Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පින් බලාපොරොත්තු නොවන්න

අප සිතන සිතුවිලි, කතා කරන වචන සහ කරන ක්‍රියා හොඳ,නරක ලෙස වර්ග කෙරේ. මේ හොඳ , නරක යනු කුමක්ද? කෙනකුට හොඳ යහපත් දෙයක් තවකෙනෙකුට නරක අයහපත් දෙයක් විය හැකි ය. සාමාන්‍යයෙන් පොදුවේ ගත් කල තමන්ටත් අනුන්ටත් යහපත් අර්ථ සම්පන්න සිතුවිලි, වචන, ක්‍රියා හොඳ දේ ලෙස සැලකිය හැකි ය. තමන්ටත් අන්‍යයන්ටත් අවැඩක් අයහපතක් සිදු කරන ක්‍රියා, සිතුවිලි, වචන නරක දේ ලෙස ගැනේ.

අප හොඳ යහපත් දේ කරන්නේ අප ජීවත් වන සමාජයේ යහ පැවැත්ම සඳහා ය. සතුටින් සාමයෙන් ජීවත් වීම උදෙසාය. එකිනෙකා මරා ගන්නා සමාජයක යහ පැවැත්මක් නැත. ඒ සමාජය විනාශ වී යන්නේ ය. එකිනෙකාට බොරු කියා ගන්නා, බොරු කරනා සමාජයක් පවතින්නේ නැත. කාම මිථ්‍යාචාරය, සොරකම, සුරාපානය, සමාජයක යහ පැවැත්මට මුළුමනින්ම හානිකරය. එබැවින් අපි ඒවායින් වැළැකී සිටිමු. අප පන්සිල් රැකිය යුතු වන්නේ එබැවිනි. එසේ නොමැතිව පන්සිල් රැකීමෙන් පින් ලැබෙන නිසා නොවේ. පන්සිල් රැකීමෙන් අපට අමුතුවෙන් පින් නොලැබේ. එය “මගේ අත මා විසින්ම ඔසවා නැවත පහත දමන්නාක්” මෙන් පින් පව් දෙකින්ම තොරය.

යමෙක් යහපත් ක්‍රියාවක් කොට පින් බලාපොරොත්තු වන්නේ නම් එය තෘෂ්ණාව පෙරදැරි කර සිදුකරන්නකි. තෘෂ්ණාව දුකට මුලයි. (තණ්හාය ජායති සොකො) “අපි මෙච්චර හොඳ වැඩ කරනවා. නමුත් අපට කිසිම සැනසීමක් නැහැ” කියා සමහරුන් පවසන්නේ එබැවිනි. ඇයි අප යම් ක්‍රියාවක් සිදුකර එයින් පින් ලබා ගැනීමට තැත් කරන්නේ? දුටු දේ දුටු පමණින්, ඇසූ දේ ඇසූ පමණින්, රසවින්ද දේ එසැනින් සිතින් ඉවත් කළ යුතු බව බුදු දහම අපට උගන්වයි. එවිට අපට උද්දාමයට පත්වීමට හෝ ශෝකයට, ක්‍රෝධයට පත්වීමට අවශ්‍ය නොවේ. සන්සුන් මනැසකින් යුක්ත වේ. ප්‍රභාස්වර (ප්‍රභාස්වර) මනැසක් ඇති වේ. ඔබේ මිතුරකු පාරේ ගියත් සතුරකු පාරේ ගියත් එම දසුන උපාදාන කර නොගත යුතු යි. ඇලීම් හෝ ගැටීම් ඇති වන්නේ එය උපාදාන (තදින් අල්ලා ගතහොත්) කර ගැනීම නිසා ය.

ලෞකිකත්වයෙන් ඈත් වීම සඳහා අප සිත් තුළ ඇති කෙලෙස් (අපිරිසුදු සිතිවිලි) සහගත මනැස් විකාරයන්ගෙන් තුරන් වී මනැස පිරිසුදු කර ගත යුතු වේ. අප භාවිත කළ යුතු වන්නේ සත්‍ය, ප්‍රියමනාප, අර්ථවත් (ප්‍රයෝජනවත්) වචන (උදා – නිවන පරම සැපයයි) සහ සත්‍ය, අපි‍්‍රය අමනාප එහෙත් ප්‍රයෝජනවත් (අර්ථවත්) වචන (උදා – තමා මැරෙන බව පැවසීම, ලෝකය අනිත්‍ය, දුක්ඛ්‍ය, අනාත්ම බව පැවැසීම) වැනි වර්ග දෙකකට අයත් වචනයි. අනෙක් සෑම වචනයක්ම එක්කෝ සම්පප්‍රලාපයකි. නැතිනම් මුසාවාදයකි. සත්‍ය, පි‍්‍රයමනාප, එහෙත් අර්ථ ශූන්‍ය වචන නම් අප නිතර දෙවේලේ කතා කරන සම්පප්‍රලාපය. ඒවායින් තමාටවත් අනුන්ටත් කිසිම ප්‍රයෝජනයක් නැත. අසත්‍ය, පි‍්‍රය මනාප හෝ අපි‍්‍රය අමනාප අර්ථශූන්‍ය වචන මුසාවාදයි. අපි මේවා භාවිතයෙන් වළකිමු. එවිට අපට අමුතුවෙන් පිනක් නොලැබෙන නමුත් සමාජයට යහපතක්ම වේ.

පළමුව මනැසට එන්නේ සිතුවිලිය. ඒවා නිරවුල් අර්ථ සම්පන්න ඒවා විය යුතු ය. දෙවනුව ඒවා ක්‍රියාවට නැඟේ. සිතුවිලිවල අවුලක් නැත්නම්, ඒවා ක්‍රියාවට නැඟීමේ දී පිට වන වචන හා ක්‍රියාවන් ද නිරවුල් ය. එවිට ඒවා පින් පව් දෙකින්ම තොරයි. පින් පව් දෙකින් තොර නම්, ඒවා හා බැඳීමක් හෝ ගැටීමක් නොමැත. බැඳීමක් හෝ ගැටීමක් නැති තැන නිවනයි. උදා – යම්කිසි බැඳීමකින් හෝ ගැටීමකින් මිරිකි මිරිකී දුක් වින්ද අයකු ඉන් මිදුණ වහාම කියන්නේ “යාන්තං ඇති නිවන් දැක්කා වගෙයි” කියාය. පින් පව් දෙකින්ම සිදුවන්නේ අප සසරට බැඳි පැවතීමයි. අපේ පරමාර්ථය වන්නේ සසරින් මිදීමයි. සසර මොන තරම් භයංකාරද යන්න අපි පසුගිය අත්දැකීම් වලින්ම දනිමු. යුද කලකෝලාහල, සුනාමි ව්‍යසන, ලෙඩ රෝග මේවා අපට සසරෙහි දී අත්දකින්නට ලැබිණ. එනිසා පින් රැස් කිරීමෙන් හා පව් රැස් කිරීමෙන් අප නිදහස් විය යුතු ය.

පින් රැස් කොට දිව්‍යලෝක සැප, මනුෂ්‍යලෝක සැප ප්‍රාර්ථනා කිරීමෙන් සිදුවන්නේ තෘෂ්ණාව අධික වීමත් එම පින් ඇතිතාක් සුර සැප විඳ, පින් අහවර වූ විට නැවත නරකාදියක හෝ උපත ලැබීමට සිදුවීමයි. එය අතේ සල්ලි යහමින් ගැවසෙන විට ඉහළ පෙළේ හෝටල් වලින් කා බී (රස ආහාර පාන) ලෝකය වටා රවුම් ගසා, සල්ලි මිල මුදල් හිස් වූ කල හිඟමනට වැටීම හා සමානය. හැමදාම පින් රැස් කර කර සිට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප පැතීම අපව සංසාරයට ඇඳ බැඳ තබයි. එයින් මිදීමට අපට කිසි විටෙක සිත් නොදේ. නිර්වාණාවබෝධය සඳහා විදර්ශනා වැඩීමට සිත නොදේ. පූජක පක්‍ෂයට හෝ වේවා සද්ගුණවත් අයට හෝ වේවා, නොඑසේ නම් දුගී මඟී යාචකයනට හෝ වේවා, මිනීමරුවන්ට අපරාධකාරයන්ට හෝ තිරිසන් සතුන්ට හෝ කවරකු හට හෝ හාමතේ සාගින්නේ සිටින විට ඔබ සතු ආහාරයෙන් කොටසක් දීම නිර්ලෝභී සිතින් කිසිම කිසිවක් ඉන් ආපසු බලාපොරොත්තු නොතබා ලබාදිය යුතු යි. එය හුදෙක්ම ක්‍රියාවක් පමණි. ලෝභ සිතින් දුනහොත් තෘෂ්ණාව බලවත් වී සිතින් දුක් විඳී. එම ක්‍රියාව දුක සැප දෙකින්ම තොරවිය යුතු යි. සාමාන්‍ය සම්මතයෙහි “දුක” “සැප” යන වචන වල අර්ථය යථාභූතය අනුව වෙනස්ය. “නිවන පරම සැපතයි” මෙහි සැපත යනු කිසිවක්ම නැති යන අර්ථයයි. යමක් තිබේ නම් එය හැම විටම සාපේක්‍ෂයි. එනම් තවත් යමකට (සාපේක්‍ෂක) සංසන්දනාත්මකවීමයි. උදා “ඔබ හොඳ කෙනෙකි” යයි කීවොත් කාට වඩා ඔබ හොඳද? බුදුන්ට වඩා, මහත්මා ගාන්ධිට වඩා, ආදී වශයෙන් තවත් කෙනෙකු ,පුද්ගලයකු හා සැසඳීමට සිදු වේ. දුක, සැප ද එසේ ය. නමුත් පරම සැපත යනු ඊට වඩා සැපතක් නැත යන්නයි. මේ පරම සැපත කිසිම කිසිවක් නැත යන්නයි. යමක් ඇති නම් පවතී නම් එය බරකි. නිවන සැහැල්ලුවකි. පරම සැහැල්ලුවයි. එහි කිසිවක් නැත. මේ කිසිවක් නැති බව අවබෝධ කර ගැනීමට පින් පව් බර දෙවුරින් දරා ගෙන සංසාරයේ සැරි සැරීමෙන් කළ නොහැකි ය. එබැවින් ඔබ කරනා යහපත් ක්‍රියාවන්ගෙන් පින් බලාපොරොත්තු නොවන්න.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.