Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්ති කෙටි චිත්‍රපට උළෙලේ සජීවිකරණ අංශයට ඇරැයුමක්

වර්ෂ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව, ආසියා ආලෝක පදනම, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පදනම සහ ඕ.එස්.ටී. කැඩ් පුහුණු ආයතනය එක්ව පවත්වන ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලෙහි සජීවීකරණ කෙටි චිත්‍රපට අංශය සඳහා සහභාගි වීමට අදාළ ක්‍ෂේත්‍රයෙහි දැනුමක්, කැමැත්තක් ඇති සියලු දෙනාට ආරාධනා කෙරේ.

එම කෙටි චිත්‍රපට උළෙල වෘත්තාන්ත, වාර්තාමය ඇතුළු අංශ පහක් නියෝජනය කරමින් පවත්වන අතර විශේෂිතම අංශය වන්නේ සජීවීකරණ කෙටි චිත්‍රපට අංශයයි. උළෙල සඳහා ඉදිරිපත් කළයුතු චිත්‍රපට බෞද්ධ තේමාවක් යටතේ නිර්මාණය කළ යුතු හෙයින් ඒ පිළිබඳ කැමැත්තක් ඇති, සජීවිකරණය පිළිබඳ හැදෑරීමක් සහ උනන්දුවක් ඇති සියලු දෙනා වෙනුවෙන් නොමිලයේ තාක්‍ෂණික වැඩමුළුවක් පැවැත්වීමට ඒ අනුව මේ ආයතන එකමුතුව බලාපොරොත්තු වෙයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙසැම්බර් 29 වැනිදා පෙරවරු 09.00 ට ආරම්භවන එම වැඩමුළුවෙහි දී චිත්‍රපටයක පිටපතක් ලිවීමෙහි පටන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම දක්වා අදාළ වන මූලික කරුණු පිළිබඳ අවධානය යොමු කෙරේ.

සහභාගි වන්නන්ට සහතිකපත් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙම වැඩමුළුවෙන් අනතුරුව තෝරාගන්නා ඉහළ දක්‍ෂතා සහිත පිරිසට ඕ.එස්.ටී. කැඩ් පුහුණු ආයතනය මඟින් ඉදිරි මාස කිහිපය තුළ සජීවිකරණ තාක්‍ෂණය සම්බන්ධයෙන් වඩාත් ඉහළ මට්ටමේ පුහුණුවක් නොමිලයේ ලබා දෙනු ඇත.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවැත්වෙන බෞද්ධ චිත්‍රපට උළෙලට පෙරහුරුවක් වශයෙන් 2009 හා 2010 දී ද ජාතික හා ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල දෙකක් පවත්වන්නට යෙදුණි. මෙම ප්‍රධාන උළෙලෙහි විශේෂත්වය වන්නේ එයට සජීවිකරණ කෙටි චිත්‍රපට අංශයක් ද ඇතුළත්ව තිබීමයි. බෞද්ධ දර්ශනයත් එහි ප්‍රායෝගිකත්වයත් පිළිබඳ ජාත්‍යන්තරයට අවබෝධයක් ලබාදීම උදෙසා සජීවිකරණ චිත්‍රපට විශේෂයෙන් උපයෝගි කරගත හැකි බව පවසන උළෙල සංවිධායක කමිටුව සම්බුද්ධත්ව ජයන්ති සැමැරුම උත්කර්ෂවත්ව සැමරීම සඳහා එයද හේතුවනු ඇති බව පෙන්වා දෙයි.

මේ කරුණු අනාවරණය කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස, ඕ.එස්.ටී. කැඩ් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මහේෂ් හප්පිටිය, උළෙල සංවිධායක කමිටුවේ විධායක සමන් වීරමන් යන මහත්වරු සහභාගි වූහ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.