UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමඟියේ අගය

බුද්ධ කාලයේ පැවැති සමූහාණ්ඩු පාලනය සහිත රාජ්‍යයන් බලවත් වී සිටියේ සමගි සම්පන්න වූ නිසාය. භික්‍ෂූන් විෂයෙහි ක්‍රියාත්මක විය යුතු යැයි බුදුරදුන් පෙන්වා දුන් සප්ත අපරිහානිය ධර්මයන්ට සමාන ප්‍රතිපත්ති හතක් මෙම රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වීම දක්නට ලැබුණි. එම සප්තඅපරිහානිය ධර්ම මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත.

”සමග්ඝා සම්මෝද මානා
අවිවාද මානා වීරෝද ඛී භූතා
අඤ්ඤ මඤ්ඤං පියචක්කූහි
සම්පස්සන්තා විහරන්ති “

“සමඟියෙන් එක්සත්ව එක්සිත්ව විවාද රහිතව කිරි හා දිය එකට එක්වූවා සේ එකිනෙකා කෙරෙහි පි‍්‍රය ඇසින් බලමින් වාසය කරන්න.”

යනුවෙන් සම්බුද්ධ දර්ශනය තුළදී පැහැදිලි කරනු ලැබුවේ සමඟියේ අගයයි. “ සුඛා සංඝස්ස සාමග්ගි” සංඝයාගේ සමඟිය සැපතක් වන බව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් විෂයෙහි නිරතුරුවම දේශනා කර ඇත.

බුදුරජාණන් වහන්සේ ගොඩනැගූ භික්ෂු සමාජය භික්‍ෂූන් ඇමතීම සඳහා සමූහය යන අර්ථය දෙන සංඝ යන නාමය භාවිත කළ බුදුරදුන් සැමවිටම සාමූහික හැඟීම් දී ඇත. සංඝ සමූහයක් උදෙසා සිදුකරන පූජාව හැඳින්වූයේ සාංඝික පූජාව වශයෙනි. බුදුරදුන් භික්ෂූන්ට නියම කළේ පුද්ගලිකව යමක් භාර නොගෙන සාංඝිකව යමක් භාරගන්නා ලෙසයි.

පුද්ගලිකත්වය තහවුරු නොවී සාමූහික හැඟීම් වර්ධනය වීම තුළින් භික්ෂු සමාජයේ උන්නතිය සිදුවන බව හොඳින් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ සංඝයාගේ සමඟිය, සහජීවනය, එකමුතුකම අගය කළහ.

එක් අවස්ථාවක මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වස්ත්‍ර යුවළක් බුදුරදුන් උදෙසා පූජා කිරීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ ඇයට ප්‍රකාශ කර සිටියේ,

සංඝ ගෝතමි දේහි සංඝෙ දින්නේ නේ
අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝච”

ගෝතමිය, ඔය වස්ත්‍ර යුවළ මහා සංඝරත්නයට පූජා කරන්න..එවිට මමත් මහා සංඝයාත් දෙපාර්ශ්වය උදෙසා පූජා කළා වේ යනුවෙනි.

බුදුරදුන්ගේ සුළු මව වූ ගෝතමියට වැඩි ආනිසංස ලබාදීමත් සාංඝික ක්‍රමයේ අනුසස් ලෝකයාට ප්‍රකාශ කිරීමටත් බුදුරදුන් ක්‍රියාකර ඇති අන්දම ඒ අනුව පැහැදිලිය.

බුදුරදුන් භික්ෂූන්ට අනුදැන වදාළේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්‍ය යන සිව්පසය පිළිගැනීමේදී සාංඝිකව පිළිගන්නා ලෙසය. සාංඝිකව පිළිගැනීම නිසා භික්ෂූන් අතර සමඟිය වර්ධනය වෙයි. සමගිය ශාසනයේ චිරපැවැත්ම උදෙසා හේතුවෙයි. සෙල්ලිපි පාඨවල දැක්වෙන ආකාරයට ලංකාවේ ආරාම පූජා කර ඇත්තේ,

” අගන අනගත චතුදිස සඝ ස දිනේ “

ආවාහුද නොආවාහුද සතර දිගින් වඩින මහා සංඝයා උදෙසා යනුවෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ භික්‍ෂූන් තුළ සමගිය, එකමුතුකම අපේක්‍ෂාවෙන් භික්‍ෂු සමාජය උදෙසාම මෙම පූජා සිදුකර ඇති බවයි. සාමූහිකත්වය වර්ධනය වන ආකල්ප වලින් භික්‍ෂූන් වහන්සේ බලවත් වීම භික්ෂූන්ටත් භික්ෂූ සමාජයටත් යහපත්ය. භික්‍ෂූ සමාජය තුළ ක්‍රියාවට නැංවිය යුතු සප්ත අපරිහානිය ධර්මයන් බුදුරදුන් දේශනා කර ඇත.

එනම් ,

1. නිතර රැස්වීම
2. සමඟිව රැස් වී සමගිව සාකච්ඡා කර සමඟිව විසිරයාම
3. නොපැන වූ නීති නොපැනවීම හා පැනවූ නීති ආරක්ෂා කිරීම
4. තෙරුවන්ට ගරුසත්කාර කිරීම
5. තෘෂ්ණාවට වසඟ නොවීම
6. අරණ්‍ය සේනාසනයක වාසය කිරීම
7. නොපැමිණී පැවිදි උතුමන් පැමිණෙත්වා යැයිද, පැමිණි උතුමන් පහසු ලෙස වසත්වා යැයි සිතීම .

භික්ෂු සමාජයේ චිර පැවැත්ම උදෙසා ඉහත ධර්ම කරුණු ක්‍රියාවට නැංවීම සසුනට හිතකාමී වෙයි. භික්‍ෂුන් තුළ සමඟිය වර්ධනය වීමට එම කරුණු බෙහෙවින් ඉවහල් වන බව පෙනේ.

“ සමග්ඝා හෝත මා විවඝත” යනුවෙන් සමඟිවන්න යැයි බුදුරදුන් භික්ෂූන්ට අවවාද අනුශාසනා කළේ භික්‍ෂූ සහජිවනය උන්වහන්සේ නිරතුරුම අපේක්ෂා කළ බැවිනි.

කොසැඹෑනුවර ඝෝෂිතාරාමයේදී ධර්මධර විනයධර භික්‍ෂු දෙපිරිස අතර ඇතිවූ ගැටුමේදී බුදුරදුන් සමඟිවන ලෙස ඔවුනට අවවාද කළද එය සමතයකට පත් නොවීම, නිසා උන්වහන්සේ කම්පාවට පත්විය. භික්‍ෂූන්ගේ අනවබෝධි ක්‍රියාකලාපය නිසා ඔවුන් සමඟි නොවුන බැවින් බුදුරදුන් පාර්ල්‍යෙය නම් වනයට වැඩම කළහ. පාර්ල්‍යෙය ඇතාගේ පුදසත්කාර එහිදී උන්වහන්සේ වෙත ලැබුණි. බුදුරදුන්ටද අකීකරු වූ අසමගි භික්‍ෂූන්ට ගිහි පිරිස පුද සත්කාර නොකර සිටීමට ක්‍රියා කිරීම නිසා භික්‍ෂූන්ට සමගිව විසීමේ අගය, අවබෝධ වන්නට විය. ඒ අනුව මේ ධර්මධර විනයධර භික්‍ෂූන් සමගිව කල්ගෙවන්නට තීරණයක එළැඹිණි . බුදුරදුන් නැවත වරක් ඝෝෂිතාරාමයට වැඩම කළේ මෙම භික්‍ෂූන් සමගිවීමෙන් පසුවයි.

භික්‍ෂු සමාජයට පමණක් නොව ගිහි සමාජයට ද සමගිය ඉතා වැදගත්ය භික්‍ෂුවගේ මගපෙන්වීම නිසා ජීවිත යහමගට යොමු කරගන්නා ගිහි ජනතාවට භික්‍ෂුව ආදර්ශවත් විය යුතුය. එබැවින් භික්ෂු සමාජයේ සමගිය නිරතුරුවම පවත්වාගැනීමට භික්‍ෂූන් ක්‍රියාකිරීම යහපත්ය.

ජාතක කථා පොතෙහි එන වටුජාතක කතාව ගිහි පැවිදි දෙපිරිසටම සමගියේ අගය පැහැදිලි කරයි. එම ජාතක කථාවේ සඳහන් වන පරිදි සමගි සම්පන්නව ක්‍රියාකිරීම නිසා වටු රංචුවට වැද්දා, එලූ දැළ ඔසවාගෙන යාමට හැකි විය. සියලු දෙනාම මරණයෙන් මිදුණි. නමුත් පසුව මෙම වටුරංචුව අසමගිවීම නිසා ඔවුන් සියලුදෙනාට මරණයට පත්වීමට සිදුවිය. මේ අනුව පුද්ගල ඉදිරි දියුණුව තකා සමගිව ක්‍රියාකිරීම අර්ථය පිණිසම හේතුවන බව අවධාරණය කරගත හැකිය.

බුද්ධ කාලයේ පැවැති සමූහාණ්ඩු පාලනය සහිත රාජ්‍යයන් බලවත් වී සිටියේ සමගි සම්පන්න වූ නිසාය. භික්‍ෂූන් විෂයෙහි ක්‍රියාත්මක විය යුතු යැයි බුදුරදුන් පෙන්වා දුන් සප්ත අපරිහානිය ධර්මයන්ට සමාන ප්‍රතිපත්ති හතක් මෙම රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වීම දක්නට ලැබුණි. එම සප්තඅපරිහානිය ධර්ම මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත. එනම්,

1. නිතර රැස්වීම
2. සමගිව රැස්වී සමගිව සාකච්ඡා කර සමගිව විසිරයාම
3. නොපැණ වූ නීති නොපැණවීම, පැණ වූ නීති ආරක්‍ෂා කිරීම
4.විවාහක හා අවිවාහක කාන්තාවන් විෂයෙහි විනීත වීම
5.වැඩිහිටියන්ට සැලකීම
6. පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම
7. රටට නොපැමිණි ආගමික උතුමන් ගෙන්වා ගැනීමට. පැමිණි ආගමික උතුමන්ට සැලකීමටත් උපදෙස් ලබාගැනීමටත් ක්‍රියාකිරීම

බුද්ධ කාලයේ භාරතයේ පැවැති සොළොස් මහා ජනපද වලින් වජ්ජි, මල්ල රාජ්‍ය වල මෙම සප්ත අපරිහානිය ධර්ම ක්‍රියාත්මක වීම නිසා එම රාජ්‍යයන්හි පාලක පාලිත දෙපරිස අතරෙහි සමගිය, සහජීවනය, එකමුතුකම , සුහදත්වය, ආචාරශීලිබව, විනීතකම, වැඩිහිටියන්ට සැලකීම, ආගමික නිදහස ආදී ගුණධර්මයන් රැසක් ක්‍රියාත්මක විය. වරක් අජාසත් රජු වජ්ජි රාජ්‍ය යටත්කර ගැනීමට උත්සාහ ගැනීමේදී බුදුරදුන් අවධාරණය කර සිටියේ සප්ත අපරිහානීය ධර්ම එම රාජ්‍ය තුළ ක්‍රියාවට නැංවෙනතාක් එම රාජ්‍ය යටත් කර ගැනීමට නොහැකි බවයි.

සමඟිසම්පන්න බව ලොකු බලයකි. පුද්ගලයාට තනිව කළ නොහැකි අසීරු කාර්යයන් සමගිවීම තුළින් පහසුවෙන් ඉටු කරගත හැකිය. දිනක් එක් පියෙක් තම පුතුන් තිදෙනාට දරමිටියක් තනි තනිව බිඳින ලෙස උපදෙස් දුන් නමුත් ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකුටවත් එම දරමිටිය තනිව වෙන්කිරීමට නොහැකි විය. පසුව පියා තිදෙනාටම එක්ව ඒ දෙය කරන ලෙස කියු

පසු තිදෙනාට පහසුවෙන් එම කටයුත්ත ඉටුකළ හැකි විය. සමගිය සැබවින්ම බලයකි. පුද්ගලයින් අතරත අන්‍යෝන්‍ය බැඳීම , විශ්වාසය, සහයෝගය පවතිනතාක් ඔවුන්ගේ සමගිය බිද දැමීමට කිසිවෙකුට නොහැකිය. භික්‍ෂු සමාජය තුළින් ඇරඹෙන සමගිය පවුල් සංස්ථා දක්වා ගමන් කිරීම සමාජයට වැඩදායකය. ගිහි පැවිදි දෙපිරිසටම සම්බුද්ධ දර්ශනය තුළ පවතින ධර්මතා ක්‍රියාවට නැංවීම තුළින් ආර්ථික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් කරා පියනැගීමට හැකියාව පවතී.

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]