Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාගපේත කථා වත්ථුව

පේත වත්ථු කථා මාලාව 10

නිරයෙහි දොර නිතර ඇරී පවත්නේ ය. එහෙයින් පැමිණි කාරණය පලගන්වනු වස් සියල්ලෝ කතිකා කොට උදය පිඬු සිඟායන වේලාවත් සවස උපස්ථාන වේලාවත් හැර වෙන් වෙන්ම කුටිතුළම දිවාරෑ නොපමාව කමටහන්හි යෙදමුයි නියම කරගත්හ. යමකුට අපහසුවක් වී නම් පමණක් ගෙඩිය ගසා රැස්ව ඔහුට උවටැන් කළ යුතු යැයි ද තීරණය කර ගත්හ.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයක එක්තරා බ්‍රාහ්මණ පේතයන් දෙදෙනෙකු අරබයා මෙම කථා වස්තුව අර්ථෝත්පත්ති කොට දේශනාකළ සේක. සංකිච්ච සාමණේරයන් වහන්සේ අපගේ සාසනයේ සත්හැවිරිදි වියේදීම සිවුපිළිසිඹියා පත් රහතන් වහන්සේ කීපදෙනා අතරින් එක් රහතන් වහන්සේ නමක් විය. සංකිච්ච හෙරණ (සාමණේර ) වහන්සේ ධර්ම සේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගේ ගෝල නමෙකි. සැවැත්නුවර පොහොසත් ප්‍රභූ® පවුලක උපන් සංකිච්ච හිමිගේ මවු මේ හිමියෝ කුස තුළ සිටිය දීම තරුණ වියේ හදිසි රෝගයකින් මළා ය. ගින්නෙන් දවාලූ මේ මළ මිනියෙහි ගර්භය පිහිටි කොටස් නොදැල්වුණු හෙයින් මිනිසුන් හුල්වලින් ඇන එය වෙන් කොට දරදමා ගිනි තබා ගෙවල්වලට පිටත්ව ගියහ. පසුදා උදේ නෑයෝ සෑය නිවන්නට එහි යන්නේ රන් පිළිමයක් වැනි දරු තෙමේ අඟුරු උඩ පියුමක් සේ හුන්නේ ය. එහෙත් පෙර දින ගැබ්මසට මිනිසුන් හුල් වලින් අනිද්දී හුල් පහරක් මේ දරුවාගේ ඇස කොනක වැදී තිබුණි. එනිසාම මේ කුමරා සඞකිච්ච නම් වූහ.

දරුවා ගෙන ගිය නෑයෝ නිමිතිකරුවන්ට දැක් වූ හ. මේ දරුවා ගෙදර සිටියේ නම් හත්මුතු පරපුරක නෑයෝ හිඟනුන් වන්නෝ ය. පැවිදි වන්නේ නම් පන්සියයක් පිරිවර භික්‍ෂූන් සමඟ තැනින් තැන ඇවිදයන්නේ යැයි නිමිති ඇසූහ. කෙසේ වෙතත් තම ඥාති දරුවා ඉවතලිය නොහැක්කේ තේරුම් ඇති දවස තෙක් වත් අපි හදන්නෙමු යැයි ඔවුහු කතිකාකොට ගත්හ. මෙසේ දරුවා වැඩෙද්දී වැඩහිටි යහළුවෝ සෙල්ලම් පිටියේ දී තමා කුස තුළ සිටියදී තම මෑණියන් මිය ගිය බවත් මළ සිරුර දවාලීමේදී එහි සිටි ඔබ නොදැවී ඉතිරි වුණා යැයි යන බස් අසා සංවේගයට පත්ව මහත් බියකින් බේරී ඇති මා ගෘහයෙහි වාසය නුසුදුසු බවත් මහණවීම සුදුසු බවත් සිතා ඥාතීන්ට ඒ බව දැනවිය. ඥාතීහු ද මෙය අසා මහත්සේ සතුටු වී තමන් ළඟින්ම ඇසුරු කරන ශාරිපුත්‍ර තෙරුන් වහන්සේට පැවිදි කිරීම පිණිස දරුවා බාර දුන්හ. මහසෙනවි සැරියුත් තෙරුන් වහන්සේ කෙස් , ලොම්, නිය, දත් , සම් ආදි කොට ඇති තචපඤචක කර්ම ස්ථානය කියවා හිස බාමින් සිටිද්දීම සත්හැවිරිදි දරුවා සිවුපිළිසිඹියා පත් රහත්බව ලැබීය.

“රහත්ඵල ලාභීව උපත ලබන පශ්චිමභවික සත්ත්ව තෙමේ මහමෙර පෙරළී මිරිකුණේ ද වී නමුත් නොමියන්නේය “ යනු කම්ම නියාමයකි”

බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා වනයට පිටත්ව යන තිස්නමක් වහන්සේ අවසර ගැනීමට පැමිණි සිටියදී ඔබලා වැඩිමහල් සහෝදර වූ ශාරිපුත්‍ර තෙරුන් හමුව යන ලෙසට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වනයට යන මොවුන්හට සොරබිය පැමිණ මහණකම සපුරාලන්නට නොහැකි බව දැක සංකිච්ච තෙරුන් සමඟින් පිටත්ව යෑමට මග සලසන ලෙසින් මෙසේ කළසේක. සැරියුත් හිමි මේ තෙරුන් වහන්සේ දැක, ඔබ වහන්සේ මෙහි ආවේ කිමැ ‘ යි ඇසූහ. වනයට පිටත්ව යන අපි භාග්‍යවතුන් වහන්සේ අවසර ගනිද්දී ඔබ වහන්සේ ද මුණගැසී කථා කොට යන්නයැයි අපට අනුශාසනා කළෙහි ය. එහෙයින් අපි මුණ ගැසී වැඳපුදා යන්නට ආවෙමු ‘ යැයි භික්‍ෂූන් වහන්සේලා දැන්වූහ.

අපගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂූන් නිකමට මෙහි නොඑවන බව සිතූ සැරියුත් මහ රහතන් වහන්සේ කාරණය දැක ඔබලාට සාමණේර නමක් සිටින්නේ දැයි ඇසූහ. නැතැයි පිළිතුරු දුන්හ. එසේ නම් මේ කුඩා සංකිච්චයන් කැඳවාගෙන යන්න යැයි කීහ. ස්වාමිනි, අපට හෙරණකුගෙන් වැඩක් නොවන්නේ ය. වනයෙහි විසීමට යන අපට එය කරදරයක් වන්නේ යැයි කියමින් වුවමනාවක් නැතැයි කීහ. ඇවැත්නි, එසේ නොකියන්න. අන් තෙරුණුන් මෙන් නොව මේ හෙරණගෙන් ඔබට කවදාමුත් කරදරයක් නොවේ. සමහර විට ඔබ වහන්සේලාගෙන් ඒ නමට කරදරයක් විය හැකිය. තවද මා පිය බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නිකමට මා ළඟට එව්වා නොවේ. ඔබ සමඟ හෙරණකු පිටත්කර යවනු ඇතැයි දැන මෙහි එවූහ. ඒනිසා මේ කුඩා නම කැටුව යව ‘යි ස්ථිවිරයන් වහන්සේ කියා සිටියහ. පෙරැත්තය මත එය “ යහපතයි “ පිළිගෙන හෙරණුන් ද සමඟින් වෙහෙරින් පිටත්ව එකසිය විසි යොදුන් මගක් ගෙවූහ. ගෙවල් දහසක් පමණ ඇති ගමකට වන් භික්‍ෂූන් වහන්සේ ගම්වාසීන්ගේ ආරාධනයෙන් ඔවුන්ගේ උපස්ථාන මත ගම් කෙළවර සාදවා දුන් කුටි තුළ ආරණ්‍ය වාසීව කල් ගෙවූහ.

නිරයෙහි දොර නිතර ඇරී පවත්නේ ය. එහෙයින් පැමිණි කාරණය පලගන්වනු වස් සියල්ලෝ කතිකා කොට උදය පිඬු සිඟායන වේලාවත් සවස උපස්ථාන වේලාවත් හැර වෙන් වෙන්ම කුටිතුළම දිවාරෑ නොපමාව කමටහන්හි යෙදමුයි නියම කරගත්හ. යමකුට අපහසුවක් වී නම් පමණක් ගෙඩිය ගසා රැස්ව ඔහුට උවටැන් කළ යුතු යැයි ද තීරණය කර ගත්හ.

එක්තරා දුප්පත් මිනිසෙක් එක් දුවකුගෙන් උපස්ථාන ලබා එහි කන්නට යමක් නොවූවිට අනෙක් දුව වෙත යන්නේ මගට බටහ. පළමු කී භික්‍ෂූන් වහන්සේලා ද පිණ්ඩපාතයට වැඩ ආපසු එන්නේ අතරමග ගඟකින් ස්නානය කොට වේලාව ආසන්න බැවින් එහිම වැඩ සිට පිණ්ඩපාතය වළදන්නට සූදානම් වන්නේ අර මගටවන් දුප්පත් මිනිසා ද උන්වහන්සේ ළඟට පැමිණ පසෙකට වී සිටියේ ය. ඔහුගේ සියලු තොරතුරු අසා භික්‍ෂූන් වහන්සේ තම පාත්‍රයෙන් මිට මිට දමා බත්පතක් සාදා ඔහුවද සප්පායම් කළහ. ඔහු බත් කා තෙරුන් වහන්සේ වැඳ ස්වාමීනි, සැමදා මෙසේ රසට දන් ලැබේ දැයි අසා එයට ලොල්ව ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් අවසර ඇතිව උපස්ථාන කරමින් උන්වහන්සේ සමඟම විසූහ. ස්වාමීන් වහන්සේලාගේ සිත්ගත් ඔහු ඇසුවොත් යන්නට නොලැබෙතැ යි සිතා දෙමසක් පමණ ගිය තැන දුව බැලීමට සිත්වී නොකියාම වෙහෙරින් පිටත්ව මඟට බැස්සේය.

මහවනයක් පසුකර යාමට ඇති ඔහුට එහිදී සොරමුලක් මුණ ගැසුණේය. සොරුන් වුවද ඔවුහු ද දෙවියන් පුදති. ඒ තමන්ගේ සොරකම් සාර්ථක කරගැනීමට ය. දෙවියන්ට පඬුරක් ගැට ගැසූ ඔවුන් මේ වනයට පළමු පිවිසෙන යමෙක් වේ ද ඌ මරා මසින් හා ලෙයින් පිදේනි දෙන්නමු වශයෙන් භාරයක් ද විය. සත්වෙනි දින අවසන් කොට තිබුණු මෙම පොරොන්දුවට පළමු කී මගට වන් මේ උපාසක තැන ගොදුරු විය. ඔහු අල්ලාගත් සොරමුල ගසක බැඳ යකඩ හුල්ගෙන ගිනි දල්වා රත් කරන්නට වන්හ. ඒ කුමකටදැ යි විමසන්නේ හුල් වලින් ඇන තෝ මරා මස් හා ලේ ගෙන දෙවියන් පුදන්නට යයි කීහ. බියට පත් ඔහු පින්වත්නි, මම හිඟන්නෙක්මි. අනුන්ගේ ඉදුල් කා ජීවත්වන කාළකන්නියකු ගේ මසින් හා ලෙයින් දෙවියන් සතුටු නොවේ. මගේ මස් ලේ අපිරිසුදු ය. මේ අසල රජකුල – ක්‍ෂත්‍රිය කුල වංශික, පිරිසක් පැවිදිව සිටිති. ඔවුන්ගේ ලේ පිරිසුදු ය කියා සොරමුල පෙරටු කොට ස්වාමීන් වහන්සේ වසන තැනට මේ දුර්ජනයා පැමිණියේය.

“දුර්ජන ලෝකයේ කළ ගුණ නොසලකන, අසත්පුරුෂයෝ දැනුත් සිටිති” එහෙත්, එහි කිසිවකු නොදුටු සොර නායකයා කෝ බොල උන්නාසේලා ? යි උපාසක, ගෙන් ඇසූහ. ඒ අනුව ගෙඩිය ගසා තිස්එක්නම රැස් වූ විට, ප්‍රධාන තෙරුන් වන්සේ ගෙඩිය ගැසුයේ කවුරුන්දැයි ඇසූහ.

ඛුද්දක නිකාය පේත වත්ථු පාලි ගාථා ඇසුරෙනි

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.