Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී මහාබෝධි ආගමනය

ක්‍රිස්තු පූර්ව 236 වන වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කළ බව ඓතිහාසික සිද්ධියකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ලක්දිවට වැඩමවා ගෙන ඒම සඳහා දේවානම් පියතිස්ස රජතුමා පවරණ ලද්දේ තමන්ගේ බෑණනුවන් වන අරිට්ඨ ඇමැතිතුමා වෙතය. අරිට්ඨ ඇමැතිතුමා මහින්ද මහ රහතන් වහන්සේගේත්, තිස්ස රජතුමාගේත් ලියුම් ගෙන වප් මස දෙවැනි දිනයේදී දඹකොළ පටුනෙන් පිටත්ව එක් දිනකදීම පැළලුප් නුවරට පැමිණියේ මහින්ද මහ රහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහාවංශ පොතේ කියැවේ.

මහාවංශයේ බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් වන්නේ එහි 18 වන 19 වන පරිච්ඡේදයන්හිදී ය. මේ කතා පුවත්වලට අතුරුදන්වීම්, සත්‍යක්‍රියා, ප්‍රාතිහාර්ය, පොළොව කම්පාවීම් ආදි සෘද්ධිප්‍රාතිහාර්ය රාශියක් ද ඇතුළත් ය.

එහෙත් නූතන සමාජයේ බොහෝ දෙනා විද්‍යාව හා තාක්ෂණ දැනුම නිසා සෘද්ධි ප්‍රාතිහාර්ය හා සම්බන්ධ දැනුම ඉවත් කිරීමට සූදානම් වෙති. ඔවුන් කැමැතිවන්නේ ව්‍යාජත්වයෙන් තොරව යථාර්ථය හෙවත් හැබෑ සංසිද්ධි පිළිගැනීමට ය. මේ නිසා මහවංශයේ එන ශ්‍රී මහා බෝධි ආගමනය පිළිබඳ විස්තරයෙහි ඇතුළත් සෘද්ධි ප්‍රාතිහාර්ය ආදියත්, අතිශයෝක්ති වර්ණනාත් ඉවත් කොට, හැබෑ තොරතුරු ලෙස සැලකිය හැකි ඉඟි තෝරාබේරා ගැනීම සත්‍ය පුවතක් වීම සඳහා අවශ්‍ය වෙයි. මෙහිදී ඒ සඳහා පහත සඳහන් කරුණු පමණක් සැලකිල්ලට ගන්නා ලදී.

1. රන් කටාරමක් පිළියෙළ කිරීම

රන් කටාරමක් පිළියෙළ කරන ලද්දේ ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කිරීම සඳහා ය. ශ්‍රී‍්‍ර මහාබෝධි වන්දනාවට අශෝක රජතුමා නිතර නිතර යමින් සිටියත්, මේ අවස්ථාවේදී ඔහු නැවත වරක් දක්ෂිණ ශාඛාව නැරඹීම සඳහා නොවරදවා ම ගිය බව සිතන්නට ඉඩ තිබේ. ඔහු යන්නට ඇත්තේත් ලෝහවැඩ කම්කරුවකු සමගය. දක්ෂිණ ශාඛාවේ ස්කන්ධය හා විශාලත්වයත්, එහි අතු පතර හා කොළ රිකිළි, ආදියේත් පරිමාව පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් අශෝක රජතුමාටත් ලෝහ කාර්මිකයාටත් එහිදී ලැබෙන්නට ඇත. බෝධි ශාඛාවේ ස්කන්ධයේ විෂ්කම්භය අඩු තරම් අඟල් 10ක්වත් විය හැකි බව රජතුමාට පැහැදිලි වන්නට ඇත.

ආපසු නුවරට පැමිණි රජතුමා ඔහුගේ ලෝහ කාර්මිකයා හා කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් දුන්නේ මෙසේය. රන් කටාරමේ හෙවත් ලෝහ කටාරමේ වට ප්‍රමාණය රියන් 9 කි. (අඩි 13 1/2කි) සිලින්ඩරාකාර හැඩයක් ඇති එහි විෂ්කම්භය රියන් 3 කි. (අඩි 4 1/2 කි) සිලින්ඩරයේ උස රියන් 5 කි. (අඩි 7 1/2 කි) භාජනය සකස් කළ ලෝහයේ ගනකම අඟල් 8 කි. අඟල් අටක ගනකමින් යුක්ත මේ ලෝහ භාජනය මිනිසුන් හත්අට දෙනෙකුටවත් සෙලවීම උගහට ය.

මේ සිලින්ඩරාකාර ලෝහ මල්පෝච්චියේ පරිමාව ඝන අඩි 119 ක් පමණ බව ගණනය කිරීමෙන් පෙනේ. මහාවංශ කතුවරයා මේ රන් කටාරමේ කර්තෘත්වය පිරිනමා ඇත්තේ විශ්ව කර්මයාට ය. විශ්ව කර්මයා මෙය මොහොතකින් ඉටුකළ බව පොතෙහි සඳහන් ය. දුෂ්කර කාර්යයක් මොහොතකින් ඉටු කළවිට විශ්වකර්ම වැඩක් ලෙස පැරැන්නෝ පිළිගත්හ. සත්‍ය කාරණය නම් අශෝක රජුගේ ලෝහ කාර්මිකයා ඔහුගේ පිරිස සමඟ කීප දිනකින් මේ රන් කටාරම කළ බව ය. මේ භාජනය මෙතරම් විශාලව සකස් කරන්නට ඇත්තේ දක්ෂිණ ශාඛාවේ විශාලත්වය නිසාමය. අපේ බොහෝ චිත්‍ර ශිල්පීන් ශ්‍රී‍්‍රමහා බෝධි ශාඛාව වැඩම වන්නේ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ් දෑතෙහි රඳනා බත් කන කුඩා පාත්‍රයකිනි. එහෙත් කැලණි විහාරයේ බිතුසිතුවම් ඇඳි සොයිලියස් මැන්දිස් මහතා පමණක් මේ භාජනය සහිත බෝධි ශාඛාව තරමක් විශාලව නිරූපණය කර ඇත.

2. සතර රියන් ස්කන්ධය හැර ඉතිරි කොටස අතුරුදන් වීම

‘බුද්ධගයාවට ගිය රජතුමා අනෙක් පරිවාර රජදරුවන් සමඟ ඇඳිලි බැඳගෙන දක්ෂිණ ශාඛාව දෙස බැලීය. එකෙනෙහි මහා බෝධියේ දක්ෂිණ ශාඛාවේ සතර රියනක් (අඩි 6 ක්) පමණ ස්කන්ධය තබා, ඒ ශාඛාවේ ඉතිරි කොටස අන්තර්ධාන විය’.

එසේ වූයේ මක්නිසා දැයි විමසා බැලිය යුතුය. බෝධි ශාඛාව සම්පූර්ණයෙන් ම වාගේ පිහිටා ඇත්තේ හරස් අතට ය. දක්ෂිණ ශාඛාව එහි උපශාඛා, අතු රිකිලි හා කොළ ආදිය නිසා පහසුවෙන් කෙළින්කර (සෘජු බවට පත්කොට) කටාරමේ සිටුවීම පහසු කාරියක් නොවේ. කොළ අතු රිකිලි ආදියේ බර නිසා මේ විශාල ශාඛාව සමබර කිරීම ගැටලුවකි. එබැවින් බෝධි ශාඛාවේ උපරිම කොටස ඉවත් කළ බව සිතිය හැක. (ලොකු කෙසෙල් පැළයක් සිටවන අප කොළ සහිත එහි උපරිම කොටස කපා හරින්නාක් මෙනි)

දක්ෂිණ ශාඛාවේ සතර රියනක් හැර ඉතිරි කොටස අන්තර්ධාන වුණා යැයි කීමෙන් අදහස් කරන්නට ඇත්තේ ඒ අග කොටස කපා හැරිය බවක් නේ ද? දැන් දක්ෂිණ ශාඛාවෙන් ඉතිරිව ඇත්තේ සතර රියනක් (අඩි 6 ක්) පමණ වූ මුල් ස්කන්ධය පමණි. අඟල් 10 ක් පමණ විෂ්කම්භයක් ඇති සතර රියනක් (අඩි 6) දිග ස්කන්ධයට දැන් පහසුවෙන් කටාරම මතුපිට හැසිරිය හැකි වෙයි.

3. අශෝක රජුගේ සත්‍ය ක්‍රියාව

අනතුරුව අශෝක රජතුමා දක්ෂිණ ශාඛාව පිහිටි ස්ථානයට ළං වූයේ උස් වූ පීඨයකට (අටල්ලකට) නැගීමෙනි. ඒ සමඟම රන් කටාරම ද පීඨයකට නංවන ලද්දේ ඒ ස්ථානයට සමීප කර ගනිමිනි. ඉක්බිති රජ්ජුරුවෝ රන් තෙල්ලෙන් (රන් පින්සලයෙන්) රන් සිරියල් ගෙන, බෝධි ශාඛාවේ ආරම්භය වටා රේඛාවක් ඇඳ ‘ඉදින් මේ මහා බෝධින් ලංකා ද්වීපයට යා යුතු වේද, ඉදින් මම ද සර්වඥ ශාසනයෙහි සැක රහිත වේම් ද, මේ යහපත් වූ දක්ෂිණ ශාඛාව තොමෝම සිඳී මේ රන් බඳුනෙහි පිහිටාවා’ යි සත්‍ය ක්‍රියා කෙළේය. එවිට ඒ මහා බෝධි ශාඛා තොමෝ ම සිඳි සුවඳ කළලින් පිරුණා වූ කටාරම මතුයෙහි පිහිටියා ය.

මේ සත්‍ය ක්‍රියාව පිළිගන්නන් මෙන් ම නොපිළිගන්නෝ ද සිටිති. නො පිළිගන්නා අය සිතනවා ඇත්තේ සිරියෙන් බෝධි ශාඛාව කපා වෙන් කරන ලද බවය.

4. අඟල් තුනෙන් තුනට රේඛාදානය කිරීම

මේ අතර සත්‍ය ක්‍රියාවෙන් වෙන් කරනු ලැබූ දක්ෂිණ ශාඛාවේ තවත් වැදගත් දෙයක් සිදු වූ බව පෙනේ. එනම් දක්ෂිණ ශාඛා ස්කන්ධයේ මුල සිට අඟල් තුනෙන් තුනට පිළිවෙළින් රන් සිරියල් වලින් රේඛාදානය කොට නව තැනකින් පිරිසිඳීම යි. පිරිසිඳිම යනුවෙන් අදහස් කරන්නේ රේඛා කපා ලකුණු කිරීමයි. එනම් ස්කන්ධය වටා ස්ථාන නවයක කැපීම් ලකුණු කොට දැක්වීම යි. ‘මේ කැපීම් ලකුණු කිරීමෙන් පසු ඒ මොහොතේ ඒවායින් මුල් ඇදගත් බව කියා තිබේ. බෝධි ශාඛාවේ ආරම්භක කැපීමෙන් මහත් වූ මුල් දසයක් පැන නැඟුණේ ය. අනිකුත් කැපීම් නවයෙන් ද කුඩා මුල් දසය බැඟින් ඇඳුණේ ය. මේ අනුව මුල් සියයකින් සුවඳ මඩෙහි බෝධි ශාඛාව තහවුරු විය.’

ඒ මොහොතේ දීම මුල් ඇදීම ප්‍රාතිහාර්යයකි. ශාඛාවක් පැළකර ගැනීමේදී ශාඛාවට තුවාල කර මුල් අද්දවා ගැනීම පෙර සිටම පැවැති රුක් රෝපණ සම්ප්‍රදායක් බව සිතාගත හැකිය. බොහෝවිට පිරිසිඳීම් කර මුල් අද්දවා ගැනීම උද්භිද විද්‍යාඥයකුගේ උපදේශයක් මත සිදුවූවක් බව අපට සිතා ගන්නට පුළුවන.

මෙහිදී නොකියවුණු සත්‍යයක් ඇති බවද පැහැදිලිය. මුල් ඇදීම සඳහා කැපීම් ලකුණුකර ඇත්තේ ස්කන්ධයේ මුල සිට අඟල් 30ක් දක්වා කොටසක ය. මෙය අඩි 2 1/2ක් පමණ කොටසකි. අඩි 3ක පමණ කොටසක් (සම්පූර්ණ ස්කන්ධයෙන් අර්ධයක්) සුවඳ මඩෙහි ගිල්වා වැළලිය යුතු වෙයි. මුල් අදිනවා ඇත්තේ සුවඳ මඩෙහි ගිල්වීමෙන් පසුවය.

5. හිම ගර්භයෙහි පිහිටවීම

‘’කටාරම සහිත වූ මහබෝතොමෝ අහසට නැගී, දර්ශන රහිතව සත් දවසක් හිම ගර්භයෙක් හි පිහිටි බවත් සත් දිනකට පසුව පොළොවට බැස්ස බවත් ග්‍රන්ථයෙහි සඳහන් ය.’’

මේ ඉඟියෙන් අපට සිතාගත හැක්කේ යම්කිසි ආවරණයක් කොට තද හිරු රශ්මිය බෝධීන් වහන්සේට නොවැටෙන සේ රඳවා ගැනීම විය හැකිය. වෙනත් විධියකින් කියතොත් බෝධීන් වහන්සේට සතියක පමණ කාලයකට හොඳ සෙවණක් ලබාදීම විය හැකිය. පැළෑටියක් හෝ දණ්ඩක් වැඩෙන තුරු සෙවණ ලබාදීම උයන්පල්ලකුගේ සිරිතකි.

6. සතළොස්වන දින දී අංකුර 9 ක් පහළවීම

ක්‍රි.පූර්ව 236 වන වසරෙහි, වස්මස පුරපසළොස්වක පෝය දිනයෙහි සුවඳ කළල්වලින් පුරවනු ලැබූ, රියන් 5ක් උස, රන් කටාරමෙහි රියන් දෙකක් උසට මතු වී පෙණුනු බෝධි ස්කන්ධය (බෝ කඳ) අශෝක රජතුමා විසින් තම පුරයට ගෙන යන ලද්දේය. අඩුතරමේ ටොන් හතරක බරක්වත් (රන් කටාරමේ බර + සුවඳ කළල් ඝන අඩි 119 ක බර + අශ්ව කරත්තයේ බර) වියහැකි මේ භාරය කාගේත් පුදුමයට ලක් වෙන්නට ඇත.

රජතුමා බෝධි ශාඛාව තබන ලද්දේ මහා සාල වෘක්ෂයක් ළඟ මණ්ඩපයේ ය. ‘එහි නොයෙක් පූජාවන් කරද්දී, බෝධිය ග්‍රහණය කළ සතළොස්වන දිනයේදී එකවිට ම අංකුර නවයක් උපන්නේ ය’.

මෙතෙක් බෝධීන් වහන්සේ රන් කටාරමෙහි වැඩ සිටියේ ස්කන්ධයක් වශයෙනි. ස්කන්ධයෙන් අර්ධයක් ගිලී තිබුණු අතර අර්ධයක් හෙවත් රියන් දෙකක් මතු වී තිබිණ. මුලින් කරන ලද පිරිසිඳිම් නිසා මුල් ඇඳීමෙන් අංකුර පහළවූයේ මතු වී තිබුණ ස්කන්ධයෙන් බව අපට සිතාගත හැකි ය.

7. ශ්‍රී මහා බෝධි ප්‍රවාහනය

බුද්ධ ගයාවේ සිට පැළලුප් නුවරට ශ්‍රී‍්‍ර මහා බෝධීන් වහන්සේ අශ්ව කරත්තයකින් වැඩිය අතර, පැට්නා (පාටලී පුත්‍ර) සිට ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි කාමුලිප්ති නැව් තොටට එය පැමිණියේ ගංගානම් ගඟ හා සම්බන්ධ හුග්ලි ගඟේ නැවකිනි. පැළලුප් නුවරදී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත්, තවත් මෙහෙණින් වහන්සේ එකොළොස් නමකුත්, අරිට්ඨ ඇමැතිතුමාත්, අටදෙනා බැගින් අටළොස් කුලයකට අයත් විශාල පිරිසකුත් අශෝක රජතුමා විසින් නැවට නංවන ලදී. වින්ධ්‍යා වනය මැදින් සත් දිනක් තිස්සේ තාමුලිප්ති නගරයට පැමිණි මේ නාවික ගමන සිත් පහදවන වන්දනා ගමනක් වන්නට ඇත. මේ සමඟ පැමිණි අශෝක රජතුමා, මහතෙරණිය හා අරිට්ඨ ඇමැතිතුමාට මෙසේ පැවසීය. ‘මම මහබෝධිය තුන්වරක් රාජ්‍යයෙන් පිදුවෙමි. මාගේ යහළු රජතුමා ද එසේ රාජ්‍යයෙන් පුදාවා’ යනුවෙන් අනතුරුව රජතුමා ශෝකයෙන් හඬා වැළප ආපසු ගියේය.

තවත් සත් දිනකින් මහා බෝධිය සහිත යාත්‍රාව ලක්දිව උතුරු කෙළවරේ දඹකොළ පටුනට පැමිණියාය. (මේ කාලය තුළදී නාගයන් මහා බෝධිය පිදූ බවක්ද කියනු ලැබේ)

ඡයා - සමන් ප්‍රියදර්ශන ගමගේ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.