UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

එකම මඟ

අද අපේ පරිහරණයට පත්වන සුඛෝපභෝගී භාණ්ඩ අතර නැති අය තව තවත් ආශාවන් ගොඩකට මැදි වෙති. ඇති අයද එයින් සෑහීමකට පත් නොවෙති. කෙළි දෙලෙන් මිනිසා ඇද බැඳ තබන්නට සමත් බොහෝ අරමුණු අලුතින් අප කරා එයි. ඒ අරමුණු තෘප්තිමත් කරගත නොහැකිව ආශා දහසක් පොඳි බැඳ අසහනයට පත් වෙති.

කුසල් දහමි හි ප්‍රමාද බව හෝ සිහි තොර බව ‘’පමාදං’’ යන පදයෙන් කියැවේ. ප්‍රමාදීව කටයුතු කරන්නන් බුදුරජාණන් වහන්සේගේ මහත් වූ ප්‍රශංසාවට ලක් වූහ. භාවනා වැඩීමේදී ප්‍රමාදයෙහි නොයෙදිය යුතු බවද අවධාරණය කළ සේක. නොපමා වූ තැනැත්තා වනාහී ධ්‍යාන වඩමින් සමථ, විදර්ශනා භාවනා කිරීම් වශයෙන් සිත වඩන්නේ ය. නිර්වාණය නම් වූ මහත් සැපයට පැමිණෙන බව ධම්මපදයේ චිත්ත වග්ගය තුළින් අපට හෙළිදරව් කරයි. ආශාව, කාමය, ලෝභය ඡන්දය යන වචනවලින් අප දන්නා තණ්හාව නමින් හඳුන්වා දුන් මෙම බලයට හැම සත්ත්වයෝම වසඟ වෙති. අප්‍රමාණ වූ ආශාවන්ගෙන් යුක්තව මෙලොව සුවදායක තැනක් කරගෙන තම ආශාවන් සන්තර්පනය කර ගන්නට වැර දරති. පසිදුරන් හික්මවා ගන්නා තෙක් ලෝභය සීමාකර ගත නොහැකිය. සිහිනුවණින් තොරව ප්‍රමාදීව හැසිරෙන මිනිසාගේ ආශාව මාළුවා වැලක් වැළඳ ගෙන සිටි රුකක් මෙන් ඔහුගේම විනාශය පිණිස වැඩෙයි. ඒ තෘෂ්ණාවට වසඟ වූ ඔහු වනයෙහි නොයෙක් ගෙඩි කෑමට කැමතිව ගසින් ගසට දිව පැන ඇවිදින වඳුරෙකු මෙන් භවයෙන් භවයට පැන පැන ඇවිදී. මුල දැඩිව උවදුරු නැතිව ඇතිකල කැපූ රුක නැවත නැවතත් ලියලයි. එසේම අනුසය සහිත තෘෂ්ණාව නොනැසූ කල යළි යළිත් දුක හට ගනී. තෘෂ්ණාව හේතුකොට ගෙන සැඟවී පවත්නා කෙලෙස්ද බොහෝ ය.

තණ්හාව ඇතිතෙක් අපට සතුටට පත් විය නොහැකි බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. ලොව අවිද්‍යා අන්ධකාරයෙන් වැසී සිටි මොහොතේ ලොවට පහනක් හා සමානව අප අතර ඉපිද සත්වයා දුකට පත්ව සිටීමේ අසහනයට පත්ව සිටීමේ රහස අනාවරණය කරමින් බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය වදාළ සේක. තණ්හාව බිඳ දැමීමෙන් සහනය ලද හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අද අපේ පරිහරණයට පත්වන සුඛෝපභෝගී භාණ්ඩ අතර නැති අය තව තවත් ආශාවන් ගොඩකට මැදි වෙති. ඇති අයද එයින් සෑහීමකට පත් නොවෙති. කෙළි දෙලෙන් මිනිසා ඇද බැඳ තබන්නට සමත් බොහෝ අරමුණු අලුතින් අප කරා එයි. ඒ අරමුණු තෘප්තිමත් කරගත නොහැකිව ආශා දහසක් පොඳි බැඳ අසහනයට පත් වෙති. බොහෝ සිත් අලවන අරමුණු ඇති ලෝකය කෙරේ තණ්හාවෙන් තොරව පාලනය කරගත් ආශා ඇතිව බලන්නට බුදුරජාණන් වහන්සේ දුන් අගනා දර්ශනය තුළින් සහනය ලැබිය යුතුයි. දෙලොව දිනන මාර්ගය සොයාගත යුතුය.

මිනිස් වර්ගයා තම මනසෙහි බලපැවැත් වූ අප්‍රමාණ කෙලෙස් කන්දරාව නිසා දුකට පැමිණ තිබේ. එම කෙලෙස් මූලික වශයෙන් රාග, දේවේශ, මෝහ වශයෙන් ත්‍රිවිධාකාරය රාග යන්නට පරියාය වශයෙන් තණ්හාව, කාමය ආශාව යන වචනද යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ක්‍රි: පූ: 06 වන සියවසේ ජීවත් වූ මිනිසුන් ද රාගය හෙවත් යම් යම් දේට ආශාව දැක්වීම නිසා දුකට පැමිණි බව සත්‍යයකි. එසේ ආශාව ඇතිකරවන රූප, ශබ්ද, රස, ස්පර්ශ යන පංචකාම කෙරෙහි ඉන්ද්‍රියන් මඟින් අරමුණු ගැනීම නිසා මනුෂ්‍යයෝ එදත් අදත් අප්‍රමාණ වෙහෙසට හා දුකට පත්වූහ. අදත් එම දුක වෙනසක් නැතිව පවතී.

එදාට වඩා අද ඇති වෙනස නම් පඤ්චකාමයන් අවුස්සන මිනිස් සිත දූෂණය කරන යම් යම් දේ විද්‍යාවෙන් හා තාක්ෂණය මඟින් වැඩි දියුණු බවට පත්කර ඇති බවයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම චාරිකාව මිනිසා හදන - මිනිසාට මඟ පෙන්වන මිනිසා පාපයෙන් වළක්වා කුසලයෙහි යොදවනු ලබන මහගුණ ධර්ම මාර්ගයක් වූ බවයි. මෙලොව සාර්ථක ජීවිතයක් ගත නොකළ කෙනෙකුට කෙසේවත් මීළඟ භවය යහපත් බවට පත්කරගත නොහැකිය. මෙය පැහැදිලිවම තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. මෙලොව ආර්ථික වශයෙනුත් සාමාජික වශයෙනුත් ආගමික වශයෙනුත් ශක්තිමත් අයුරින් සකසාගත හැකි පරිදි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙස උගන්වා වදාළේ එහෙයිනි.

දුකින් දුක උපදවන හේතුවත්, දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් යන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේ් සන්තානයෙන් යමෙක් අවබෝධ කළේ නම් හේ බුද්ධ ශාසනය සම්පූර්ණ කළ කෙනෙකි.

මහාකාරුණික බුදුරජාණන්වහන්සේ සරණ යන ආර්ය මහා සංඝරත්නය සරණ යන ශ්‍රද්ධාවන්ත ගිහි පැවිදි සෑම කෙනෙක්ම මේ කරුණ සිහියට ගෙන ජරා මරණ දුක්වැල් සන්හිඳවා ගෙන උතුම් වූ විමුක්ති සුඛයෙන් සැනසීම සඳහා පිළිවෙත් පිරිය යුතුය. හික්මවිය යුතුය. සුළු වරදෙහි පවා බිය දකිමින් පිරිසුදු ශීලයක පිහිටා ඉන්ද්‍රිය සංවරය ඇතිකරගෙන ආජීවය පිරිසුදු කරගෙන සිව්පසය නුවණින් පරිභෝග කරමින් සති සම්පජඤ්ඤයෙන් සතර සතිපට්ඨාන භාවනා ධර්මයන් වඩන්නා වූ සසර දුකින් එතෙරවීමට පුළුවනි.

අතීත කර්ම හේතුවෙන් දැන් පහළ කරගෙන තිබෙන පංචස්කන්ධයේ ස්වභාවය ගැන නුවණින් බැලීමේදී සැපයි කියා අල්ලාගෙන සිටි සෑම දෙයක්ම දුකින්ම කෙළවර වන බව පැහැදිලිය. දුක උරුමකර ගෙන ලබාගෙන ඇති මේ ජීවිතය දුකින්ම පරිහරණය කළ යුතුයි. අප ඉදිරියේ පැහැදිලිවම දක්නට තිබෙන ජාති, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස යන්න ගැන නිතර ස්මර්ශනය කළ යුතුය. ඡන්දයෙන්, ද්වේශයෙන් භයෙන් මෝහයෙන් අගතියට යමින් ලෞකික සැප සම්පත් අගයමින් පංචකාමයෙන්ම වසඟව ජීවිතය පවත්නා වූ සත්ත්වයන්ට වන ඉරණම මැනවින් ප්‍රකට වනු ඇත. මේ මිහිපිටම එකම අපායක් බවට පත්ව නොයෙකුත් දස වධ බන්ධනවලට අනුව සත්ව ජීවිත පෙළෙන හැටි මැරෙන හැටි විද්‍යමාන වේ. ඒ නිසාම සන්ත්‍රාශයෙන්, ශෝකයෙන්, හැඬු කඳුලෙන් දුකට පත්ව ගෙවන ජීවිත ප්‍රමාණයක් කළ නොහැකිය. ධනය, නිලය, කුලය ආදී කිසිවක් තමාගේ පිහිටට පිළිසරණට නොපවතින බව යෝනිසෝමනසිකාරයෙන් බලන කාට වුවත් අපහසුවක් නැතිව තේරුම් ගත හැකිය.

එබැවින් ජීවත්වන කෙටි කාලය තුළදී මේ ගෞතම බුද්ධ ශාසනයෙන් උතුම් මිනිසත් බවෙන් ප්‍රයෝජන ගැනීමට සර්වඥයන් වහන්සේගේ අනුශාසනා පරිදි අප්‍රමාදීව කටයුතු කළ යුතුය. සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්ව නිවන් පසක් කර ගන්නා තුරු සත්ත්වයාට මේ සසර දුකින් කෙසේවත් නිදහස් විය නොහැකිය. එම නිසා ගිහි පැවිදි සෑම කෙනෙක්ම සසර දුකින් මිදීමට අවශ්‍ය නම් සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝමනසිකාරයෙන් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට ප්‍රවිෂ්ඨ විය යුතු වන්නේ ය.

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]