Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නැණ නුවණින් පිරි ජීවිතයකට

බුදුරජාණන් වහන්සේ ආලවක යක්‍ෂයාගේ භවනවෙත වැඩම කරනවා උන්වහන්සේ වැඩම කළ බව ආරංචිය ලද ආලවක යක්‍ෂයා තව තවත් කෝපයට පත්වෙමින් ඉතාමත් ඉක්මනින් තමන්ගේ භවනට පැමිණෙනවා. ඔහුට දුරදීම පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බිරින්දෑවරුන් සමග සාකච්ඡාවක නියැළී සිටින ආකාරයයි. එය දැක්මෙන් තවදුරටත් කෝපයට පත් වූ ආලවක යක්‍ෂයා බුදුරජාණන් වහන්සේ එම ස්ථානයෙන් පලවා හරින්න.

වේගවත් බවකින් යුක්තව ද්වේෂයෙන් පිරුණු සිතින් ශ්‍රමණය! වහාම නික්මෙව! යනුවෙන් බුදුරජාණන් වහන්සේට අණ කරනවා. ද්වේෂයෙන් පිරුණු ඒ තැනැත්තාගේ හැසිරීම ඔහුගේ මානසිකත්වය ඉතාමත් මැනවින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වටහාගෙන තිබූ බැවින් ඊට යම් අනුගතවීමක් පෙන්වමින් කීකරු බවක් පෙන්වමින් හොඳයි ඇවැත්නි! මම නික්ම යන්නම් “ යනුවෙන් පවසමින් උන්වහන්සේ හිටපු ස්ථානයෙන් නික්ම ගියා මේ ආකාරයට කිහිප අවස්ථාවක්ම බුදුරජාණන් වහන්සේට අණ කරමින් භවනයට ඇතුළුවන ලෙස භවනයෙන් නික්මෙන ලෙස ආලවක යක්‍ෂයා බුදුරජාණන් වහන්සේ මෙහෙයවීමට උත්සාහ කළා. එම කෝපය සමනයකට පත්වන තුරු ඔහුවෙත කීකරු බවක් යම් අනුගත බවක් දක්වනු ලැබුවා.

මේ සිද්ධි දෙස බලන විට අපට මේ ලෝකයේ බොහෝ පිරිස් සමග ගනුදෙනු කරද්දී ඉතාමත් ප්‍රබල ආදර්ශයක් සපයනවා. ඒ මන්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ කවර ආකාරයෙන්ද ප්‍රවේශම් වන්නේ ද ක්ලේශයන් නිසා වියරු වැටුණු මිනිසුන් එක්ක ගණුදෙණු කරන්නෙ කොහොමද? කියන කරුණ අපට මෙහිදී පෙන්වා දෙනවා. මෙසේ හමුවූ අවස්ථාවේදී ආලවක යක්‍ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටිනවා. ඔහු ඇසූ එක ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ “ කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං

කවර ආකාරයට ගතකරන ජීවිතය ශ්‍රේෂ්ට ජීවිතයක් වන්නේ කියන එක.

මෙම ප්‍රශ්නයෙන්ම අපට පැහැදිලි වෙනවා ආලවක යක්‍ෂයා යනු සැබවින්ම ප්‍රඥාවන්තයකු බව . යමක් සිතීමට හැකියාවක් තිබෙන කෙනෙක් බව ඒ හැකියාව නිසාමයි ඔහුගේ ප්‍රඥාව නිසාමයි බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසා සිටින්නේ පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

“ප්‍රඥා ජීවිං ජීවිත මාහු සෙට්ඨං “

ජීවිත ගත කරන අය අතර ජීවත් වන අය අතර ජීවත් වීමේ ක්‍රියාවලියේ දී ප්‍රඥාවෙන් ජිවත්වීම අත්‍යාවශ්‍යයි. ඉතාම ශ්‍රේෂ්ඨ පිරිසක් බවට අප අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ ගේ දේශනාව අනුව යමින් මේ ලෝකයේ ජීවත්වීමේදි අප තුළ ප්‍රඥාවක් ඇතිකරගත යුතු වෙනවා. නුවණක් ඇති කර ගත යුතු වෙනවා. එය අපගේ ජීවිත තුළ වර්ධනය කරන්නේ ප්‍රඥාව ඇතිකර ගන්නේ බුදුරජාණන් වහන්සේ

“ලෝකේ අස්ස සඛා බුද්ධි
විනයෝ වා න විජ්ජති
වනේ අන්ධ මහේසූර
චරෙයි්‍ය බහුතෝ ජනෝ “

ලෝකයේ මනාකොට හැසිරිය හැකි වීමට තමන්ටම හෝ නුවණක් තිබිය යුතුය. එසේත් නැතිනම් ඉගෙනීම හෝ උගත්කම තිබිය යුතුය. ඒ කරුණු දෙකෙන් එකකට නැති බොහෝ ජනයෝ වනයෙහි හැසිරෙන අන්ධ මීමුන් සේ ලොව හැසිරෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වාදී තිබෙනවා. දෑසම අන්ධ වූ මීහරකුන් මහා මඩ වගුරුවල එරී ඉන්න බව. මහා කඳු මුදුන් මතින් බිමට වැටී දෑත් දෙපා අහිමි වෙනවා.ඇතැම් විට ජීවිතය පවා අහිමි වෙනවා. ඔවුන් ඉන්න තැන දන්නෙ නැහැ.ආපු තැන දන්නේ නැහැ. මේ අවාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්නට නම් ප්‍රඥාව දියුණු කළ යුතු වෙනවා.

ලෝකයේ ප්‍රසිද්ධ ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය ගත කරද්දී ඉවසීමෙන් කටයුතු කරනවා නම් තමන්ගේ ජීවිතයට ලැබෙන්නාවූ අත්දැකීම් ඔස්සේම විශාල නුවණක් තමන් තුළ ගොඩනගා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඊට අවශ්‍ය වන්නේ මනා සිහිය පිහිටුවා ගැනීමයි. අවබෝධයෙන් මනා සංයමයකින් යුක්තව සිහිය පිහිටුවාගෙන සිටීමයි. යෝනිසෝ මනසිකාරය අපට අර්ථවත් කර තිබෙන්නේ යමක උත්පත්ති ස්ථානයක සිටම ඒ පිළිබඳව මෙනෙහි කිරීමකින් යුක්තව කටයුතු කිරීම කියන කරුණයි. අප එවැනි මෙනෙහි කිරීමකින් යුක්තව සිහිනයකින් යුක්තව කටයුතු කරනවා නම් අපගේ් ජීවිත තුළ පාසල් අධ්‍යාපනයක් නොමැති වුණත් ජීවිතය පිළිබඳව ලෝකය පිළිබදව හැබෑම ප්‍රඥාවන්තයකු බවට නුවනැත්තකු බවට පත්වීමට අවකාශයක් ඔබට ලැබෙනවා යැයි විශ්වාස කල හැකිවේ. ඔබ එම ප්‍රඥාව තුළ ලෝකයේ ජීවත් වෙනවා නම් ඔබ මේ ලෝකය සමග කටයුතු කරනවා නම් අනිවාර්යෙන්ම සාර්ථක මිනිසෙක් බවට පත්වන්නට සියලු කෙළෙසුන් නිවාලු ආර්යය උත්තමයකු බවට පත්වන්නටත් ඔබට අනිවාර්යෙන්ම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසයි මා ඔබට සිහිපත් කරන්නේ තමන්ම ගොඩනගා ගන්න ස්වාධීන ප්‍රඥාවක් නුවණක් ඔබ තුළ අනිවාර්යෙන්ම තිබිය යුතු බව.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත ගාථාවේ අවධාරණය කැරෙන ප්‍රධාන කරුණ වූයේ තමන්ගේම නුවණක් , ස්වාධීනව ප්‍රඥාවක් ඔබ තුළ ගොඩනගා ගත යුතු බව, අද ලෝකයේ බොහෝ මිනිස්සු තමන් තුළ ප්‍රඥාවක් නොමැතිකම නිසා ප්‍රඥාවන්ත බවකින් යුක්තව තමන්ගේ ජීවිතයට එන ගැටලු දෙස බලන්නට නොහැකි වීම නිසා විවිධ අන්ධ විශ්වාසයන් සමග මිත්‍යා දෘෂ්ටීන් සමග තවමත් එකතු වී ඉන්නවා. මිත්‍යා දෘෂ්ටීන්හි පැටලී ජීවිතය ගත කරනවා තමන්ට එන ප්‍රශ්නවල සැබෑ ස්වරූපය දකින්නට නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එම ප්‍රශ්න දෙස කිසි කළෙකවත් නොබැලිය යුතුයි. ඔබ ප්‍රශ්නයක් දෙස බලනවා නම් අනිවාර්යෙන්ම ඒ දෙස බැලිය යුත්තේ නුවණින් යුක්තවයි. ස්වාධීන ප්‍රඥාවක් ස්වාධීන නුවණක් තමන්ම ගොඩනගාගෙන නොමැති නම් බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කරනවා උගත්කම හෝ ඔබ තුළ තිබිය යුතු බව, ඒ සමඟම ඔබට ඇතැම් දේ දෙස බලන්නට අවශ්‍ය කරන මගපෙන්වීම සිදුකරනවා. ගුරු දෙගුරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ලැබුණු දැනුම ඔබේ ජීවිතයේ පැමිණෙන්නාවූ විවිධ ගැටලු වලට පිළිතුරු සොයන්නට යන ගමනේදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් ඒ දැනුම ලබාගැනීමෙන් ඔවුන් විසින් ගොඩනගා ගත් ස්වාධීන ප්‍රඥාවෙන් නුවණින් හෝ පාරම්පරිකව ඔවුන්ට ගලාගෙන ආපු දැනුම් සම්භාරයන් පදනම් කරගනිමින් ගොඩනඟා ගත් ස්වාධීන වූ ප්‍රඥාවක් හෝ නුවණක් නොමැති නම් අවම වශයෙන් දැන උගත්කම හෝ අප තුළ ගොඩනගා ගැනීම සඳහා උත්සාහවන්ත විය යුතුය. දැන උගත්කමින් යුක්තව කටයුතු කරන විට ඔබට බොහෝ ප්‍රශ්නවලට විසදුම් සොයා ගැනීමට අවකාශයක් ලැබෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන ගැඹුරු අවධානයක් යොමු කරමින් පොත පත පරිශීලනය කරමින් ගුරුවරුන් ඇසුරු කරමින් ඔබගේ දැනුම වර්ධනය කර ගන්න.

උගත්කම තව තවත් වර්ධනය කරගන්නට රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය, පුවත්පත්, සඟරා වාරප්‍රකාශන ආදි මුද්‍රිත මාධ්‍ය එපමණකුත් නොවේ පෙරදාට වඩා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා අද අපගේ රට තුළ අසන්නට ලැබේ. එවැනි දේ තුළින් වුවත් විධිමත් අධ්‍යාපනක් නොවුණත් අවධිමත් ක්‍රමවේදයන්ගෙන් වුවත් විශාල දැන උගත්කමක් ගොඩනගා ගන්නට හැකියාව තිබෙනවා. ප්‍රඥාවන්තයන් ඇසුරු කිරීම අපගේ ජීවිත උසස් තත්ත්වයට පත්වන්නට හේතු වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.

“අසේවනාච බාලා නං
පණ්ඩිතා නංච සේවනා “

බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයන් ඇසුරු කිරීමෙන් අපගේ බුද්ධිය නුවණ තව තවත් පුළුල් කර ගැනීමට අවකාශයක් අපට ලැබෙනවා.

“සත්වාච පනිදේ කච්චේ
අංචි රම්හි සුසික්ඛිතා
බ්‍රහ්මාව පනිදේ කවිචේ
ආදා ආචේ රම්හි සුසික්ඛිතා
විනීත විනයාධීරා චරන්ති සුසුමානිකා “

උත්පත්තියෙන් පිහිටි නුවණ නැතිද ගුරුන්ගේ සමීපයෙහි නුවණ ලැබූ පුද්ගලයෝ කලබල නැතිව ලොව මනාකොට හැසිරෙති.

අපි සංසාරේ ප්‍රඥා පාරමිතාව පුරා නැතිවන්නට පුළුවන්. උපතින්ම මනා බුද්ධිමණ්ඩලයක් සහිතව මේ ලෝකයට පැමිණිලා නැතිවෙන්නට පුළුවන්. ගුරුවරුන්ගේ සමීපයෙහි හරියට ඉගෙන ගැනීමෙන් ලැබුණු නුවණත් තිබෙනවා නම් ඔවුන් කිසි කළෙකවත් කලබල වන්නේ නැහැ “ විද්‍යා දදාති විනයං “ එම විනය නිසාම සංයමයකින් යුක්තව මේ ලෝකයෙහි පුද්ගලයන් මනාකොට හැසිරෙන බව උන්වහන්සේ අවධාරණය කරනවා.

ඔබටත් මේ ජීවිතය අත්විදින්නට පුළුවන්. ඔබ පළමුව කළ යුත්තේ මටත් එය කළහැකිය යන හැඟීම ඕනෑකම ඔබ තුළ ඇති කර ගැනීමයි. උත්සාහ නැති ඇත්තන්ට කවර කලෙකවත් එතනට පැමිණීමට ලැබෙන්නේ නැහැ . ඔබ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන්ට සිතනවා නම් ඒ සඳහා නැණවත්කම ප්‍රඥාවන්ත බව ඉතාම වැදගත්ම බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තම දහම තුළ අපට අවධාරණය කර තිබෙනවා. ඔබගේ ජීවිතය නැණ නුවණින් පිරි එකක් බවට පත්කරගන්නට කියලා මා ඔබට මෙත් සිතින් යුක්තව මෙහිදී සිහිපත් කර සිටිනවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.