Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ බුදුරුව දැකීම

මේ ලිපියේ අදහස මේ සා දිගු කලක් තිස්සේ කෝටි සංඛ්‍යාත පිරිසකගේ වන්දන මානයයට ලක් ව සිටින ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෲවරයා වන බුදුරජාණන් වහන්සේ සැබවින්ම කෙබඳු අයකු දැයි උන්වහන්සේ ගේ ම දේශනා ආශ්‍රයෙන් විමසා බැලීමය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු, උන් වහන්සේගේ භක්තිමත් අනුගාමිකයන් විසින් ඉදිරිපත් කරන ලද විස්තර, වර්ණනා, හැඳින්වීම් අනුව, බුදුරදුන් හැඳින්වීමට යෙදෙන පද රැසක් අපට හමුවෙයි.

දේවාතිදේව, බ්‍රහ්මාතිබ්‍රහ්ම, මාරාතිමාර, ශක්‍රාතිශක්‍ර, තෛ‍්‍රලෝක්‍ය තිලක වැනි යෙදුම් මෙන්ම, සුගත, තථාගත , ලෝකවිදූ, සමන්තභද්‍ර ආදි වශයෙන් පෙනෙන සියයක් තරම් වූ පර්යාය නාම ද නිසා බොහෝ විට සැබෑ බුදුරජාණන් වහන්සේ පිළිබඳ තථ්‍ය වූ රූපයක් මවා ගැනීම සාමාන්‍ය ශ්‍රාවකයාට අසීරු වී ඇති ආකාරයක් දකින්නට ලැබේ.

ඇතැම් දේශනා මෙන් ම, භක්ත්‍යෝන්මාදයෙන් විපරීත වූ අදහස් ඇත්තවුන් විසින් දහ අට රියන්, හැටරියන්, අසූරියන්, සියක් රියන් ආදි වශයෙන් ඉදිකළ සහ ඉදිකරන යෝධ බුද්ධ ප්‍රතිමා ද ඒ අසීරුතාවයට හේතු වී ඇත.

සිංහල රජකාලයේ පටන් අද දක්වාත් අනාගතයේ දී ත් මෙබඳු දැවැන්ත ප්‍රතිමා ජනතාවට දැක ගන්නට ලැබෙනු ඇත. බුද්ධාලම්භන පී‍්‍රතිය ඔප් නැංවීම සඳහා ඒවා මහත් පිටිවහලක් වන බව සැබෑ වුවත්, බුදුරජාණන් වහන්සේ කෙබඳු අයකුදැයි වටහා ගැනීමට නම් ඒවා බාධකයන්ය.

අතීත සිදුවීමක් මෙහි දී මගේ මතකයට නැගේ. දෙතිස් රියන් බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවකදී එක්තරා සැදැහැවතෙක් මගෙන් විමසා සිටියේ “ බුදු හාමුදුරුවන්ට මේ තරම් යෝධ ශරීරයක් තිබුණා නම් දිළින්දන්ගේ නිවෙස්වල දන් පිළිගන්නට වැඩම කළේ කෙසේද? යන්නයි. එය මෝඩ ප්‍රශ්නයක් ලෙස කෙනකුට පෙනී යා හැකි වුවත්, මා කල්පනා කළේ ඊට වඩා ගැඹුරිනි. මේ ප්‍රශ්නයට දෙයාකාරයකින් පිළිතුරු සපයන්නට පිළිවන.

එකක් උන්වහන්සේ දුප්පත් නිවෙස්වලට පිවිසීමේ දී ඍද්ධි බලයෙන් ශරීරය ඊට සරිලන සේ සකස් කරගන්නට ඇති බවය. එම පිළිතුර භක්තියට ගැළපෙන්නක් විය හැකි වුවත් බුද්ධිගෝචර නොවේ.

බුදුරජාණන් වහන්සේ යනු අරුම පුදුම දේ කරන විජ්ජාකාරයකුගේ තත්ත්වයට පත්කරවන එබඳු පිළිතුරක් උන්වහන්සේට කරන බරපතළ අගෞරවයක් මිස සැදැහැ වඩවන්නක් නොවේ.

අනික බුදුරජාණන් වහන්සේ යනු , කිසිදු මනුෂ්‍යයකුට කළ නොහැකි අන්දමට සිත දියුණු කළ රූප කායෙන් සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපය නොඉක්මවන තැනැත්තෙකු බවය. එසේ නම් මේ ආකාරයේ දැවැන්ත ප්‍රතිමා ඉදිකරන්නේ මක්නිසාදැයි කෙනකු පෙරළා ප්‍රශ්න කළ හැකිය. ඊට හේතුව අධික ශ්‍රද්ධාව බව කීම මිස දිය හැකි වෙනත් පිළිතුරක් නොමැත. බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කළ අන්දමට බුදු දහම නුවණැත්තන්ට මිස නුවණ නැත්තවුන් සඳහා වූවක් නොවේ (පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤාවන්තස්ස) ඒ අනුව බුද්ධ ධර්මය පමණක් නොව, බුද්ධ චරිත ද විමංසනය කළ යුත්තේ ප්‍රඥාවෙන් මිස හුදු ශ්‍රද්ධාවෙන් නොවේ.

පරසමයවාදීන්ගේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා පසු කාලීන බෞද්ධ අනුගාමිකයන් විසින් බුද්ධ චරිතයට ආරෝපණය කරන ලද ආශ්චර්ය අද්භූත ලක්‍ෂණ සහ ඒවා නිරූපණය කිරීමට චිත්‍ර හා මූර්ති ශිල්පීන් විසින් දරන ලද වෑයම නිසා, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට පොදු ජනතාවට තිබුණු අවස්ථා ගිලිහී ඇති බව පෙනේ.

අප බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහිවූයේ “ සිද්ධාර්ථ ගෞතම “ නමිනි.

ඒ සුදොවුන් මහරජතුමාට දාව මහාමායා බිසොවගේ කුසින් මිනිස් දරුවකු හැටියටය. මහාමායා දේවියගේ අනපේක්‍ෂිත අභාවය නිසා ඒ දරුවා වැඩුණේ මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කිරි මවුන්ගේ මවුකිරෙනි. එසේ වැඩුණු දරුවා ශිල්ප හැදෑරීම, විවාහ වීම, පියකු බවට පත්වීම, රජ සුව විඳීම, ආදී සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් ලබා ගත්තේ ය.

එහි දී විද්‍යාමාන වන විශේෂත්වය නම්, වෙනත් දරුවන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් සහ කාරණා කාරණ වටහා ගැනීමේ ශක්තියක් එතුමා තුළ පිහිටා තිබීමයි. එය සංසාරගත පුරුද්දයි .

පෙර පින් බලය ලෙස අප හඳුන්වන්නේ එයයි. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා දියුණු කළ පෙර පින් මහිමයක් එතුමා සතුවීම නිසා කුඩා වියේදී පවා ඇතැම් සිදුවීම් ප්‍රාතිහාර්ය ජනක වූ බව පැහැදිලිය. නූතන විද්‍යාවේදී පවා එබඳු සිදුවීම් අපට දැක ගන්නට පිළිවන.

බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කරන ලද සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත කරණු අනුව උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයකු තුළ ඇති හැඟීම් දැනීම් ඇත්තකු වූහ. ලෙයින් මසින් සැදුණු ශරීරයක් , රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ලබන චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා , කාය යන පංච ඉන්ද්‍රියයන්ගෙන් සමන්විත රූපකායක්, ඉපදීම , පැවතීම , දිරීම යන (උත්පාද, ඨිති, භංග) ස්වභාවික ලක්‍ෂණවලින් යුත් පංචස්කන්ධයක් උන්හන්සේට තිබිණ,උන්වහන්සේ විසින්ම දම්සක් පැවතුම් සූත්‍රයෙහි දී පැහැදිලි කළ අන්දමට දුක් සත්‍යයේ යථාර්ථයට ගෝචර වූ ශරීරයක් තිබිණි.

රාජකීය පවුලක උපත ලැබුවත්, ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි අනිත්‍යතා ලක්‍ෂණ උන්වහන්සේටද පොදු විය. උරුම විය. උපත ලැබූ සෑම සත්වයකු මෙන් ම උන්වහන්සේ ද එකී තත්ත්වයන්ට ගොදුරු වෙමින්, මුහුණදෙමින් අවසානයේ දී පිරිනිවන් පෑහ. මනුෂ්‍යයකු වශයෙන්, උන්වහන්සේ ලොව අනෙකුත් මනුෂ්‍යයන්ගෙන් වෙනස් වන්නේ,ශ්‍රේෂ්ඨවන්නේ රාගාදි සකල විධ ක්ලේශයන් සපුරා ප්‍රහීණ කිරීමත්, සර්වඥතා ඤාණය, ආසවක්ඛය ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය , චුතූපපාත ඤාණය , ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය ආදි දශවිධ ඤාණ බලයන් ලැබීමත්, සංසාර දුක්ඛයෙන් මිදී විමුක්ති සංඛ්‍යාත වූ නිර්වාණාවබෝධයෙන් පිරිනිවන් පෑමත් නිසාය.

මහාචුන්දර තෙරුන් වහන්සේ විසින් මහා චුන්දත්ථේර බොජ්ක්‍ධංග සූත්‍රය “ දේශනා කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවේදීය. (භගවා ආබාධිතෝ දුක්ඛීතෝ බාල්හ ගිලානෝ.....) බරපතළ ලෙස රෝගාතුර ව දුකට පත්ව සිටි බුදුරදුන් උදෙසා එම සූත්‍ර දේශනය පවත්වා ඇත්තේ නිරෝගී බව ලබාදීමටය. (උට්ඨාහි ච භගවා තබ්හා ආබාධා තථා පහීනෝ ච භගවතෝ සෝ ආබාධෝ අහෝසි)

ගිජ්ක්‍ධකූජ පර්වත සෙවණේ සක්මන් කරමින් සිටි බුදුරජාණන් වහන්සේ මතට දෙව්දත් තෙරුන් විසින් ගලක් පෙරළා දමන ලද්දේ උන්වහන්සේ ඝාතනය කිරිමටය.

එහෙත් ඉන් සිදුවූයේ බුදුරදුන්ගේ පාදයේ ඇඟිල්ලක් තුවාල වීමයි. එවක විසූූ රාජකීය වෛද්‍යවරයා වූ ජීවක අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් ඒ තුවාලය සුවපත් විය. බුදුන් වහන්සේ රෝගාතුර වූ අවස්ථා කීපයකදීම සුවපත් කරන ලද්දේ ජීවක තුමන් විසින් ප්‍රතිකාර කිරීමෙන් බව විනය පිටකයෙහි සඳහන් වෙයි.

එක් අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවේ, නන්දක තෙරුන් වහන්සේ එහි සිටි භික්‍ෂූන්ට දේශනයක් කරමින් සිටියහ. දේශනය පැවැත්වෙද්දී එහි පිවිසීම නොමනා බැවින් එය නිමවන තුරු එළියට වී සිටීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.

දෙසුම දිගු වීමත් ඒ නිසාම දිගු වේලාවක් සිටගෙන සිටීමටත් සිදුවීම නිසා තමන්ට පිටකොන්දේ වේදනාවක් හට ගන්නා ලදැයි බුදුරදුන් වදාළ බව අංගුත්තර නිකායෙහි සඳහන් වෙයි. බුදුරදුන් බේලුව නම් ගමෙහි වැඩ වෙසෙද්දී “ලෝහිත පක්ඛන්දිකා “ නම් රෝගයට ගොදුරු වී බාහිර ප්‍රතිකාරයක් නොලබා ආධ්‍යාත්මික ශක්තියෙන් තාවකාලික ව එය යටපත් කර ගත්තද, චුන්ද කම්මාර පුත්‍රයාගේ දානයෙන් එම රෝගය යළිත් උත්සන්න විය. 24 වන පිටුවට

එහි දී උන්වහන්සේ තමන්ට ක්ලාන්තයක් දැනෙන බැවින් අසුනක් පනවන ලෙසත්, දැඩි පිපාසයක් දැනෙන බැවින් පානීය ජලය ලබාදෙන ලෙසත් ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටි බව මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වෙයි.

එහි ම දැක්වෙන පරිදි “ තමන් දිරාගිය, මහලු, වයස අසුවක අයකු බවත් දැන් තමාගේ ශරීරය දිරාගිය කරත්තයක් හා සමාන බවත්, සුළු අලුත්වැඩියාවන්ගෙන් ඒ කරත්තය ප්‍රයෝජනයට ගන්නාක් මෙන් තම ශරීර ද පවත්නා බවත්, “ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට පැවසූ බව වැඩි දුරටත් විස්තර වෙයි.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ තථ්‍ය වූ අවබෝධයක් ලබා ගැනීමට මහෝපකාරී වන සංසිද්ධියක් අංගුත්තර නිකායෙහි එයි.ඒ ද්‍රෝණ නමැති බමුණා සහ බුදුරදුන් අතර ඇතිවන සංවාද යයි. එහි දී උන්වහන්සේ තමන් හඳුන්වා දෙන්නේ මනුෂ්‍යත්වය ඉක්ම වූ මනුෂ්‍යයකු ලෙසිනි. තමාගේ ඤාණ සම්භාරය අනුව “ බුද්ධ “ නමින් හැඳින්වීමේ වරදක් නැතැයි ද උන්වහන්සේ එහි දි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

බුද්ධ චරිතය හා සම්බන්ධ තත්කාලීන පුද්ගලයන් හා ස්ථාන, ඓතිහාසික වශයෙන් සත්‍ය බව පුරා විද්‍යාඥයන් විසින් මේ වන විට තහවුරු කර තිබේ. උන්වහන්සේ පරිහරණය කළ බොහෝ ස්ථාන හඳුනාගෙන සංරක්‍ෂණය ද කර තිබේ.

බුදුරදුන් දිගුකලක් වැඩහුන් “ ගඳකිළිය “ (ගන්ධ කුටිය) අදත් අපට දැකගත හැකිය. ඊට යොදා ඇත්තේ සාමාන්‍ය නිවසක යොදන අන්දමේ අඩි 3 1/2 ය6.2 ප්‍රමාණයේ ගල් උළුවස්සකි. උන්වහන්සේ සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයකින් හෙබි මනුෂ්‍යයකු බව ඒත්තු ගැනීමට ඊට වඩා හොඳ ශාක්‍ෂියක් නොමැත.

භක්තිය යනු එකකි. භක්ත්‍යෝන්මාදය යනු අනෙකකි. බුදුරජාණන් වහන්සේගේ රූපකායය එකකි. ගුණ කාය එකකි. රූපකාය සාමාන්‍ය වුණත් ගුණකාය අසීමිතය. රූපකාය තුළින් ගුණකාය ඉස්මතු කිරීමට පහසු ක්‍රමය ප්‍රමාණයෙන් දැවැන්ත ප්‍රතිමා නිර්මාණය කිරීම ලෙස සිතන්නට ඇත. එය හින්දු සමයේ ආභාසයකි. විවිධ දෙවි දේවාතාවුන්ගේ ශක්තීන් නිරූපණය කිරීමට ඉදි කළ විකාර රූපී දේව ප්‍රතිමා හින්දු සංස්කෘතිය තුළ සුලබය. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකාග්‍ර වූ පුද්ගලයා බව පෙන්වීමට දැරූ වෑයම ද ප්‍රකාශ වූයේ දැවැන්ත ප්‍රතිමා නිර්මාණය කිරීමෙනි. මෙහිදී මහායානිකයන්ගේ ලෝකෝත්තරවාදි ඉගැන්වීම් ද බලපෑ බව සිතන්නට පිළිවන.

වසර 2554 ක අවිච්ජින්න බෞද්ධ උරුමයක් ඇති අප, තවමත් මුල් තැන දෙමින් සිටින්නේ බුදු දහමට මනාව බුදු සිරිත ටය. ප්‍රතිපත්ති පූජාවට නොව ආමිස පූජාවටය. අප බොහෝ දෙනකු කරන්නේ බුදුරදුන් ආරම්භ කළ තැන නතර වී සිටිමින් බුදුගුණ වැයීමය. එහෙත් කළ යුත්තේ බුදුරදුන් අවසාන කළ තැනට යාමට මග හෙළිකර ගැනීමය. ඊට බාධක වී ඇත්තෙ බුදුරදුන් පිළිබඳව භක්ත්‍යෝන්මාදීව අතිමානුෂික දෘෂ්ටියකින් වැඳුම් පිදුම් කිරීමට පෙළැඹී සිටීමයි. සැබැ අනුගාමිකයා කළ යුත්තේ බුදු සිරිත වනමින් තමන් බෞද්ධයකුයැයි කීම නොව, බුදු දහම ප්‍රායෝගිකව අනුගමනය කරමින් සැබෑ අනුගාමිකයකු බව ඔප්පු කිරීමයි. අපගේ අවධානය යොමුවිය යුත්තේ බුදුරදුන්ගේ රූප කාය කෙරෙහි නොවේ. එය උන්වහන්සේ විසින් ම නිග්‍රහයට ලක් කළ දෙයක් බව වක්කලී තෙරුන් පිළිබඳ කථා පුවතින් පෙනේ.

බුදුරජාණන් වහන්සේ රූපකායෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකි. එහෙත් ධර්මකායෙන් අසම සම වූ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.අපගේ අවධානය යොමුවිය යුත්තේ ඒ ධර්ම කාය වෙතටය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.