UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 වත්තේගම ධම්මවාස නා හිමි

සිරි සුගත පටිපත්ති සාසන සෝභන විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත ගෞරව නාම සම්මුතිය සහිතව උඩරට අමරපුර මහානිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය හා ඕස්ට්‍රේලියා මහාද්වීපයේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන පේරාදෙණිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්‍ෂු අභ්‍යාස ආයතනයේ පරිවේණාධ්‍යක්‍ෂ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංඝසභාවේ උපසභාපති හා බ්‍රෙස්බෙන්හි ශ්‍රී ලංකාරාමාධිපති වත්තේගම ධම්මවාස නා හිමි


ශාසනික මෙහෙවරට අනුග්‍රහයක්

උඩරට අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වත්තේගම ධම්මාවාස ස්ථවිරයන් වහන්සේට “ සිරි සුගත පටිපත්ති සාසන සෝභන විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත” යන ගෞරව සම්මුතිය සහිතව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවිය හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය නිමිති කරගෙන සුභාශිංසන පණිවුඩයක් එවනු ලබන්නේ ඉතාමත් සංතෝෂයෙනි.

දේශීය හා විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් ආගමික, සංස්කෘතික හා සමාජයීය සේවාවක නියැලී සිටින ධම්මාවාස ස්ථවිරයන්ට මෙවැනි පදවියක් පිරිනැමීම කාලෝචිත පියවරක් වන අතර, උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට මහත් රුකුලක් සහ අනුග්‍රහයක් වනු නොඅනුමානය. බුදුදහම ලොව ප්‍රචාරය කිරීමේ පුරෝගාමි ධර්මදූත මෙහෙවරක යෙදෙමින් ඕස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලංකාරාම විහාරය,පේරාදෙණිය ජාත්‍යන්තර භික්‍ෂූ අභ්‍යාස ආයතනය, ශ්‍රී සුබෝධ පදනම, නිල්ලඹ ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී සුබෝධ වැඩිහිටි පදනම, අම්බුළුවාව භාවනා යෝගාශ්‍රමය යනාදී ආගමික හා සමාජ සේවා ආයතන රාශියක ප්‍රධානත්වය උසුලමින් ද ඕස්ටේල‍්‍රියාවේ ජාතික සංඝ සභාවේ උප සභාපති ධූරය හොබවමින් ද ලොවපුරා විසිරී සිටින බෞද්ධ මහජනතාවට කරනු ලබන වටිනා සේවාව ගිහි පැවිදි හැමදෙනාගේම ගෞරවය හා ප්‍රශංසාව හිමිවන කරුණකි.

උසස් ශාසනික පදවියකින් පිදුම් ලබන වත්තේගම ධම්මාවාස ස්ථවිරයන්ට උන්වහන්සේගේ මාහැගි ශාසනික, සාමාජික සත්කාර්යයන් වඩාත් ශක්තිමත්ව හා මැනවින් කරගෙනයාමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටත් ලැබේවායි ඉතසිතින් ආශිංසනය කරම්හ.


සුවිශාල ආගමික මෙහෙවරක්

පේරාදෙණිය, ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, වත්තේගම ධම්මාවාස නාහිමියන් වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් ලබාදීමට හැකිවීම පිළිබඳව මහත් සේ සතුටු වෙමි. ඓතිහාසික කන්ද උඩරට නිජබිම කරගත් ධම්මාවාස නාහිමියෝ, එම ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් වෙනුවෙන් සුවිශාල ආගමික මෙහෙවරක නිරත ව සිටිති. ‘පරත්ථං පටිපජ්ජථ’ යන බුදු වදන අනුව යමින් විහාරස්ථාන ගණනාවක මෙන් ම සමාජ සුබසාධන සංවිධාන රැසකට ම නායකත්වය සපයමින් උන්වහන්සේ සිදු කරන සේවය ප්‍රශංසා කටයුතුය. විශේෂයෙන් පේරාදෙණිය, ශ්‍රී ඤාණාලංකාර භික්ෂු අභ්‍යාස ආයතනය සහ දහම් පාසල ද, නිල්ලඹ ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී සුබෝධ පදනම, කටුගස්තොට ශ්‍රී සුබෝධ වැඩිහිටි නිවාසය ආදිය උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේත්, කාර්යශූරත්වයේත්, ලෝක ශාසනික චර්යාවේත් ජීවමාන සාධකයන්ය. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාරාම ආදී විදේශ රටවල පිහිටුවා ඇති විහාරස්ථාන උන්වහන්සේගේ විදේශීය ධර්මදූත සේවාවන්හි ප්‍රතිඵලයන් ය. වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ ලෝක ශාසනික සේවාව අගයනු පිණිස උඩරට අමරපුර මහා නිකාය මගින් ‘සිරිසුගත පටිපත්ති සාසන සොභන විශ්වකීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත’ යන ගෞරව නාම සම්මුතිය සමග ඕස්ට්‍රේලියාවේ සහ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අතිශයින් ම කාලෝචිත බව සඳහන් කරනු කැමැත්තෙමි. එසේ ම වත්තේගම ධම්මාවාස නායක ස්ථවිරයන් වහන්සේට තව තවත් ලෝක ශාසනාභිවෘද්ධි දායක කාර්යයන්හි නිරතවීමට ත්‍රිවිධ රත්නයේත්, ශ්‍රීමත් දළදා වහන්සේගේත් ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි ද ආශිංසනය කරම්හ.


මෙහෙවර පැසසුමට ලක්ව ඇත

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ඤාණාලංකාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වත්තේගම ධම්මාවාස නායක මහස්ථවිරපාදයන් වහන්සේට උඩරට අමරපුර මහා නිකාය මගින් මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය හා ඕස්ට්‍රේලියාව මහද්වීපයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම මාගේ බලවත් සතුටට කරුණක් බව සඳහන් කරමි. දෙස් විදෙස්හි පතළ කීර්තියක් ඇති උන්වහන්සේ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද සිදු කරන සේවය අතිමහත් ය. උගත් සිසු පිරිසක් ඇති කරමින් දහස් සංඛ්‍යාත දායක කාරකාදීන් පිරිසට මාර්ගෝපදේශකත්වය සපයමින් ශාසනික හා ජාතික මෙන්ම සාමාජික වශයෙන් ද සිදු කරන මෙහෙය අප කාගේත් පැසසුමට ලක්ව ඇත. සුපේශල ශික්ෂාකාමි බුද්ධපුත්‍රයෙකු ලෙස මහා ශ්‍රමණ ආකල්පවලින් පරිපූර්ණ මුන් වහන්සේ දුටුදුටුවන් ප්‍රසාදයට පත්කරවන මහස්ථවිර නමකි. ආදර්ශසම්පන්න ලෙසින් ලෝසසුන් දෙකට සිදු කරන මහඟු සේවාවද සලකමින් යථෝක්ත සංඝනායක පදවිය ප්‍රදානය කිරීම, ස්වනිකාය මගින් නිසි සැලකිල්ලක් සිදුකර ඇති බව මගේ් හැඟීමයි. ලැබූ පදවියේ වගකීම් මැනවින් ඉටුකරලමින් වඩවඩාත් ලෝසසුන් වැඩ සදන්නට අභිනව නායක මහස්ථවිරපාදයන් වහන්සේට තෙරුවන් සරණින් ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවායි ප්‍රාර්ථනා කරමි.


සේවාව අතිශය ප්‍රශංසනීය හ

පේරාදෙණිය, ශ්‍රී සුබෝධාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති වත්තේගම ධම්මාවාස, මහා ස්ථවිරතුමන් වෙත උඩරට අමරපුර මහා නිකායේ මහානායක මහා ස්ථවිරතුමන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව වෙතින් පුද කරන ලද ‘සිරි සුගත පටිපත්ති සාසන සෝභන විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත ගරු නාම සම්මුතිය සහිත වූ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම පිළිබඳ මා අතිශය සොම්නසට පත්වෙමි. කන්ද උඩරට පමණක් නොව ශ්‍රී ලංකාව තුළත් ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, නවසීලන්තය, වියට්නාමය,බංගලාදේශය, ජර්මනිය, ආදී පෙරපර දෙදිග රටවල ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කරලීමෙහිලා උන්වහන්සේ සිදුකර ඇති සිදුකරන සේවාව අතිශය ප්‍රශංසනීය. අපවත්වී වදාළ දමිළ භාෂා විශාරද සද්ධර්මවාගීශ්වරාචාර්ය , පිණ්ඩපාතික, ගලබොඩ වත්තේ ශ්‍රී ඤාණාලංකාර මහා ස්වාමින්ද්‍රයාණන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් වන ධම්මාවාස මහ ස්ථවිරතුමන්ගේ ලෝක ශාසනික සේවය තව තවත් වැඩදායි ලෙස සිදුකරලීම සඳහා පිරිපුන් භික්ෂු පිරිසක් බිහිකිරීමට ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස පුහුණු ආයතනයක් ද ආරම්භ කර ඇත. උන්වහන්සේගේ එවන් අත්‍යුදාර ශාසනික සේවාව සලකා බලා ස්වනිකාය මගින් පිරි නමා ඇති ශාසනික පදවිය තවදුරටත් අප මහා ස්ථවිරතුමන්හට ස්වකීය සේවාවන් සිදුකරලීමට මහත් ශක්තියක් වනු ඇත. මෙම පදවිය අභිනව සංඝ නායක මහා ස්ථවිරතුමන්ගේ සුවිසල් සේවාවන් අගැයීමක් ලෙසින් සලකන අතර උන්වහන්සේ විසින් සුනාමි ව්‍යසනය අවස්ථාවෙහි නිවාස 100 ක් ඉදිකර දෙමින් බෞද්ධ ආයතනයක් පළමුවෙන්ම සිදු කළ උදාර සත්කාර්යක් ලෙසින් ද මා අතිශය අගයමි. මෙවන් ජාතික ආගමික ශාසනික සේවාවන් තවදුරටත් සිදු කරලීමට අප හිතෛෂී අභිනව සංඝ නායක මහා ස්ථවිරතුමන්හට තෙරුවන් බෙලෙන් දිරිය සවිය සැලසේවායි මෙහිලා ඉත සිතින් ප්‍රාර්ථනය කරම්හ.


ශික්‍ෂාකාමී යතිවරයාණ නමකි

බුද්ධ ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලා තම තමන් වෙත පැවරෙන කාර්යභාරයන් නිසි පරිදි ඉටු කිරීම නිසා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා වූ බව ශාසන ඉතිහාසය පැහැදිලි කරයි.ලෝකයේ විවිධ රට රාජ්‍යවල මහා යානික ථෙරවාදී බුද්ධ ශ්‍රාවකවරු ඉහත සඳහන් කළ යුතුකම් ඉටු කිරීමෙන් නූතන ලෝකයෙහි සසුන් කෙත මේ දක්වා ඔපවත්ව පවතින බව පැහැදිලිව පෙනෙන්නකි. එයිනුත් ථෙරවාදී බෞද්ධ රටක් වූ ලංකාව විවිධ කරදර බාධක මැද යටත් විජිත වාදීන්ගේ ද හිංසාකාරී ක්‍රියාවන්ට මුහුණ දෙමින් බුදු සසුන රැකගනිමින් ආ බව ලොවම පිළිගත් කරුණකි. එයට මූලික හේතුව වූයේ ගමේ ගොඩේ අප්‍රකට භික්‍ෂූන් වහන්සේගේ සිට දැන උගත් මහතෙරුන් වහන්සේ දක්වා, බුදු සව්වෝ ශාසනික මෙහෙවර ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඉටු කිරීමය. මේ ශ්‍රේෂ්ඨතම යුතුකම ආදර්ශයට ගත් නූතන භික්‍ෂූන් වහන්සේලා ද මහත් වූ ධෛර්යයකින් යුතුව ශාසනික සේවාව ඉටු කරන බව නොකියාම බැරිය. කලාතුරකින් මේ වගකීම පැහැර හරින ඇත්තෝද නැත්තේ නොවේ. එය ද ලොව පවතින ස්වභාවික තත්ත්වයකි. ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේලා ඉකුත් 2500 වසරකටත් වැඩි කාලයක් පුරා ගිය මඟ සැළකිල්ලට ගනිමින් ක්‍රියා කරන භික්‍ෂූන් වහන්සේලා අතර ශාස්ත්‍රපති වත්තේගම ධම්මාවාස ස්ථවිරයන් වහන්සේ පිළිබඳවද සඳහන් කළ යුතුව ඇත. වත්තේගම ධම්මාවාස ස්ථවිරයන් වහන්සේ මධ්‍යම වයසේ සිටින, ව්‍යක්ත විනීත විශාරද, සුපේශල ශික්‍ෂාකාමීයතිවරයාණ කෙනෙකි. මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමිපාණන් සහ අම්පිටියේ රාහුල මා හිමියන් වහන්සේගේ ද ඇසුරෙන් මහරගම ධර්මායතනයෙන් අධ්‍යාපනය ලබා, ධර්මදූත සේවයට සහ සමාජ සේවාවට යොමු වූ ධම්මාවාස ස්ථවිරයන් වහන්සේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, ඉන්දුනීසියාව, බුරුමය ආදී රටවල කලින් කළ ධර්මදූත සේවයෙහි යෙදී සිටියහ. අපගේ ආරාධනයෙන් මියන්මාර් (බුරුම) රටට ගොස් එහි මියන්මාර් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භක අවස්ථාවේ මහඟු සේවාවක් ඉටු කළෝ මුන් වහන්සේ බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුව ඇත. මෙවන් උදාර පැවිදි ගුණ වලින් යුත් වත්තේගම ධම්මාවාස ස්ථවිරයන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ද ප්‍රධාන සංඝනායක පදවිය දරයි. උන්වහන්සේ තුළ පවත්නා මෙකී ගුණාංගයන් ගැන අවධානය යොමු කළ උඩරට අමරපුර නිකායේ මහා නායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන විනයවාදිනි කාරක සංඝ සභාව විසින් වත්තේගම ධම්මාවාස ස්ථවිරයන් වහන්සේට ගෞරව නාමය සහිත ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.


ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටිති.

දුටුවන් පහදවන ශ්‍රමණ ආකල්පවලින් ශෝභමාන ආදර්ශවත් යතිවරයෙකු ලෙස, දෙස් විදෙස් පතළ කීර්තියක් ද ඇතිව ශාසනික හා සාමාජික වශයෙන් උදාර සේවාවක නිරතව සිටින මහස්ථවිරයන් වහන්සේ නමක් ලෙස වත්තේගම ධම්මාවාස මහස්ථවිරයන් වහන්සේ ගිහි පැවිදි උභය පක්‍ෂයේම ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටිති. දේශීය විදේශීය වශයෙන් විහාරස්ථාන ඇතිකරලමින් හා වියත් සිසු පිරිසක් ඇතිකොට අප නිකායට සුවිශේෂී සේවයක් සිදුකරන මෙම මහස්ථවිරයන් වහන්සේට අප නිකායේ විනයවාදිනි කාරක සංඝ සභාව මඟින්, ඕස්ට්‍රේලියා මහද්වීපයේ හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය ප්‍රදානය කොට උපහාර දක්වන්නට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. අප විසින් සිදුකර ඇත්තේ සුදුස්සෙකුට සුදුසුම තනතුර ප්‍රදානයක් බව මගේ හැඟීමයි. දැනට සිදුකරන සේවාවන් තවතවත් බොහෝ කල් මැනවින් සිදුකරලීමට මේ අභිනව පදවියද ආධාරයක් වනු ඇතැයි සිතමි.


රටට ලබාදුන් කීර්තිය අපමණය

පේරාදෙණිය, ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ගෞරවාර්හ වත්තේගම ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකාය මඟින් සිරි සුගත පටිපත්ති, ශාසන ශෝභන විශ්ව කීර්ති ශ්‍රී, ධර්ම විශාරද, පණ්ඩිත යන ගෞරව නාම සම්මුතිය සහිතව මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇති බව අසා මම බලවත් සතුටට පත්වීමි. සම්බුදු සසුනේ චිරස්ථිතිය හා සංවර්ධනය සඳහා ආගමික, සාමාජික හා සංස්කෘතික උදාර මෙහෙවරක නිරත වන ගෞරවනීය ඔබ වහන්සේ, විදේශයන්හි ඇතිකර ඇති ආගමික ප්‍රබෝධය නිසා අප රටට ලැබී ඇති කීර්තිය අපමණය. අභිනව ගෞරව නාමය හා තනතුරු තුළින් වඩාත් ශක්තිමත්ව එම කාර්යයන් ඉටු කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. ගෞරවාර්හ වත්තේගම ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත්, දීර්ඝායුෂත්, තිසරණ සරණින් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, උපහාර උළෙල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.
 


කැපවී කටයුතු කළ මහා පඬිරුවනක්

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ වෙත “ සිරිසුගත පටිපත්ති ශාසන සෝභන විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත” ගෞරව නාමය සහිතව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුවත අසා මම බලවත් සතුටට පත්වීමි. අතිපූජ්‍ය වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසාත් ආගමික, සංස්කෘතික අධ්‍යාපනික හා සමාජීය ප්‍රගමනය උදෙසාත් කැපවී කටයුතු කළ මහා පඩිරුවනක් බව කිව යුතුය. අප නායක ස්වාමීන් වහන්සේ පේරාදෙණිය ශ්‍රී ඥාණාලංකාර ජාත්‍යන්තර භික්‍ෂු අභ්‍යාස ආයතනය, ශ්‍රී සුබෝධ පදනම, නිල්ලඹ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ඇතුළු බෞද්ධායතන රැසක ප්‍රධාන තනතුරු හොබවමින් ඕස්ට්‍රේලියාවේ බිස්බ්‍රේන් නුවර ශ්‍රී ලංකාරාමය විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන කිහිපයකම අධිපතිත්වය උසුලමින්, ශ්‍රී ලාංකීය නාමය දෙස් විදෙස්හි බැබළවීමට කටයුතු කිරීම සතුටට කරුණකි. මෙවන් ශාසනික, සමාජීය සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන්ද අති උදාර වූ කාර්යභාරයක් ඉටුකරන අප මහා සංඝරත්නය තනතුරු ගෞරව නාමයෙන් පිදුම් ලැබීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මම දනිමි. පූජ්‍ය වත්තේගම ධම්මාවාස ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ මෙතෙක් පවත්වාගෙන ආ ශාසනික සාමාජික සංස්කෘතික හා අධ්‍යාපනික මෙහෙවර තව දුරටත් පවත්වාගෙන යාමට අද දින පිළිගැන්වුනු සංඝනායක පදවිය රුකුලක් වනු ඇතැයි මම අපේක්‍ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


බොදුනුවන්ට මහත් අභිමානයක්

සිරිසුගත පටිපත්ති සාසන සෝබන විශ්වකීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත යන ගෞරව නාම සම්මුතිය සහිතව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් හා ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබන පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ඕස්ට්‍රේලියාවේ ජාතික සංඝ සභාවේ උප සභාපති වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ වෙත මගේ උණුසුම් සුභාශිංසන පුද කර සිටිමි. උන්වහන්සේ ස්වකීය ධර්ම ඥානය ලොව පුරා පතුරුවාලීමේ ලා දීර්ඝ කාල පරාසයක් මුළුල්ලේ ඉටු කොට ඇති අතිමහත් කාර්යභාරය මහත් ඇගයීමට පාත්‍ර වෙයි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ශ්‍රී ලංකාරාම මහා විහාරය ඇතුළුව ඇමෙරිකා එක්සත් ජනපදයේ විහාරස්ථාන කීපයකම අධිපතිත්වය දරමින් උන්වහන්සේ නිරත වී සිටින උදාර ධර්ම දූත සේවාව ශ්‍රී ලංකාවට හා මෙරට බොදුනුවන්ට මහත් අභිමානයකි. මහත් ව්‍යාකූලතාවලින් පිරි තත්කාලීන ලෝකයට නිර්මල බුදු දහමින් හිමි කර දිය හැකි ශාන්තිය අප්‍රමාණය. එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන උන්වහන්සේට පිදෙන මෙම සංඝනායක ධුරයන් උන්වහන්සේගේ උතුම් වූ ශාසනික කාර්යභාරයට නොමඳ ආශිර්වාදයක්ම වනු ඇත.


තරුණ භික්‍ෂුවගේ කාර්යභාරය ලොවට පසක් කරදුන්හ

ධර්මධර, විනයධර, ධර්මානුධම්ම ප්‍රතිපන්න ව්‍යක්ත විශාරද සුපේෂල ශික්ෂාකාමී මහ තෙරනමක් ලෙස අප කාගේත් වන්දනීයත්වයට පාත්‍රවී ඇති පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේ ඇතුළු විනයවාදිනි කාරක මහා සංඝ සභාව විසින් “සිරි සුගත පටිපත්ති සාසන සෝභන විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත” ගෞරව සම්මුතිය සහිතව මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව මාගේ සුභාසිංශන පිරිනැමීමට ලැබීම මා ලැබූ මහත් වූ භාග්‍යයක් සේ සළකමි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ධූරය ද දරමින් එහි බ්‍රිස්බේන් නුවර ශ්‍රී ලංකාරාම මහ විහාරය ඇතුළුව ඇමරිකාවේ පිහිටි විහාරස්ථාන කීපයකම අධිපතිත්වය ද දරන ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ වෙතින් නිර්මල බුදුදහම ලෝකපූජිත කිරීම සඳහා ඉටුවන අනුපමේය මෙහෙවරට අපගේ නොමඳ ගෞරවය හිමිවේ. තවද පේරාදෙණිය ශ්‍රී ඤණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනය, ශ්‍රී සුබෝධ පදනම, නිල්ලඹ ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය, අම්බුළුවාව ශ්‍රී සුබෝධ භාවනා යෝගාශ්‍රමය, කටුගස්තොට ශ්‍රී සුබෝධ වැඩිහිටි නිවාසය යන ආයතන වල සහ ශ්‍රී ඤණාලංකාර දහම් පාසලේ නිර්මාතෘවරයාණන් වහන්සේ ද වශයෙන් මධ්‍යම පළාතේ ජනතාව ඇතුළු සමස්ත ලක්වාසි සහ ලෝකවාසි බෞද්ධ ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර ජීවන මඟ වඩාත් යහපත් කරලීම උදෙසා වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ අතින් ඉටුවන උදාරතර වූ ශාසනික මෙහෙවර තවත් ඉදිරියට ගෙන යාම සඳහා මෙම අභිනව ගෞරවණීය තනතුර මහත් සේ ශක්තියක් වනු අතැයි මා දැඩි සේ විශ්වාස කරමි. යමෙක් කෙලෙස් කහට රහිතව සීලයේ මනාව පිහිටා ඉඳුරන් දැමීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වේද හෙතෙම ඒකාන්තයෙන්ම සිවුරට සුදුසු වන්නේය” යන බුද්ධ වචනය අනුව නිකැලැල් පැවිදි දිවියකට උරුමකම් ඇති දුර්ලභ ශාසනික මෙහෙවරක නියැලී සිටින දුර්ලභ ගණයේ ප්‍රතිපත්ති රැසකින් පෝෂිත උඩරට අමරපුර නිකාය පමණක් නොව මුළුමහත් සසුන් අඹරම එකළු කරන මානව දයාවෙන් පරාර්ථ චරියාවෙන් හා සසුන් ලැදියාවෙන් සුපෝෂිත වත්තේගම ධම්මාවාස මධ්‍යම පළාතේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේට තවත් චිරාත් කාලයක් ලෝක ශාසනික සේවාවේ නිරතවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව හා නිදුක් නිරෝගීභාවය උතුම් වූ ශ්‍රී දළඳා වහන්සේගේ සහ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් නොඅඩුවම ලැබේවායි බැතිබර සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.


උගත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේ නමකි

යුරෝපාකරය තුළ තරුණ පිරිස් ඇතුළු බුද්ධිමතුන් බුදුදහමේ ආශ්වාදය සොයායෑමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අවධියක් අද අපට දැකිය හැක. වාණිජත්වය තරගකාරිත්වය හා තාක්ෂණය සමස්ත මානව වර්ගයාගේ හිතසුව පිණිස යොදා ගතයුතු වුවද අද ඒ තුළ කිසියම් බොල් බවක් දෘශ්‍යමාන වන බව බුද්ධිමතුන් විසින් අවබෝධ කරගෙන ඇත. සතුට සැනසුම සහ විමුක්තිය බෞද්ධ දර්ශනය තුළ ගැබ්වී ඇති බව ඔවුහු පසක් කරගෙන සිටිති. මෙවැනි අවබෝධයක් ජාත්‍යන්තරය තුළ උදාවීමට එක් හේතුවක් වන්නට ඇත්තේ අපේ උගත් යතිවරයාණන් වහන්සේලා විසින් ජාත්‍යන්තරය තුළ ක්‍රියාත්මක කරන බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු නිසා බව අපට සිතිය හැක. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ශ්‍රී ලංකාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයකම අධිපතිත්වය උසුලමින් උදාරතම ධර්ම දූත සේවයක නිරතවන වත්තේගම ධම්මාවාස නාහිමියෝ මා ඉහතින් පෙන්වා දුන් ගණයට වැටෙන උගත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේ නමකි. විදේශීය මෙන්ම දේශීය වශයෙන් ද ශාසනික හා ප්‍රජා සේවාත්මක වශයෙන් උන්වහන්සේගෙන් සිදුවන සේවය අති විශාලය. අප නාහිමියන්ගේ අනුශාසනාවන් මත පවත්වාගෙන යනු ලබන පේරාදෙණිය ශ්‍රී ඥානාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනය, ශ්‍රී සුබෝධ පදනම, නිල්ලඹ ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය, අම්බුළුවාවේ ශ්‍රී සුබෝධ භාවනා යෝගාශ්‍රමය වැනි ආයතන තුළින් දේශීය වශයෙන් ඉෂ්ඨ සිද්ධ වන ශාසනික මෙහෙවර අනන්තය අප්‍රමාණය. වත්තේගම නාහිමිපාණන් වහන්සේගේ ආගමික ශාසනික හා ප්‍රජා සේවාත්මක කාර්යභාරය අගයනු වස් සංඝනායක පදවි දෙකකින්ම උන්වහන්සේ පුදනු ලැබීම පිදිය යුත්තන් පිදීමේ උතුම් ගුණාංගය ප්‍රායෝගිකකරණයක් ලෙස මම දකිමි. එබැවින් දේශීය හා විදේශීය බෞද්ධ ජනතාවගේ කෘතවේදීත්වය උඩරට අමරපුර මහානිකායේ අතිපූජ්‍ය මහානායක තෙරිපැහැ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේට හිමිවිය යුතුයයි මම කල්පනා කරමි. අභිනව සංඝනායක පූජ්‍යපාද වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ ඉදිරි ශාසනාභිවෘද්ධිමය කාර්යභාරය වඩ වඩාත් පුළුල් ලෙස කරගෙන යෑමට දළදා සමිඳු සරණින් උන්වහන්සේට ශක්තිය ධෛර්යය ඇතුළු නිරෝගි සම්පත්තිය සමග චිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]