Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අවධානය යොමුවිය යුතු පොතුවිල් මුහුදු මහා විහාරය


නටබුන් වූ බුදු මැදුර

නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් මුහුදු තීරය අසළ සුන්දර පරිසරයක පිහිටා ඇති පුද බිමක් වශයෙන් පොතුවිල් මුහුදු මහ විහාරය හැඳින්විය හැකි ය.


විහාරයේ නටබුන්

මෙය ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ඇති පුද බිමක් ලෙස ප්‍රකටව පවතී. මෙම විහාරස්ථානය දුටුගැමුණු යුගය තෙක් ඉතිහාසය කරා දිවෙයි.

මුහුද ගොඩ ගැලූ මොහොතේදී රට බේරා ගැනීම සඳහා මුහුදට බිලිවන්නට ගිය විහාර මහාදේවිය කිරින්දට පාවී ගියත් ගල් කුළු නිසා ගොඩබසින්නට නොහැකි වී යැයි පැවැසේ. යළි මුහුදට පා වී ආ ඇය වෙරළට ගොඩ බසින ලද්දේ පොතුවිල් ප්‍රදේශයෙන් බව කියැවේ. ඒ ආරුම්බොක්කටය.

ඇය ගොඩ බට තැන පසු කලෙක විහාරස්ථානයක් ඉදිවී ඇති අතර එම විහාරස්ථානයේ නටබුන් මෙන්ම සෙල්ලිපයක් ද තිබේ. විවාහරස්ථානයේ නටබුන් අතර බුදුපිළිම වහන්සේ ඉදිරිපස කාන්තා සහ පිරිමි පිළිම යුවලක් දෙපස නෙලා තිබේ.


විහාරවාසී වරකාපොල ඉන්ද්‍රසිරි හිමි

මේ කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ යැයි විශ්වාසයක් පවතී. මෙහි තොරතුරු විශ්වාසයක් බවට පත්ව තිබේ. එවැනි තත්ත්වයට පත්ව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සෙල්ලිපිය කියවීමට පියවර නොගැනීම නිසා යැයි කියැවේ.

අතීතයේ දී මෙම විහාර ස්ථානයට අක්කර සිය ගණනක් තිබී ඇතත් අද ඉතා සුළු ඉඩම් ප්‍රමාණයකට සීමා වී ඇත. පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් 1964 දී ගැසට් කර ඇති මේ පූජනීය ස්ථානය කෙරෙහි තවම පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැත.


දමිල ආභාෂයෙන් සැකසී ඇති පුරාවිද්‍යා නාම පුවරුව

පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය. නමුත් මෙම මාර්ගය සොයා ගැනීමට වන්දනාකරුවන්ට අපහසු වේ.

එයට හේතුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු මහ විහාරය යනුවෙන් නාම පුවරුවක් මෙතෙක් සවිකර නොමැතිවීමය.

මෙම මුහුදු මහා විහාරයේ වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ වැඩ වසති. අදාළ වගකිව යුත්තන්ගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකර මෙම විහාරස්ථානය සංරක්‍ෂණය කිරීමට පියවර ගන්නා ලෙස විහාර වාසි හිමියෝ ඉල්ලා සිටිති.

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.