UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්පුරුෂ ධර්මය නොදිරයි

නොයෙකුත් රෝග පීඩා ආදිය නිසා තුවාල, පිළිකා ආදි දේවල් වලින් ද නිරන්තරයෙන්ම සැරව, ලේ ගැලීම සෙම්, සොටු ගැලීම් වලින්ද, ශරීරය ජරාවට යන අතර මහළු වියට පත්වන විට සම හැකිලීම්, නියපොතු, දත් ආදිය පවා දිරායාම නිසා අප මොහොතින් මොහොත ළං වන්නේ ජරාව, හා මරණය වෙතය.

ජිරන්ති වෙ රාජරථා සුචිත්තා
අථො සරීරමපි ජරං උපෙති
සතං ච ධමෙමා නජරං උපෙති
සනෙතා භවෙ සබභී පවෙ දයන්ති

ධම්ම පදයේ ජරා වග්ගයෙහි 6 වන ගාථාව වන මෙම ගාථාව දේශනා කරන ලද්දේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරදී මල්ලිකා දේවිය අරඹයාය. රජුන්ගේ විසිතුරු කළ මඟුල් රථය දිරා යයි. එසේම නොයෙක් ආකාරයෙන් විසිතුරු කළ මේ සිරුරද දිරායයි. නමුත් සත්පුරුෂ ධර්මය කිසි කලක නොදිරයි.

රජුන්ගේ රථය මනාව විසිතුරු කරනලද ඉතා වටිනා දෙයකි. එහෙත් කොයි තරම් වටිනාකමකින් යුක්තව සවි ශක්තිමත් ලෙස සාදා නිමකරන ලද්දක් වුණත් කාලයක් යන විට දිරා පත්වෙයි. විචිත්‍රවත් ලෙස අලංකාර කරන ලද සැරසුම් කාලයක් යනවිට එහි ඇතිශෝභමාන තත්වය වෙනස් වී දිරාපත්ව යයි.

එලෙසම මේ ශරීරයත් ජරාවට පත්වී විනාශ වී යන බව අප තේරුම් ගත යුතුයි. මෙලොව උපදින සියලු සත්වයා ජරාව කරා මරණය කරා කෙමෙන් කෙමෙන් ළංවීම කිසිවකුට වෙනස් කිරීමට හෝ නැවැත්වීමට නොහැකියි.

නිරන්තරයෙන් මේ ශරීරයෙන් පිටවන දහඩිය සෙම් සොටු, මළ මුත්‍ර ආදිය නිසා ජරාවට පත්වන බැවින් සෝදා පිරිසිදු කළ යුතුයි.අලංකාරය පිණිස නොයෙකුත් සුවඳ, විලවුන්, වර්ණ ආලේපන ආදිය කළත් ඒවාද වරින් වර සෝදා පවිත්‍ර කරමින් නැවත නැවත ඒ අලංකාර කිරීම් කළ යුතු යි. නැත්නම් මේ ශරීරය සුවඳ විලවුන් වලින් සුවඳවත් කළත් දහඩිය ආදිය නිසා අපිරිසිදු වන බව ජරාවට පත්වී දුගඳ හමන බව අපි දනිමු.

නොයෙකුත් රෝග පීඩා ආදිය නිසා තුවාල, පිළිකා ආදි දේවල් වලින්ද නිරන්තරයෙන්ම සැරව, ලේ ගැලීම සෙම්, සොටු ගැලීම් වලින්ද, ශරීරය ජරාවට යන අතර මහළු වියට පත්වන විට සම හැකිලීම්, නියපොතු, දත් ආදිය පවා දිරායාම නිසා අප මොහොතින් මොහොත ළං වන්නේ ජරාව, හා මරණය වෙතය.

එබැවින් සිරුර කෙරෙහි ඇති ඇල්ම ආශාව දුරු කර ගැනීම පිණිස නිතර අප මේවා සිහිපත් කළ යුතුයි.

ශරීරයේ ඇති පිළිකුල් භාවය අවබෝධ කරගැනීමට පිළිකුල් භාවනාවක්,අශුභය. දැකීමට, මරණය ගැන දැකීමට, මරණ සතිය වැනි භාවනාවක් හුරු කර ගත යුතුයි.

මරණයෙන් පසුව මේ දිරා ගිය දරකඩක් වැනි ශරීරයට සිදුවන ක්‍රියාවලිය. දකිමින් නව සිවථිකය වැනි විදර්ශනා භාවනාවක් වැඩීමට හුරු කර ගතහොත් ඒ තුළින් ඔබට නිවන් අවබෝධය දක්වාම සිත දියුණු කර ගැනීමට හැකිවේවි.

දින දෙක තුනක් යන විට ඉදිමී නිල්වී ඕජස් ගළන මළ මිනිය, පුපුරා ගොස් ඒ තුළ තිබෙන වායෝ ධාතු කොටස් බාහිර වායුවට එක්වී යයි. මස්, නහර, කුණු වී දියවී පොළොවට දිරාපත් වෙයි.ඇට කටු ක්‍රමයෙන් දිරාපත් වෙමින්. මහපොළොවේ තිබෙන පස් වලටම එක්වී පඨවි ධාතු පඨවි ධාතුවටම එක්වෙයි. ශරීරයේ තිබුණු ආපෝ ධාතු හෙවත් වැගිරෙන ජල කොටස් පොළොවේ ජලයටම එක්වෙයි. උණුසුම හෝ සිසිලස හෙවත් තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටම එක්වෙයි. මේ විදියට ශරීරයේ ඇති ධාතු කොටස් හතරම බාහිර ධාතු කොටස් හතරට පරිවර්තනය වෙයි. මේ විදියට විදර්ශනා නුවණින් ධාතු මනසිකාරය හැටියටත් භාවනාව දියුණු කර ගනිමින් නිවන් අවබෝධය දක්වා සිත මෙහෙයවමින් ආත්ම දෘෂ්ටිය නැති කරමින් ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන.

මේ කුමන ආකාරයකින් හෝ විදර්ශනා භාවනාවකින් ඔබගේ සිතේ සහ කයේ අනිත්‍ය අනාත්ම බව දකිමින් නාම රූප නිරෝධයක් අත්දකින්නට හැකි වුවහොත් බුදුහාමුදුරුවන් විසින් පෙන්වා දෙන ලද ආය¸ සත්‍ය ධර්මයන් ගැන තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකිවේවි.

එවිට බුද්ධාදී උත්තමයන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද සත්පුරුෂ ධර්මය කිසිකලෙක විනාශ නොවන සත්‍ය ධර්මයක් බව අවබෝධ වනු ඇත. ඒ නිසා ඔබත් අද අදම ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.

නිබ්බානං පරමං සුඛං -සියලු ධර්ම නිවී ගිය නිවන උතුම් සැපයයි.

සියලු දෙනාටම ඒ උතුම් ධර්මාවබෝධය ලැබේවා!

 

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]