UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙයට සය වසරකට පෙර සුනාමි චණ්ඩ රළ පහර නිසා අප අත්විඳි වේදනාබර අත්දැකීම යළි යළිත් සිහිකරන්නට කිසිවකු තුළ මනාපයක් නැත. එහෙත් එහි සිත පාරවන පාර්ශ්වය නොව ඒ මොහොතේදීත් ඉන් පසුවත් අප එකිනෙකා වෙනුවෙන් ඉටුකළ උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතා වැදගත්ය. සුනාමි ව්‍යසනයේදී ආසියානු කලාපයේ අති දරුණුතම විනාශයට මුහුණ දුන් පැරෑලිය, තෙල්වත්ත ප්‍රදේශයේදී විපතට පත් ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තබා උදාර මෙහෙයක් ඉටුකළ ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයේ වැඩ වාසය කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ ද එසේ දුකට පත් වූවන්ට පිහිට වූ උදාර මිනිසුන්ට අයත්ය. උන්වහන්සේ සහ සහෝදර භික්ෂූන් වහන්සේ එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් සහ ක්‍රියා කළ අන්දම ගැන ආවර්ජනයක යෙදෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු.

සොබාදහම කෙතරම් විස්මයජනකද? විටෙක චමත්කාරජනක එය, තවත් විටෙක ඛේදජනකයි. මීට වසර හයකට පෙර 2004 දෙසැම්බර් 26 වැනි දා සොබා දහම අපට ලබා දුන්නේ කිසිදා මතකයෙන් ඈත් නොවන ශෝචනීය අත්දැකීමකි.


ජීවිත රැසකට ආරක්‍ෂාව දුන් බෝධීන් වහන්සේ

රිච්ටර් මාපකයේ 9.00 ක් පමණ වන ලෙස සටහන් වූ අතිප්‍රබල භූ කම්පනයක් ඉන්දියානු සාගර සුමාත්‍රා දූපත් මුහුදු තීරයේ හටගත්ත ද එම කම්පනයෙන් පසු ලෝකවාසීන්ගේ හදවත් තුළ හටගත් කම්පනය කෙතරම් ප්‍රබල වූවාද කිවහොත් එය මැනිය හැකි කිසිදු මිනුම් දණ්ඩක් මෙතෙක් සොයාගත නොහැකි විය. මක්නිසාද කිවහොත් එදා මෙදාතුර ඇතිවූ විශාලතම ඛේදවාචකයක් මිනිසාට අත්විඳීමට සිදුවූ නිසා.


පුරාණ තොටගමු විහාරය

“සියලු දෙය අනිත්‍යයි! “ තථාගතයන් වහන්සේගේ දේශනාව එයයි. එය සැබෑවකි. මෙය අවබෝධ කරගත් ඥානවන්තයෝ මෙන්ම අවබෝධ කර නොගත් අඥානයෝද සිටිති. මෙය මිහිමත වෙසෙන කාහටත් පොදු ධර්මතාවක් බව සනාථ කරමින් මවුපියන්ට දරුවන් අහිමි කළාසේම දරුවන්ට මවුපියන් ද අහිමි කළා. සහෝදර සහෝදරියන් හට එකිනෙකා අහිමි කළා. ජීවිත කාලය පුරාම එක් රැස් කළ සියල්ලම එක නිමේෂයකදී විනාශ වී ගියා. තම වර්ගයා අත් විඳි බිහිසුණු විපතින් මිනිසුන්ගේ හදවත් කම්පිත වී ගියා.

ලොව විවිධ ඛේදවාචකයන් සිදුවුවද එකම ස්ථානයක වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වූ අවස්ථා නම් අතළොස්සක් තරම්. එවන් ස්ථාන අතරට ශ්‍රී ලංකාවේද එක ප්‍රදේශයක් එක්වීම කෙතරම් අභාග්‍යයක් ද? සුනාමි චණ්ඩ රළ පහරට ගොදුරු වී දහස් ගණන් මිනිස් ජීවිත සමඟින් දකුණු පළාතේ පැරෑළිය ප්‍රදේශයේදී විනාශ වී ගිය දුම්රිය ඔබට මතකද ? එවන් මහත් ව්‍යසනයක අඳුරු පැල්ලමක් කෙසේනම් මතකයෙන් ඈත් කළ හැකිද?

එම ශෝචනීය දවසේ දිවයිනේ මුහුදු බඩ කිලෝ මීටරයක් දෙකක් පමණ රට අභ්‍යන්තරයට වූ සියල්ල සුනාමි රළ පෙළ කුරිරු අන්දමින් බිළි ගනිද්දී ඇතැම් ප්‍රදේශ මුළුමනින්ම විනාශ වී ගියද, අවම හානියක් වූ ප්‍රදේශ ද නොතිබුණා නොවේ. දුම්රිය විනාශ වී ගිය පැරෑළිය ප්‍රදේශයත් එයට තදාසන්න ප්‍රදේශත් සුනාමි දළ රළ පෙළ ගොදුරු කර ගත්තේ කෙතරම් දරුණු අයුරින් ද? පැරෑළිය ආසන්නයේ පිහිටි තෙල්වත්ත ප්‍රදේශය ඓතිහාසික පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරය නිසාම ඉමහත් ප්‍රසිද්ධියට පත් වූවක්. ප්‍රදේශවාසීන්ට මිණි පහනක් බඳු මෙම විහාරයට දෙවැනිපෑතිස් රජ දවස දක්වා තරමට ඈතට දිවෙන ඉතිහාසයක් උරුමයි. වියරු රළ පෙළ මුළු ප්‍රදේශයම පොළොවට සමතලා කරද්දී මෙම විහාරයට අනතුරක් කිරීමට නොහැකි වූයේ පෙර දවස බවුන් වඩා රහත් භාවයට පත් රහතන් වහන්සේ වැඩ සිටි පින් බිමක මහානුභාවය නිසාම විය යුතුයි.


දුම්රිය අනතුර සිහිවීම පිණිස ඉදි කළ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

මගීන්ගෙන් පිරීගිය දුම්රියක් ඔසවා මීටර පන්සියයක් පමණ ඈතට විසි කර කුඩු පට්ටම් කිරීමට තරම් ශක්තිමත් රළ පෙළට මෙම විහාරස්ථානය ද විනාශ කිරීමට හැකියාවක් ලැබුණානම් මේ ඓතිහාසික පුණ්‍ය භූමිය තවත් දහස් ගණනකගේ සුසාන භූමියක් බවට ඉතිහාස ගතවනවාට කිසිඳු සැකයක් නැත. මක් නිසාද කිවහොත් එදින පසළොස්වක පොහොය දිනයක් වූ නිසාම පෙහෙවස් සමාදන් වූ උවැසි, උවැසියන් හා විහාරය වන්දනා කිරීමට පැමිණි විශාල පිරිසක් විහාරස්ථානයේ සිටි බැවිනි. දහස් ගණනකගේ ජීවිත රැකදෙමින් ඉතිහාසගත විහාරස්ථ ප්‍රෞඩත්වය ආරක්‍ෂා කළ අභිමාන වූ පින් බිමක වැඩ වාසය කරන සංඝයා වහන්සේ ද සුනාමි ඛේදවාචකයේ දී ඉටු කළාවූ සේවාවේ වටිනාකම කෙසේනම් කිව හැකිද?


සුනාමි ස්මාරකය

දුම්රිය අනතුරින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූවන් හට යළි ජීවිතය ලබා දෙන්නට දිවි හිමියෙන් කළාවූ ඒ වීරෝධාර වූ පුණ්‍ය ක්‍රියාව කෙසේනම් විස්තර කරන්නද ? ඒ කටුක අත්දැකීම යළි ආවර්ජනය කරන්නට පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරාධිපති පිටුවල සුමන ස්වාමීන් වහන්සේ අප හා එක් වූහ.

“එදා පසළොස්වක පොහොය දවසක් නිසා පන්සලේ විශාල පිරිසක් සිල් සමාදම් වෙලා හිටියා. ඊට අමතරව විහාරය වන්දනා කරන්න ආ උදවියත් විශාල වශයෙන් සිටියා. සුනාමිය එනවට බයේ ආරක්‍ෂාව පතා ආ පිරිසත් ඒ වෙලාවෙ හිටියෙ පන්සලේ. සමහර අය බෝධීන් වහන්සේට ගොඩ වෙලා. තවත් සමහරු විහාරයේ දෙමහල් ගොඩනැඟිලිවලට නැඟල හිටියා. වයෝවෘද්ධ අය ධර්ම ශාලාවට වෙලා තෙරුවන් සිහිගන්වමින් සිටියා. කොහොම වුණත් අඩි තිස් පහක් හතළිහක් තරම් උස මහා රළ පෙළට මුළු පළාතම විනාශ කරන්න හැකියාව තිබුණත් මේ විහාරයටත්, විහාර භූමියේ ජීවිත ආරක්‍ෂාවට හිටපු අයටවත් අනතුරක් කරන්න පුළුවන් වුණේ නැහැ. සමහර අය මේව විශ්වාස නොකළත් සිදුවෙච්චි දේ ගැන හිතනකොට ඒ උදවියටත් හිතන්න වෙනව තෙරුවන් ගේ ආනුභාවය කිසිම අඩුවක් නැතිව තියනව කියලා.

අනෙක් කාරණය තමයි කොතරම් ශක්ති සම්පන්න අයෙක් වුණත් යම් විපතකදී ඒ අයට මතක් වෙන්නේ තෙරුවන්. ඒ නිසාම තමයි මේ විපතින් බේරෙන්න පන්සලට දුවගෙන එන්නෙ.”

අපේ හාමුදුරුවො කියන කතාවනම් ඇත්ත. තෙරුවන් සරණට වඩා සරණක් තවත් කොයින් ද? අපි නැවතත් උන් වහන්සේගේ හඬට සවන් යොමු කරමු.


විහාරාධිපති පිටුවල සුමන හිමි

“ඉතිං දෙවැනි රළ පහර ඇවිල්ල ගියාට පස්සෙ බැලූ බැලූ අත නටබුන් බවට පත් වෙලා. ගෙවල් දොරවල් විනාශ වෙලා. යාන වාහන විනාශ වෙලා. හැම තැනම මළ සිරුරු. පෙර පිනකින් දිවි බේරාගත් උදවිය අමාරුවෙන් විහාරයට ආවා. සමහර අයගෙ වස්ත්‍රවත් නැහැ. ඒ මදිවට හොඳටම තුවාල වෙලා. පන්සලට පූජා කරල තිබුණ රෙදි පිළි දීල නිර්වස්ත්‍රව හිටපු අයට විළි වසාගන්න සැලසුවා. මම අපේ අනිත් භික්‍ෂූන් වහන්සේත් එක්ක එකතු වෙලා තුවාල වුණ අයට ප්‍රතිකාර කළා. සමහර අයට සිහි නැතිවෙනවා. ඒ අයගෙ කටට වක්කරන්න වතුරවත් නැහැ. ජල නල සියල්ලම කැඩිල නිසා වතුරත් නැහැ. දැන් ඉතිං මොනව කරන්නද ? ඒ වෙලාවෙ පන්සලේ හිටපු තරුණයන්ගෙ උපකාර ඇතිව ගස්වල කුරුම්බා ගෙඩි කඩල ඒ වතුර තමයි සිහිය නැති අයට දුන්නෙ.


එදා රකුසු වෙස් ගත් මුහුද අද ....

තවත් සමහර මවුවරු මියගිය පුංචි ළමයි තුරුළු කරගෙන අඬාගෙන එනව. අපට පුළුවන් විදියට ඒ අයගෙ සිත් සනසල යම් තරමක හරි සහනයක් ලබා දුන්නා. මොකද මීට සුළු වෙලාවකට කලින් තමන්ගේ දෑතෙ හුරතල් වෙවී නිදපු දරුවාගෙ මළ කඳ වුණත් කොහොම විසි කරන්නද”

ලොකු හාමුදුරුවෝ එහෙම කියනකොට මගේ මතකයට ආවෙ එදා බුදුන් දවස ජේතවනාරාමයට පැමිණි පටාචාරාවන් , කිසාගෝතමියන්. නමුත් මෙදා පටාචාරාවන්, කිසාගෝතමියන් වැනි මවුවරුන් සිය ගණනක් පිළිසරණ පතා තොටගමු විහාරයට ඇවිල්ලා. ඒත් ඔවුන්ට පිහිට වෙන්න අපේ බුදු හාමුදුරුවො අද අප අතර නැහැ. නමුත් උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් ගන්නා භික්‍ෂූන් වහන්සේ සිතට සැනසුමක් ගෙන දෙනවා. එදා සුනාමි විපතින් අසරණ වූ අයට පිළිසරණක් වූ අපේ හාමුදුරුවො පවසන ඒ තිත්ත වූ ඇත්ත කතාවට යළිත් සවන් යොමු කරමු.

“දැන් එක්කෙනා දෙන්නා අමාරුවෙන් පන්සලට එනවා. ඔය අතරෙ ආපු කෙනෙක් මට කිව්වා “අනේ හාමුදුරුවනේ අපි ආව කෝච්චිය මේ හරියෙ පෙරලුණා. ඒකෙ අය හුඟ දෙනෙක් මැරිලා. පණ තියන අයත් ඉන්නවා. කවුරුහරි ගියොත් ඒ අය බේරගන්න පුළුවන්” කියල. අනතුරු වෙලා එන අයට උපස්ථාන කරන්න පොඩි හාමුදුරුවන්ට භාර කළ මම ඒ වෙලාවෙ පන්සලේ හිටපු අයට කතා කළා කෝච්චියක් පෙරළිලා තියනව අපි ගිහින් ඒකෙ අය බේරගෙන එමු කියල. නමුත් මම කියන දේ අහන්න තරම් නිරවුල් මනසක් ඒ අයට තිබුනෙ නැහැ. ඒ අයත් හඩා වැටෙමින් මහා වේදනාවක හිටියෙ. ඒ නිසා මම තවත් හිමි නමක් එක්ක යන්න පිටත් වුණා. එතකොට ඒ අසල හිටපු තරුණයෙකුත් අපිත් එක්ක ආවා. අපි යනකොට හැමෝම ඒකට විරුද්ධ වුණා. ඒත් අපි අපේ ගමන ගියා. අපි යනකොට සමහර අය කෑගහල කියනව “අනේ හාමුදුරුවනේ යන්න එපා ආයෙත් මුහුද ගොඩට එන්න පුළුවන්. ඔබ වහන්සේ කරදරේ වැටෙන්න එපා” කියලා ඒ වුණාට මගෙ හිත ඉඩ දුන්නෙ නැහැ අයෙමත් හැරෙන්න. අපි කතා කරගත්තා මැරෙන්න හරි කමක් නැහැ යමු, තව කීපදෙනෙක් හරි බේරගන්න පු‍්‍රළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක් නේද කියල.


සුනාමි ඛේදවාචකයෙන් ලොව සිදුවූ දරුණුම අනතුර ....

ඒ ගිය ගමන නම් හරිම දුෂ්කරයි. යන්න පාරක් නැහැ. හැමතැනම ගෙවල් දොරවල් ගස් කඩා වැටිල. ඒ මදිවට මළ සිරුරු හැම තැනම. අපි ඒවා අතරින් කිලෝ මීටරයක් විතර දුරක් ගියා කෝච්චිය පෙරලුණ තැනට. ඒ යනකොටත් ඒකෙ පෙට්ටි වැඩි ප්‍රමාණයක් වතුරට යටවෙලා. කිසි දෙයක් පෙන්නෙ නැහැ. හැම තැනම වතුර, මළ සිරුරු පා වෙනවා. සමහර පෙට්ටි ඇඹරිලා කැඩිල ගිහිල්ල. ඒවට යට වුණ අයත් හිටියා. අපට ඒ අයව ගන්න පු‍්‍රළුවන් කමක් තිබුණ නම් කොච්චර හොඳද? අපි අමාරුවෙන් කෝච්චි පෙට්ටි කීපයකට ගොඩවෙලා ඒවයෙ කෙඳිරි ගාමින් හිටපු අය ඉක්මනට අරගෙන ආරක්‍ෂිත තැන්වල තිබ්බා. ගස්වල කුරුම්බා කඩල ඒවා පොළොව ගහල පලුදු කරගෙන තමයි අසාධ්‍ය අයගෙ කටට වත් කළේ. සමහර අයට සිහිය තිබෙනව ඒත් ගන්න බැහැ. යකඩ ගොඩවල්වලට හිර වෙලා. සමහර අය අමාරුවෙන් ගත්තා. අනිත් අය බේරගන්න තරම් ශක්තියක් අපට තිබුණෙ නැහැ.

තවත් වයසක අම්ම කෙනෙක් උස ගහක කරුවක හිරවෙලා කෙඳිරි ගානවා. එයාව ගන්නනම් ගොඩක් වෙහෙසෙන්න වුණා. ඒ වෙද්දි අපෙත් අතපය සීරිලා තුවාල වෙලා. ඒත් ඒවයෙ වේදනාවක් අපට දැනුණෙ නැහැ. කොහොම හරි දැඩි වෙහෙසක් දරල අපි බේරගන්ත අයව පන්සලට ගෙනාව.

ඒ වෙනකොට පන්සලේ විශාල පිරිසක් හිටිය. සංඝයා වහන්සේලට තිබුණ දානය අපි ඒ අයට දුන්නා අපි අපේ බඩගින්න ගැන හිතුවෙ නැහැ මොකද අපට ඕනවෙලා තිබුණෙ මේ අයව ජීවත් කරවන්න. ඒත් එතන හිටපු සමහර අයට කෑමක් බීමක් ඕන වුණේ නැහැ. මොකද ඒ අය ඒ තරමට වේදනාවෙන් පෙළුණ නිසා.

අපේ පන්සල පිහිටල තිබෙන්නෙ මුහුදත් ඊට සමාන්තරව තිබෙන ගංගාවකුත් අතර තමයි. සුනාමි ජලකඳට පාලම කැඩිල යද්දි එකෙන් එගොඩ වෙන්න ගිය මිනිස්සු සෑහෙන පිරිසක් පාලමත් එක්කම වතුරට ගිහින් තිබෙනවා. පාලම කැඩිල ගිය නිසා විපතට පත් වුණ අය රෝහලකට ගෙනියන්නවත් විදියක් නැතිවයි අපි හිටියේ. ඒත් පැය කිහිපයකට පස්සේ අනෙක් ප්‍රදේශවල ජනතාව ගෙ¼ගන් පීනගෙන ඇවිත් අපට උදව් කළා. වතුරේ පාවෙමින් තිබුණ දොර ලෑලි, ජනේල ලෑලි වගේ දේවල්වලින් පාරු හදල ඒ මගින් රෝගීන් රැගෙන ගියා. ඒ වෙද්දි ගඟෙන් එගොඩට වාහන ගෙනත් තිබුණ නිසා රෝගීන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වූනා.

මේ වැඩ ටික ඉවර වෙනකොට වෙලාව සවස දෙක පමණ වෙලා. මට හිතුණ ආයෙත් කෝච්චිය පෙරලුණ තැනට යන්න ඕන කියල. ඒ ගමනට නම් මාත් එක්ක තවත් පිරිසක් එකතු වුණා. ඒ වෙනකොට වතුර ටිකක් අඩුවෙලා තිබුණෙ. නමුත් ඒ වෙනකොට එතන ජීවත්ව ඉන්න කිසිම කෙනෙක් අපිට දැකගන්න ලැබුණෙ නැහැ. ඊට පස්සෙ මම යෝජනාවක් කළා. අපි ගමේ ටිකක් ඇවිදල බලමු පණ තියන කවුරු හරි හිටියොත් ඒ අයව බේරගන්න පුළුවන් නිසා. නමුත් ඒකටනම් අනෙක් අය අකමැති වුණා. ඒත් මම තනිවම ගමේ ඇවිද්දා. යන්න පාරවල් තිබුණෙ නැහැ. පළාතම සුන්බුන් ගොඩක් විතරයි. හැමතැනම මළ සිරුරු විසිරිලා. ඒත් ජීවත්ව සිටින කිසිවෙක් මට හමුවුණේ නැහැ.

ඒ වෙලාවෙ මගෙ හිතට දැනුණෙ කියාගන්න බැරි තරමෙ වේදනාවක්. මම වෙනද ගමේ ඇවිදින කොට “අපේ හාමුදුරුවනේ” කියල වඳින උදවිය ඒ වෙලාවෙ කටවල් අරගෙන ඇස් ඇරගෙන විකෘති වෙලා. මේ මිනිස්සු හීනෙකින්වත් නොහිතපු මරණයක් ඒ අයට අත් වෙලා.

මම ආයෙමත් පන්සලට ආවෙ පන්සලේ ඉන්න අය ගැනත් බලන්න. අතරමංව සිටින දුර බැහැර ප්‍රදේශවල අයට පන්සලේම ඉන්න පහසුකම් සැලසුවා. ඒ අතර ගමේ අයත් විශාල පිරිසක් හිටියා. අපේ පන්සලේ පිරිවෙනක් තිබෙනවා. ඒ විජයබා පිරිවෙන. ඒකට ලැබිල තිබුණ වියලි ආහාර පිළියෙළ කරල තමයි ඒ අයගෙ කුසගින්න නිවා දැමුවෙ. දවස් දෙක තුනක් යනකොට ඒ අයගෙ ඥාතීන් ඇවිත් පිට පළාත්වල අය එක්ක ගියා.

දෙවැනි දවස වෙනකොට පන්සල අවට තිබුණ මළ සිරුරු භූමදානය කළේ අපේ පන්සලේ ඉන්න භික්‍ෂූන් වහන්සේලා එකතු වෙලා. එදා ලංකාවෙ සතර දෙසින් ආව ජනයා කිසිදු වත් පොහොසත්කමක් නොකතා ජාති, කුල, ආගම් භේද නොකතා එකම පොදියට එකට එකතු වෙලා, එකා පිට එකා වැටිල එකම වළක මිහිදන් වෙලා ගියේ ජීවත් වෙලා ඉන්න අයට කදිම පාඩමක් කියල දීලයි.”

අපේ හාමුදුරුවො දිගින් දිගට ජීවිතවල අනිත්‍ය බව කතා කළා. උන් වහන්සේ පවසන දේ ඇත්ත නේද කියල මට හිතුණා. සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශවල පිරිත් දේශනා කරමින් සෙත් ශාන්තිය ලබාදීමට අපේ මහා සංඝරත්නය ක්‍රියාකළ අයුරු ඇසූ මගේ මතකයට නැඟුණේ බුදුන් දවස විශාලා මහනුවරට සෙත සැලසූ ආකාරයයි. දහස් ගණන් බිලිගත් දුම්රිය අනතුර සිදුවූ ස්ථානය සිහිගන්වමින් බානගල උපතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිවූ ලෝක ප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිනව. දහස් ගණනක් එකට මිහිදන් වූ සමූහ මිනී වළ සිහිගන්වමින් සුනාමි ස්මාරකය ඉදිවී තිබෙන අයුරු කා හටත් දැක ගත හැකියි. එතැන මොහොතක් නැවතී බලා හිඳීන්නෙකුගේ හදට හැඟෙන සිතිවිලි අනන්තයි, අප්‍රමාණයි. එදා සිදුවූ ඒ මහා ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට තොටගමු රජමහා විහාරයේ නායක හාමුදුරුවො පිහිට වූ අයුරු කෙසේ නම් අමතක කරන්නද ? මමත්වයෙන් මිදී පරාර්ථකාමීත්වයෙන් හෙබි එවන් යතිවරයාණන් වහන්සේ තවත් ලොව පහළ වේවා යි යන්න අප කාගේත් පැතුමයි.

සුනාමි විපතින් පරළොව සැපත් සැමට අමා මහ නිවන් සුව පතන අතර එම විපතින් දිවිගලවා ගත් සැමට තෙරැවන් සරණ පතමු

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]