදාළේ එහෙයිනි.

2. (පරම්පරාය) පරම්පරාවෙන් පැවත එන නිසාම පිළිගන්න එපා .

ආරංචි මාත්‍රය ද ප්‍රතික්‍ෂේප කළ බුදුන් වහන්සේ පරම්පරාමතය ද ප්‍රතික්‍ෂේප කළ සේක. අප ඔය දෙය පිළිගන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවත ගෙන ආ නිසා යැයි යමෙක් පවසන්නේ නම් එ බඳු අයවළුන්ගේ කථා බුදුන් වහන්සේ උපමා කළේ අන්ධ වේනියකටය.

අන්ධවේනිය යනු එකම දණ්ඩක් අල්ලාගෙන එක පෙළට ගමන් කරන අන්ධයින් කණ්ඩායමක්ය. දණ්ඩ අල්ලාගෙන මුලටම සිටින්නේ අන්ධයෙකි. පේලියේ මැද ඉන්නේත් අන්ධයෝය. අගටම ඉන්නේත් අන්ධයෙකි. මේ කිසිවෙක් කොහෝ යන්දෝ නොදනිති. මේ ආකාරයට පරම්පරාවේ එන නිසා හේතුවක් නො දැන අනුන් කරන දේ කිරීමත් අන්ධවේනියක් බඳුය.

3. (ඉතිකිරාය) මෙසේ පෙර කියා තිබේ කියා හෝ දෙවියන් වහන්සේ හෝ ශාස්තෘවරුන් පෙර මෙසේ කියා තිබේ. ඒ නිසා මෙය විශ්වාස කළ හැකි යැයි යමෙක් පිළිගනී නම්, ඒ සැනින්ම ඔහුට සත්‍යවැසී යනු ඇත.

උපමාවක් වශයෙන් අප මේ කථාවේ සත්‍යයක් ඇත්දැයි විමසා බලමු. බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට සතර වරම් දෙවියන්ට භාර දී ඇති බව බොහෝ පෙර සිට කියන කථාවක් බව අප අසා තිබේ. මෙය සත්‍යයක් බව දැනුමෙන් අඩු බොහෝ දෙනා පිළිගනිති. ඊට හේතුව බුද්ධ ශාසනය කියන්නේ කුමක්දැයි ඒ අහිංසකයන් නො දන්නා කමයි.

බුද්ධ ශාසනය යනු සියලු අකුසලයෙන් වැළකීමත් කුසල් වැඩි දියුණු කිරිමත් සිත පාලනය කර ගැනීමත්ය. (ශීල, සමාධි, ප්‍රඥා) මේ අනුව බුද්ධ ශාසනය තිබෙන්නේ තම තමුන්ගේ සිත් තුළය. එසේ නො මැතිව සිමෙන්ති, වැලි, ගඩොල්, කළුගල් ආදියෙන් තැනු ගොඩනැගිලි බුද්ධ ශාසනය නොවේ.

බුදුරජාණන් වහන්සේට ශාසනය රැක ගැනීමට නො හැකි හෙයින්, එය තමන්ගේ දේවාලයවත් රැක ගන්නට බැරි දෙවියන්ට භාර දී තිබෙන බව පැවසීම බුදුරජාණන් වහන්සේට කරන නිගරුවක් බව දෙවියන් අදහන්නෝ නො දනිති. කිසිම විමසීමකින් තොරව, පෙර මෙසේ කියා තිබේ යැයි කියන කථා පිළිගැනීම කොතරම් අනුවන කමක්ද යනු මෙයින් තේරුම් ගත හැකිය. සත්‍යය වටහා ගැනීමට හැකි වන්නේ සෑම දෙයක් පිළිබඳව හොඳින් විමසා බැලීමෙන් පසුවය.

4. (පිටක සම්පදානේන) පොත පතෙහි එන නිසා

පිටක යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ඒ ආගම්වල කොටස් බෙදා වෙන් කර ලියන ලද පොත්ය. ඒ අනුව බෞද්ධයාට “ ත්‍රිපිටකයත්” , කතෝලිකයාට “ බයිබලයත්,” ඉස්ලාම් භක්තිකයාට “ කුරාණයත්” , හින්දූන්ට “භගවත් ගීතාවත් “ ඒ ඒ ආගම්වලට අයත් පිටක පොත්ය. මේ පොත් කිසිවක් ලියන ලද්දේ ඒ ඒ ආගම්වල ශාස්තෘන් විසින් නොවේ.

ආගම් ශාස්තෘවරුන් අභාවයට ගොස් ශත වර්ෂ කිහිපයකට පසුව මේ පිටක පොත් ලියා ඇත. මේ පිටක පොත් ලියු කිසිම කර්තෘවරයෙකුට බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ හෝ මහම්මද් තුමා හමුවී නැත. ඊශ්වර දෙවියන් හෝ මහා බ්‍රහ්මයා දුටු කෙනෙක් වත් නැත. ඒ නිසා මේ පිටක පොත් ගැන මතභේද හට ගැනීම ස්වභාවිකය.

අප ගේ ත්‍රිපිටක පොත් වල මතභේදයට තුඩු දෙන බොහෝ කාරණා තිබේ. මුල් බුදු සමයට අයත් ඉගැන්වීම්වලට පවා පරස්පර කම් තිබෙන සූත්‍ර බොහොමයක් සූත්‍ර පිටකයේ දක්නට තිබේ. බුද්ධ භාෂිතයන් නො වන සූත්‍ර ද පසු කාලවලදී ඇතුළත් කර තිබෙන බව බොහෝ වියතුන්ගේ අදහසයි.

5. (තක්කහේතු) තර්කයට ගැලපෙන නිසා පිළිගන්න එපා

තර්කය ප්‍රඥාගෝචර වනසේ කිසියම් කරුණක් ගැන විමසා සසඳා බැලීමේ ක්‍රමය යි. මෙය ද බැහැර කළ යුත්තේ මන්දැයි විමතියක් ඇතිවන්නට පුළුවන. ඒ සැකය තව දුරටත් වැඩිවන්නේ මැදහත් ගතියට ඉඩ දෙන ශාස්ත්‍රයක් බව පෙනෙන්නට තිබෙන නිසාය.

මේ කරුණූ කෙසේ වෙතත්, යම් දෙයක් ගැන තීරණයක් ගැනීමේදී තමාගේම අවබෝධයෙන් විමර්ශනය කර නිගමනයකට එළඹීම වඩා සුදුසු බව පෙන්වා දී තිබේ.

බුදුරජාණන් වහන්සේ විසින් මිථ්‍යා දෘෂ්ටි හැට දෙකෙක් බැහැර කළේ වාද කිරීමෙන් හා තර්ක කිරීමෙනි. තථාගතයන් වහන්සේ එසේ කළේ සත්‍යයෙහි පිහිටා තර්ක කිරීමෙනි. එසේ තර්ක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තර්කයට සහභාගි වූ බොහෝ දෙනෙකුට සත්‍යය අවබෝධ විය. සෙසු අය බුදුන් වහන්සේගේ උපාසකයින් බවට පත් විය.

සත්‍යය අවබෝධ කර ගත් උතුමෙකුට හැර පුහුදුන් අයකුට සත්‍යයට බැසගෙන තර්ක කිරිමට නුපුළුවන. එ හෙයින් පුහුදුන් කවුරුත් තර්ක කරන්නේ සත්‍යය අසත්‍යය කර, අසත්‍යය සත්‍ය කර හෝ ජය ගැනීමට ය. තර්ක කිරීමට දක්‍ෂයින් ඇතැම් නඩු විභාග වලදී සත්‍යය හොඳ හැටි පෙනී පෙනීත් සත්‍යය වසා දමන හැටි බොහෝ අවස්ථාවලදී දක්නට ලැබේ.

6. (නයහේතු) න්‍යායට අනුකූ®ල නිසා පිළිගන්න එපා

න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ සකස් කරගත් එසේත් නොමැති නම් පිළියෙල කර ගත් යන අර්ථය යි. න්‍යායට අනුව කටයුතු කිරීමේදී න්‍යායට මුල් තැන දී තමාගේ දැනුමට දෙවැනි තැන දීම කරනු ලබයි. නොයෙක් මතිමතාන්තර හෝ නොයෙක් දෘෂ්ටීන්ට ගැලපෙන සේ සකසා ගත් න්‍යායයන් ගැන නුවණින් විමසා බලන විට එම න්‍යායේ එල්බ ගත් අයට කිසියම් ප්‍රගති ගමනක් නොමැත. ඊට හේතුව න්‍යායට වහල් වීම නිසා හිතන්නට තිබෙන ඉඩ කඩ අහුරා ගැනීමයි. ලෝකයේ තිබෙන සියලුම ආගම්වල න්‍යාය අනුව අදාළ ආගමේ ශාස්තෘවරයාගේ දහම එලෙසින්ම පිළිගත යුතුයි. දෙවියන්ගේ නියමයන්ද එලෙසින්ම පිළිගත යුතුයි. ඒවා ගැන විමසීමට හෝ තර්ක කිරීමට එම ආගමේ න්‍යාය අනුව කිසිවකුටත් අයිතියක් නැත.

මෙම න්‍යායයන්ගේ දරුණු තම අවස්ථා කිහිපයක් ගැන සිහිපත් කිරීම තුලින් සත්‍යය වසන් කිරිමට යොදන ලද ප්‍රයත්නයන් කෙබඳුදැයි සිතිය හැකිය. ලෝකය දෙවියන් වහන්සේ විසින් මවන ලද්දක් නොව සූර්යයාගෙන් කැඩී ආ ගෝලාකාර වස්තුවක් යැයි අනාවරණය කළ ගැලීලියෝ බොරු කියා ජනතාව නොමග යවන බව පවසමින් අධිකරණය හමුවට පමුණුවා ජීවිතක්‍ෂයට පත් කිරීම.

ලෝකය සූර්යයා වටා භ්‍රමණය වන බව ලොවට අනාවරණය කළ සොක්‍රටීස් පඬිතුමාට ද ඒ ආකාරයටම වස පොවා ජීවිතක්‍ෂයට පත් කිරීම.

7. (ආකාරපරිවිතක්කේන) කල්පනාවට අනුරූප නිසා හෝ

කරුණ, හොඳය, දේශනා කළ පිළිවෙළත් හොඳයයි සිතා විමසා බැලීමෙන් තොරව පිළිගැනීම සත්‍යාවබෝධයට බාධාවකි.

අද ජන සමාජයේ නොයෙක් ගැටුම් හට ගැනීමට මූලික හේතුව හැඟීම් පාලනය කර ගැනීමට මිනිසාට ඇති අපොහොසත් කමයි. නො දැමුණු හැඟීම් නිසා කල්පනාවට එනු ලබන බොහෝ දේවල් ක්‍ෂණිකව ඉටු කර ගැනීමට යාමේදී ප්‍රත්‍යවේක්‍ෂණය කිරීමේ අවශ්‍යතාවය අමතක වේ. එහෙයින් පුද්ගලයා මුළාවට පත්වෙයි.

8..(දිට්ඨි නිජ්ඣානක්ඛන්ති ) දෘෂ්ටීන්ට ගැලපෙන නිසා හෝ

නොයෙකුත් මතිමතාන්තර ඉතා දැඩි ලෙස ග්‍රහණය කොට ගැනීම කෙනෙකුගේ හිතීමේ නිදහසට ලොකු බාධාවකි.

මා දන්නා දෙය තමයි නිවැරදි අනෙක් අයගේ අදහස වැරදියි යන සිතුවිල්ල සත්‍යාවබෝධයට බාධාවක් පමණක් නොව සියලු ගැටුම් වලටද හේතුවයි. අන් අයගේ අදහස් වලටත්, ගරු කිරීම, ඉවසිලිමත්ව ඒවාට සවන් දීම ලොකුම බුද්ධ පූජාවකි. තමා දරන මතය අනෙක් අයගේ අදහස් සමග ගලපා විමසුමට ලක්කිරීම සත්‍යාවබෝධයට හේතුවේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා මගඵල ලැබු බොහෝ අය එකල සිටි උගතුන් නොවේ. සුනීත, සෝපාක, සුප්පබුද්ධ, පේෂකර්ම දූහිතෘන් එ වැනි අය වෙති.

ඒ අය පහසුවෙන්ම සත්‍යය අවබෝධ කරගත්තේ කිසිම දෘෂ්ටියක් වැළඳගෙන නොසිටි බැවිනි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි මහා ප්‍රාඥයන් වන අම්බට්ඨ , කූටදන්ත, සොණාදන්ඩ, සහිය, සච්චක, පොට්ඨපාද යන මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ අය වෙති. නමුත් ඔවුන් සියලු දෙනාම ආත්ම දෘෂ්ටිය වැළඳ ගෙන සිටි අයයි. ඔවුන් නිගණ්ටනාථපුත්තයන්ගේ ශ්‍රාවකයෝය.

මේ අය අතරින් පොට්ඨපාද ගෝලයන් දාහකගේ ගුරුවරයා මෙන්ම, වාද දාහක් කළ හැකි මහා ප්‍රාඥයෙකි. ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිටි අයෙකි. සංඤ්ඤාව නිරෝධ කරගන්නා ආකාරය ඉගෙන ගැනීමට ඔහු තම ගෝලයෙකුත් සමග බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියේය.

සංඤ්ඤාව නිරෝධ කර ගන්නා ආකාරය නොයෙක් පර්යාය ක්‍රම භාවිතා කරමින් ඉතා දීර්ඝ වේලාවක් ඉගැන්වූ නමුත් ඔහුට එය අවබෝධ කර ගැනීමට නො හැකි විය. ඊට හේතුව ඔහු ආත්ම දෘෂ්ටියට බැසගෙන ඒ ගැන සිතමින් සවන් දීමය. ඔහු සමඟ පැමිණි ගෝලයා සාකච්ඡාව අසා සිට සෝවාන් ඵලයට පත්විය. පොට්ඨපාද බුදුරජාණන් වහන්සේගේ උපාසකයෙකු බවට පත් වුනි. (දීඝනිකායේ තිබෙන දිගම සූත්‍ර වලින් එකක් පොට්ඨපාද සූත්‍රයයි) දෘෂ්ටි දරා ගැනීම සත්‍යාවබෝධයට මහත් බාධාවක් බව පොට්ඨපාද සූත්‍රයෙන්ම උගත හැකිය. බුදුන් වැඳීමෙන් හා පූජා තැබීමෙන් පමණක් අපටත් කවදා හෝ නිවන් දැකීමට පුළුවන යන දෘෂ්ටිය වැළඳගෙන සිටින කාටත් මෙය හොඳ පාඩමකි.

9. (භව්‍යතාය ) එය හොඳයයි පෙනෙන නිසා හෝ

බුද්ධිමත් පුද්ගලයා උනන්දුවෙන් උද්‍යෝගයෙන් යුතුව ධර්මය පිළිබඳව උසස් වූ ගැඹූරු වූ අවබෝධයක් ඇති කර ගනියි. සිය ශක්ති පමණින්, ඥාන පමණින් ධර්මය අවබෝධ කර ගැනීම කවුරුනුත් සතු යුතුකමකි. නමුත් මෙය ඉතාමත් අමාරු කටයුත්තකි. එසේ හෙයින් වැඩි දෙනා ධර්මය ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත.

ධර්මය ඉගෙන සත්‍යය අවබෝධ කර ගන්නවාට වඩා වන්දනා මාන, පුද පූජා කටයුතුවල යෙදීම ඉතා පහසුය. අභ්‍යන්තර දියුණුවක් නැති අය පහසු දේ හොඳ යයි කියති.

පින් කිරීමද ලොකු වාසි දායක වැඩක් හැටියට පිළිගෙන තිබේ. දාන මාන ආදි කටයුතු වලදී පින් අනුමෝදන් කර දායකයින්ට නොයෙක් දේ ප්‍රාර්ථනා කරති. ප්‍රාර්ථනාවට මිනිසුන් පෙළඹවීම ද ඉතා පහසු වැඩකි. මෙය අනාදිමත් කාලයක සිට භික්‍ෂූන් විසින් දියුණු කරන ලද බව පොත පතෙහි දක්නට තිබේ.

10. (සමණො නො ගරු) අපගේ ආචාර්ය ශ්‍රමණයන් වහන්සේ කියා නො පිළිගත යුතු

ආර්ය මාර්ගයේ කටයුතු කිරීමටත්, ලෞකික ලෝකයේ ජීවත් වීමටත් අවශ්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට ගුරුවරයකු අත්‍යවශ්‍යයි. ඒ නිසා ගුරුවරුන් කෙරෙහි සමාජයේ ලොකු ගෞරවයක් තිබේ.

ලෞකික විෂයයන් ගැන ලබන අධ්‍යාපනය එක් දෙයකි. සත්‍යාවබෝධය සඳහා ගුරුවරයකු ඇසුරු කිරීම තවත් දෙයකි. සත්‍යාවබෝධය සඳහා ගුරුවරයකු තෝරා ගන්නා ආකාරය චඬකී සූත්‍රයේ කාපටික නමැති වේදය ප්‍රාරප්‍රාප්ත කළ සොළොස් වියැති තරුණ බමුණාට බුදුන් වහන්සේ දේශනා කර තිබේ. ආර්ය මාර්ගයට පිවිසෙන සැමටම එම සූත්‍රය පරිශීලනය කිරීම ප්‍රයෝජනවත් වනවා ඇත.

පොතපත කොපමණ පරිශීලනය කලත්, ගුරුවරයා කොපමණ හොඳ වුවත්, කොතරම් දක්‍ෂ ලෙස ඉගැන්වුවත්, අවබෝධ කර ගැනීම තම නැණ පමණින් සිදුවන දෙයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.