Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 34 වන කොටස

151. ජීරන්ති වෙ රාජ රථා සුචිත්තා - අථෝ සරිරම්පි ජරං උජේති
සතංච ධම්මෝ නජරං උපේති - සන්තෝ භවේ සබ්භි පවේද යන්ති

අපේ මේ කුනු සිරුර – සැරසුවත් දිරා යයි. ගුණ දහම් සදහටම - ලොව ඉතිරි වන්නේය...

හිතවතුනි, නොවටිනා දෙයක් රැක ගත යුතු ද? කෙසේ හෝ මහඟු වූ දෙයක් රැක ගනු මැනවි.

152. අප්පස්සුතායං පුරිසො - බලිවද්දෝ ව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඩ්ඩති

ගුණ දහම් නොමැත්තෝ - ගොනුන් සේ මහත් වෙති. ඔවුන්ගේ මස් මිසක නුවණ නොවැඩෙන්නේය.

හිතවතුනි, නුවණ නැති, මසින් වැඩි මිනිස් තෙම, මේ ලෝකයට බරකි. පාපයට උල්පතකි.

153. අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං

මේ සසර නොයෙක් වර – මැරි මැරී ඉපදෙමින් සිරුර නම් ගෙය හදන වඩුරාල සෙවුයෙමි. (මෙය ඊළඟ ගාථාවට සම්බන්ධය).

154. ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ක්‍ධගා

වඩුව මම ඔබ දිටිමි. හොඳින් හදුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ලම නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි.

හිතවතුනි, මේ සසර කෙළවරක් වන්ට නම් – තණ්හාව මුලුමනින් තුරන් කළ යුත්තේ ය.

155. අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොඤ්චා ව ඣායන්ති – ඛීන මච්ඡේව පල්ලලෙ

ධනය උපයන්නෙ නැති – බඹ සරෙහි නොහැසිරෙන මෝඩයෝ මහළු කල දුකට පත් වන්නෝය.

හිතවතුනි, කළයුත්ත නිසි කලට කරනු මැන – එවිට ඔබ කිසි විටක පසුතැවිලි නොවනු ඇත.

156. අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති ඡාපාතිඛිත්තා ව - පුරාණානි අනුත්ථුනංති

ධනැති වූ තරුණ වූ - බොහෝ දෙන බඹ සරෙහි - නොහැසිරී මහළු කල – පසුතැවිල්ලට වැටෙති.

හිතවතුනි, නිසි කලට – ඇවැසි දේ නොකළ විට – ජීවිතේ පසු තැවුම – භාරගත යුතුම වේ.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.