UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්ෂාවෙන් දියුණු වන දහම් මඟ

ප්‍රත්‍යවේක්ෂා කිරීම - 3

අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඉගෙන ගත්තොත්, අපි තුළ කලබලයක් නෑ. කලබලයක් තියෙන තැන ප්‍රත්‍යවේක්ෂා කිරීමක් නෑ. දැන් වැඩි දෙනෙකුට තියෙන්නෙ කලබලයක්නෙ. ඉක්මනින් මේක කරන්න ඕන කියන හැඟීමක් තමයි තියෙන්නෙ. ඉක්මනින් කරන්න ඕන කියන හැඟීමක් එන තැන ම නුවණින් කල්පනා කිරීමක් නෑ..එනිසා මේ ප්‍රත්‍යවේක්ෂා කරන එක හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න කෙනා නිතැතින්ම ඉවසන කෙනෙක් බවට පත්වෙනවා. ඉවසීමත් එක්ක සම්බන්ධයි ප්‍රත්‍යවේක්ෂා කිරීම .හොඳට ඉවසන්න පුළුවන්කම ඇතිවෙනවා නුවණින් කල්පනා කරන කෙනාට. ඒ නිසා හොඳට මේක තෝරා බේරා ගන්න. හැබැයි අමාරුයි. අමාරුයි කියන්නෙ බෑ කියන එක නොවෙයි.

බණ අහනකොට වේවා, දේශනා කියවනකොට හෝ වේවා, භාවනා කරන කොට හෝ වේවා අපිට සැප පහසුවක් දැනෙනවා නම් අපි කොහොමද ඒ බව තෝරා බේරා ගත යුත්තේ? මේ ධර්මයේ හැසිරීම නිසයි මේ සුවය ලැබෙන්නේ කියල තෝර බේර ගන්න ඕන. එතැනින් තමයි ප්‍රත්‍යවේක්ෂා කිරීම පුරුදු වෙන්නෙ. ඉතින් ඒක තෝර බේර ගන්න බැරිනම්, දිගටම එයා ඒ කටයුත්ත කරන්න උත්සාහ කරන්නෙ නෑ. එකෙ ප්‍රතිඵලයක් එයාට තේරෙන්නෙ නෑ.

ආරම්භයේ පටන්ම අපි තෝරා බේරා ගත යුතු තව කාරණයක් තියෙනව. මෙයත් ප්‍රත්‍යවේක්ෂා කිරීමටම සම්බන්ධයි. ඒ ප්‍රත්‍යවේක්ෂා කරන්න දන්න කෙනාට, දක්ෂ කෙනාට වාසනාවක් ඉපදෙනව සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ කරගන්නට. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්න දක්ෂ කෙනාට ලැබෙන ලොකුම ලාභය. ඉතින් ඒක ආරම්භයේදීම සිදුවිය යුතු දෙයක්. ආරම්භයේදීම ප්‍රත්‍යවේක්ෂා කරන්න දක්ෂ කෙනා සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ කරගන්නවා. ඒ කෙනා ධර්ම මාර්ගයෙන් බැහැරට විසිවෙන්නෙ නෑ. හැබැයි ප්‍රත්‍යවේක්ෂා කිරීම දුර්වල වෙනකොට එයාගෙ ගමන අඩාලයි. වේගය අඩුවෙනවා.

එතකොට බලන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න අපිට පුළුවන්නම් සෝතාපත්ති අංග ජීවිතයට සම්බන්ධ කරගන්ට භාග්‍යය උපදිනව. එවිට නොදත් ධර්මය අහන්ට ලැබෙනවා. ඒ ධර්මය අහනකොට අපේ හිතේ ප්‍රබෝධය ඇතිවෙනවා. එතකොට එයාට වැටහීමක් තියෙන්න ඕනෙ මේ ප්‍රබෝධය ඇතිවුණේ කුමක් මුල්කරගෙන ද කියල. කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව , මෙන්න මේ කරුණු හතර මුල්කරගෙන තමයි එයාට ඒ සුවපහසුව අතිවුණේ.

ඉතින් එයා ඒක තේරුම්ගත්තොත් ඒ අංග හතර ජීවිතයට සම්බන්ධ කරගන්නව. ඒ විදිහට ඒ අංග හතර ජීවිතයට සම්බන්ධ කරගන්නෙ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් කෙනාමයි. ප්‍රත්‍යවේක්ෂා කරන්ට බැරි කෙනාගේ ජීවිතයට ඒ සෝතාපත්ති අංග සම්බන්ධ වෙන්නෙ නෑ.

දැන් මෙහෙම හිතන්න, ඔන්න කෙනෙක් භාවනාවක් කරගෙන යනවා. එයාට යම් සමාධියක් ඉපදෙනවා. එයාට ඒ සමාධිය මුල්කරගෙන සැප සතුට ලැබෙනවා. එයාට තෝර බේරගන්න බැරිවුණොත් මේ සැප ලැබෙන්නේ , සුවය ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර මුල්වෙලා කියල, එයා කොහොමද කල්පනා කරන්නෙ? මම භාවනා කළා, මට සමාධිය ලැබුණා,මම තමයි මේක උපදවා ගත්තේ.... මේක මගේ...මම තමයි සමාධිය තියෙන කෙනා...කියන අදහසටයි එයා එන්නෙ.

ධර්මය ඉගෙන ගත්තාම එයාට දහම් දැනුම ඇති වෙනව. සැප සතුට තියෙනවා. ඉතින් එයාට තෝරාගන්න බැරිවුණොත් එහෙම මේ කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර, එය කොහොමද හිතන්නෙ? මම ඉගෙන ගත්තා..මට දැනුම තියෙනවා...මේ දැනුම මගේ...මේක මම ....කියල කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නෙ? එයාගෙ ජීවිතයට සෝතාපත්ති අංග සම්බන්ධ වෙන්නෙ නෑ. එයාගෙ ජීවිතය මම, මගේ, මගේ ආත්මය කියන අදහස තුළම පවතිනවා.

සෝතාපත්ති අංග සම්බන්ධ වෙන කෙනාගේ් ජීවිතය තුළින් මම, මගේ, මගේ ආත්මය කියන අදහස බැහැර වෙනවා. එයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නෙ මොකක්ද? කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඒ අංග හතර සම්බන්ධ වෙන්නේ නුවණින් කල්පනා කරන්න පුළුවන් කෙනාටයි. නුවණින් කල්පනා කරන්න බැරි කෙනා හිතන්නෙ මේක .මම, මගේ, මගේ ආත්මය කියලයි. සමාධිය ඉපදුණත් එහෙමයි, දහම් දැනුමටත් එහෙමයි. මා කල්පනා කරනවා මේක මගේ එකක, මමයි කළේ, මටයි ලැබුණෙ, මම තමයි මේ සමාධිය තියෙන කෙනා, මම තමයි දැනුම තියෙන කෙනා කියලා.

ඒ නිසා හොඳට තේරුම් ගන්න, පොත පත බලල අපි තමයි ඉගෙන ගන්නේ, භාවනා කරල අපි තමයි සමාධිය උපදවා ගන්නෙ. වෙන කෙනෙක් නොවෙයි. එසේ වූ පමණින් ඒක මම කළා, මගේ කියල යම් කෙනෙක් ගත්තොත් එයා නොමඟ. මේ ධර්මයේ හැසිරීම පටන්ගත්තෙ කොහෙන්ද? අන්න එයාට තේරෙනවා කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය,යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර මගින් තමයි මට මේ සැප ලැබෙන්නේ කියල. අන්න එයා ඒ සෝතාපත්ති අංග හතරට කැමති වෙනවා. ඒ සෝතාපත්ති අංග හතර මුල්වෙලා තමාගේ ජීවිතයට ඇතිවුණ, ඉපදුණ, ඒ සැප සතුට මම, මගේ කියල ගන්න කැමති වෙන්නෙ නෑ.

එයා තමයි මහන්සි වෙලා භාවනා කළේ. වෙන කෙනෙක් කරල දුන්නෙ නෑ. නමුත් තමාම මහත්සේ මහන්සි වෙලා උපදවගත්ත ඒ සමාධිය වුණත් මම, මගේය කියල ගන්නෙ නැත්තෙ ඇයි? එයා දන්නවා, මේ සෝතාපත්ති අංග මුල්වෙලයි මට මේක ලැබුණේ කියලා. එයාට තමා නොවෙයි වටින්නේ, සෝතාපත්ති අංග..,එයාට වටින්නේ කල්‍යාණමිත්‍ර ඇසුර. එයා දන්නව ඒක මුල්කරගෙන තමයි මේ සියලු ලාභ මට ලැබෙන්නේ කියල. අන්න ඒ විධියට එයා ඒ ධර්මයට සම්බන්ධ වෙන්නෙ ප්‍රත්‍යවේක්ෂා කිරීම ජීවිතයට පුරුදුකරගෙන හිටියොත් .

ඒ නිසා හොඳට බලන්න. අපිට හැමදාමත් මේක සිහිකරන්න පුළුවන් දෙයක්.

දැන් බලන්න අපට ගැටලු ඇතිවෙනවා, ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ප්‍රශ්න ඇතිවුණායින් පස්සෙ ඉතාම පීඩාවෙන් ඉන්නව නේද? ඔන්න ඊට පස්සෙ කල්‍යාණ මිත්‍රයෙක් හමුවෙනවා. කල්‍යාණ මිත්‍රයා කරුණු කියනවා, ධර්මය කියනවා. ඊට පස්සේ අපට ඒ ප්‍රශ්නෙ විසඳිලා යනවා. කලින් තිබුණ හිතේ පීඩාව දුරුවෙලා යනවා. එහෙම නේද වෙන්නෙ?

දැන් නුවණ තියෙන කෙනා කල්පනා කරනව. “ මම දුක් වින්දා. පීඩා වින්දා. ඇයි ඒ? ධර්මයේ නොහැසිරුණ නිසා. ධර්මයේ හැසිරීමක් තිබුණානම් පීඩාවක් විඳින්නෙ නෑ. මම ධර්මයේ හැසිරුණේ නෑ. ඒ කියන්නෙ හිතෙන් ධර්මය පුරුදු කළේ නෑ. අධර්මයක මම හිටියෙ. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයේ මම හිටියෙ. පීඩාවක් ආවා. මට කල්‍යාණ මිත්‍රයා මුණ ගැහුණා.

ධර්මය ඇහුවා. ඒ ධර්මයට අනුව මම හිතුවා.. යොනිසෝ මනසිකාරය කළා. පීඩාව දුරු වුණා. සැප පහසුව ලැබුණා.

“ දැන් මේ විධියට කල්පනා කළොත් දක්ෂ වෙනව නේද කල්‍යාණමිත්‍ර ඇසුර හඳුනාගන්න? කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මේ අංග හතර මගින් සැප සොම්නස ලැබෙනවා කියන කාරණය එයා තේරුම් ගන්නවද? නැද්ද? තෝර බේරා ගන්නව. එයා ඒකට අදක්ෂ වුණොත්, කල්‍යාණමිත්‍ර ඇසුර ජීවිතයට සම්බන්ධ කරගනීද ? නෑ.

බලන්න ඒ සිතේ ඇතිවුණ පහසුව. සිතේ යම් පහසුවක් ඇතිවුණා නම් ඒ පහසුව ඇති වුණේ සිතේ රාග, ද්වේෂ, මෝහ තුනී වෙලා, අකුසල් තුනී වෙලා. ඒ අකුසල් තුනී වෙලා පහසුව ඇතිවෙන්න බලපෑ කාරණා මොනවද? සෝතාපත්ති අංගයි. සෝතාපත්ති අංග පුරුදු කිරීමෙන් හිතේ සුවපහසුව ඇතිවුණා.

අන්න ඒක අපි තෝරාබේරා ගත්තොත්, ආරම්භයේ සිටම අපි සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ කරගනීද? නැද්ද? බද්ධ කරගන්නවා.

එහෙනම් භාවනාවකින් සාර්ථක ප්‍රතිඵල කැමති වන්නා වූ යම් කෙනෙක් සිටීද, අන්න එයා ආරම්භයේ සිටම පුරුදු කරගත යුතු මහත් ඵල, අතිශයින්ම වටිනා, පරම ගම්භීර වූ ධර්මය මොකක්ද? කුසල් දහම් නුවණින් කල්පනා කිරීමයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නෙ කුසල් දහම් ප්‍රත්‍යවේක්ෂා කිරීම බොහෝ උපකාර ලැබෙන දෙයක් කියල. එනිසා අපි කාටත් මේ ධර්මයෙන් පිහිටක් , පිළිසරණක් ලබා ගැනීම පිණිස ඒ උතුම් ධර්මය “ප්‍රත්‍යවේක්ෂා කිරීම” කියන උතුම් දෙය අපේ ජීවිතයට පමුණුවා ගැනීම පිණිස උතුම් වූ භාග්‍ය උදාවේවා කියා අපි ආශිර්වාද කරනවා.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]