Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාහිත්‍ය නිර්මාණ හා චරිත නිරූපණය

චරිත වර්ගීකරණයට ලක් කළහොත් එය විචිත්‍ර එකක් වනු ඇත. අද සාහිත්‍ය නිර්මාණයේදී මිනිසා ගැන කියන්නට සමාජ පරිසරයේ උපරිමාන්තයේ සිට අවමාන්තය තෙක් කවර තරාතිරමක චරිතයක් වුව තෝරා ගැනීමේ බාධාවක් නැත. සැබවින්ම පුද්ගලාභිවාදනය අරබයා සාහිත්‍ය නිර්මාණය යොදා නොගත් කවර විටකවත් එකී බාධාව ඉස්මතුවී නැත. එබැවින් දෙවියකු, යකකු, යකින්නක, මේකුළක් , හිඟන්නකු, හොරකු, පර්වතයක්, භූතයකු, කැරපොත්තකු, හොල්මනක් හී වෙනත් ඕනෑම සංකල්පයක් සංකේතයක් ලෙස යොදාගෙන චරිත නිරූපණය මඟින් සාහිත්‍ය නිර්මාණයක යෙදීමේ කිසිදු බාධාවක් ඇති නොවේ.

සාහිත්‍ය නිර්මාණය භාෂාව වහල්කොට පවතින්නකි. එබැවින් භාෂාත්මක ප්‍රයෝගයෙන් තොරව සාහිත්‍ය නිර්මාණයක් සිදුවිය නොහැකිය. “වාක්‍යං රසාත්මකං කාව්‍යං “ හෙවත් “ රසය ආත්මය කොට ගත් වැකිය කාව්‍යය යි” අර්ථකථනය කර ඇත්තේ එබැවින් විය හැකි ය. සාහිත්‍යකරුවා රසය ආත්මය බවට පත් කරමින් නිර්මාණයක් කරන්නේ කුමක් සඳහා ද? එනම් පාඨකයාට විඳ ගැනීම සඳහාය. පාඨකයාට විඳ ගන්නට අර්ථවත් යමක් නොමැති නිර්මාණයකින් වැඩක් වෙති යි සිතිය නොහැකි ය. ඇත්තටම ඔහු විඳිය යුත්තේ අවබෝධය යි, සත්‍යය යි, යථාර්ථය යි.

මේ අවබෝධය, සත්‍යය හෝ යථාර්ථය කවරක් සමග බැඳී පවතින්නක් ද? එය පාඨකයා හෙවත් සහෘදයා හෙවත් කෙටියෙන් කියතොත් මනුෂ්‍යත්වය සමග බැඳී පවති යි කීමේ වරදක් නොහැඟේ. එබැවින් සාහිත්‍ය නිර්මාණය සැහැල්ලු කාරියක් නොවේ. මනුෂ්‍යයා අසත් භාවයෙන් සත් භාවයටත් , අන්ධකාරයෙන් ආලෝකයටත්, මරණයෙන් අමරණයට හෙවත් විමුක්තියටත් ගෙන යන්නකි. එහෙත් මේ විවරණයේදී අප එකක් මතක තබා ගත යුතුය. එනම්, මෙහි සඳහන් සත් භාවය, අලෝකය හෝ අමරණය හෙවත් විමුක්තිය, දිව්‍යමය නැතහොත් පාරභෞතිකත්වයක් නොවන බවයි. එසේ කිය යුත්තේ මනුෂ්‍යත්වයේ ප්‍රායෝගිකත්වය, ලෞකිකත්වය සමඟ බැඳී පවතින්නක් හෙයිනි. සාහිත්‍ය රසාස්වාදයෙන් තුළ ආනන්දයෙන් ප්‍රඥාව වෙත ළඟා විය හැකි වන්නේ එවිටයි. මේ ගැන සාහිත්‍ය ඉතිහාසය පුරා විචාරකයන් විචිත්‍රාකාරයෙන් සිය විවරණ ඉදිරිපත් කර ඇත. සාහිත්‍යය පිළිබඳ ඓතිහාසික සංවාදය තුළ මෙය දකින්නට ලැබෙති යි සිතේ.

සාහිත්‍යකරණයේදී නිර්මාණකරුවාගේ විශිෂ්ටතම මෙවලම වන්නේ විවිධාකාර චරිතයි. සාහිත්‍යකරුවා සිය අරමුණ සාක්ෂාත් කර ගන්නට චක්‍රායුධයක් හෙවත් කවර අතින් වැදුණත් කැපෙන අවියක් ලෙස යොදා ගන්නේ මේ චරිතයි. ඇතැම් විට නිර්මාණකරුවා රජු බලු කරයි. බලු රජ කරයි. දෙවඟන වෙසඟන කරයි. වෙසඟන දෙවඟන කරයි. සොරදෙටුවා රජදෙටුවකු කරයි. ගොපල්ලා සිටුවරයකු කරයි. සිටුවරයා හිඟන්නකු කරයි. පැවිද්දා සල්ලාලයකු කරයි. සුරාසොඬු මහ රහතකු කරයි. මෙලෙසින් නිර්මාණකරුවාට පෑහැකි පෙළහර අසීමිතය. ඔහු එසේ කරන්නේ කිසිවකුටය අසාධාරණයක් කිරීමේ හැඟීමෙන් නොවේ. හුදෙක් මනුෂ්‍යත්වයේ කුසල පාක්ෂිකවූත්, අකුසල පාක්ෂිකවුත් ගති ලක්ෂණ විවරණය කර දැක්වීමේ උදාර හැඟීමෙනි. එනම් ඔහු කරන්නේ මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨ්‍යත්වය සහ අධමත්වය අතර දෝලනය වන අනුපාතය නිරූපණය කිරීමයි. මේ අතින් ආකර්ෂණීය චරිතයක් බෞද්ධ සාහිත්‍යයෙන් අපට ලද හැකිය. එනම්, බෝධිසත්ත්ව චරිතයයි. එය රූකඩ හෝ පැතලි චරිතයක් නොවේ.බෝධිසත්ත්වයාගේ කාර්ය බුදුවීමට පෙරුම් පිරීමයි. එනම් දස පෙරුම් පිරීමයි. ලෞකිකත්වය මනුෂ්‍යත්වය කායික, වාචසික හා මානසික වශයෙන් සක්‍රීය භාවයට පත් කොට උදාරත්වය කුළු ගැන්විය හැකි ආකාරය පාරමිතා මගින් අපට එළිදක්වනු දැනේ. මේ කාරිය කරන්නට නිර්මාණකරුවාට සිය ප්‍රතිභාව විසින් හික්මවන ලද විනයක් අවශ්‍යය. එයින් තොරවූ විට සිදු වන්නේ පාඨකයා අතරමං කිරීමකි.

සාහිත්‍යය යනු භාෂාත්මක ප්‍රකාශනයකි. භාෂාත්මක ප්‍රකාශන පද්ධති, භාෂාත්මක ලේඛන පද්ධති වලට වඩා බෙහෙවින් පැරැණිය. ගණනය කිරිම හෝ හඳුනා ගැනීම සඳහා යොදා ගැනුණු සංකේත අන්තර්ගත සීමිත ලේඛන පද්ධතිය වසර 30,000 ක් ඈතට ආපස්සට යෙත්. එහෙත් පරිසමාප්ත ලේඛන පද්ධතීන්ගේ පරිණාමය සිදුවී ඇත්තේ ගෙවී ගිය වසර 5,000 ක් පමණ කාල වකවානුව අතරතුරදීය.

එබැවින් භාෂාත්මක ප්‍රකාශන පද්ධතිවල ඉතිහාසය කොතරම් ඈතට දිවෙන්නක් ද යනු සිතා ගැනීම අපහසු නොවේ. සැබවින්ම භාෂාත්මක ප්‍රකාශන පද්ධති බිහිවී ඇත්තේ යටකී ගණනය කිරීම් හෝ හඳුනා ගැනීම් සඳහාය. මේ හඳුනා ගැනීම් අතර මුල් තැනක් ගන්නේ පරිසරය සහ සොබාදහම හඳුනා ගැනීමයි.

මෙකී හඳුනා ගැනීමේදි ගණනය කිරීමද ඒ එක්කම සිදුවු බව පැහැදිලිය. සැබැවින්ම මේ ගණනය කිරිම හෝ හඳුනා ගැනීම ජීවන සටනට මුහුණ දීමක් හෙවත් ජීවත් වීමම වූ බව පෙනේ.

පරිසරය සහ සොබාදහම හඳුනා ගැනීමේදී මිනිසාට තමාගේ යහපත සහ අයහපත පිණිස ක්‍රියාත්මක වන ශක්ති හෙවත් බලවේග පිළිබඳ සංකල්පය හඳුනා ගන්නට ලැබිණ.

මෙයින් ඔහුගේ සිත වඩාත් සසල වූයේ ඔහුට මරණීය තර්ජන එල්ල කරන බලවේග වලිනි. අහස ගිගුරුවේය. හෙණ පිපිරුවේය. හෙණ වැදුණු තමන්ගේ එකෙක් මැරී වැටුණේය. ඇතැමෙක් සිය හරුබස්ස සමඟ ජලෝඝයට ගසා ගෙන ගොස් මළෝය. උන් හිටි ගමන් ළැව් ගින්න ඔවුන් ද සමඟ සියලු සම්පත් දවා අළු කළේය. සමස්ත පරිසරය මේ දුක්ඛ දෝමනස්සයනගෙන් පිරී තිබිණ.

ජලය ඔහුගේ පරිසරය සරු කළේය. ඔහුගේ පවස සන්සිඳුවීය. ගින්න ඔහුගේ සීතල පලවා හැර ඔහු උණුසුම් කළේය. නිවහන ඉදිරිපිට දල්වන ලද ගින්න සතුරු, සතා සරුපයන් පලවා හැරියේය. හිරු දිවාකල ආලෝකය සැපයීය.අස්වනු පැසවා දුන්නේය. සඳපාන ඔහුගේ පෙම් හැඟුම් පුබුදු කළේය. එය තවත් අපමණ මිනිස් පරපුරක් මිහිමත පතිත වන්නට මඟ පෑදිය. මේ කවර නම් අසිරියක්ද සමස්ත පරිසරය මෙවන් සුඛ සෝමනස්සයන්ගෙන් ද පිරී තිබිණ.

මේ සියලු දේ සිදුවූයේ විශ්වයේ පෘථිවි, අන්තරීක්ෂ සහ දිව්‍ය නම් ලත් අසීම වසමේය. තේරුම් ගැනීමට වඩාත්ම අමාරු වූයේ දිව්‍ය වසමේ හෙවත් අනන්තාවකාශයේ සිදුවුණු දේය. ඒවා දිව්‍ය වසමේ වසන්නවුන් හෙවත් දිව්‍යයන් විසින් කරනු ලබන දෑ ලෙස තේරුම් ගැනිණ. ද්‍යුහි දිව්‍ය ආදියේ අදහස අහස යනුයි. ද්‍යුහි වසන්නෝ දිව්‍යයෝය. එනම් දෙවියෝය. ආදීතම සාහිත්‍ය නිර්මාණවල චරිත වූවෝ දෙවියෝය. මෙසේ දේවත්වයට නැඟුණේ සොබාදහම් මිස අන් කවරෙක්ද? දෙවියන් ඊශ්වර හෙවත් අධිපතිකොට ගත් ආගම බිහි වූයේ මේ ආකාරයෙනි.

ඍග්වේදය , මහා භාරතය, බයිබලය, හා ත්‍රිපිටකය වැනි යෝධ සාහිත්‍ය නිර්මාණ වලින් මේ බව මැනවින් පැහැදිලි වෙයි. පෙරදිග හා අපරදිග ඉපරැණි සංස්කෘත හා ගී‍්‍රක සාහිත්‍යය මෙයට කදිම උදාහරණ ඉදිරිපත් කරයි.මෙවන් තොරතුරු වලින් සාහිත්‍ය නිර්මාණයේදී චරිත නිරූපණය සඳහා දෙවියන් තේරා ගත් හැටියේ තේරුම් ගැනීම අපහසු නොවේ. හිමාල පර්වතය හා ඉහළ අහසේ බ්‍රහ්ම, විෂ්ණු, ශිව ආදින් ප්‍රමුඛ තිස් තුන්කෝටියක් දෙවි දේවතාවෝ වූහ. ගී‍්‍රසියේ ඔලිම්පස් කඳු මුදුනේ බොහෝ දෙවිවරු විසූහ. එදා ඔවුන් එහි සිට ඔලිම්පික් ක්‍රීඩා නරඹන්නට ඇත. ඕනෑම සාහිත්‍යයක මෙවන් දෙවිවරු අපට හමු වෙති.

ඉතිහාසයේ එක් යුගයක පාලකයෝ තමන් ජනතාව පාලනය කිරීමට දෙවියන් විසින් එවන ලද්දන් ලෙස හඳුන්වා ගත්හ. ඒ අනුව රජුගේ සිට විවිධ තරාතිරම් ජන නායකයෝ , සාහිත්‍ය නිර්මාණයේදී චරිත ලෙස තෝරා ගනු ලැබූහ. එකල්හි සාහිත්‍ය නිර්මාණයේදී කථා නායකයන් ධීරෝධාන්ත පුද්ගලයන් විය යුතු බවට නීති ද සම්මත කර තිබිණ.

ඇතැම් උසස් නිර්මාණවල චරිත වන්නාහු සත්තුය. පඤ්චතන්ත්‍රය , හීතෝපදේශය වැනි කෘතිවලද නිර්මාණකරණය සඳහා චරිත තෝරා ගත් අයුරු පැහැදිලිය. මේ අතින් ඊසොප්ගේ කතාත්, ජාතක කතාත් කොතරම් වැදගත් ද යනු අපට සිතා ගත හැකිය. අචේතනික වස්තු වලට පුද්ගලත්වාරෝපණය කොට චරිත නිරූපණය සඳහා යොදා ගත් ආකාරය සිත් අදනා සුළුය. මේ අනුව ගස්, වැල්, ගංගා, පර්වත, මුහුදු, සුළං මේඝකූට ආදි වස්තු යොදා ගත් අයුරු විමසනු යෙහෙකි.

චරිත වර්ගීකරණයට ලක් කළහොත් එය විචිත්‍ර එකක් වනු ඇත. අද සාහිත්‍ය නිර්මාණයේදී මිනිසා ගැන කියන්නට සමාජ පරිසරයේ උපරිමාන්තයේ සිට අවමාන්තය තෙක් කවර තරාතිරමක චරිතයක් වුව තෝරා ගැනීමේ බාධාවක් නැත. සැබවින්ම පුද්ගලාභිවාදනය අරබයා සාහිත්‍ය නිර්මාණය යොදා නොගත් කවර විටකවත් එකී බාධාව ඉස්මතුවී නැත. එබැවින් දෙවියකු, යකකු, යකින්නක, මේකුළක් , හිඟන්නකු, හොරකු, පර්වතයක්, භූතයකු, කැරපොත්තකු, හොල්මනක් හී වෙනත් ඕනෑම සංකල්පයක් සංකේතයක් ලෙස යොදාගෙන චරිත නිරූපණය මඟින් සාහිත්‍ය නිර්මාණයක යෙදීමේ කිසිදු බාධාවක් ඇති නොවේ.

චරිත නිරූපණය පිණිස කවර සංකල්පයක් යොදා ගත්තත් එමගින් සනිටුහන් කැරෙන්නේ මිනිස් ස්වභාවයේ අභ්‍යන්තරවූත්, බාහිරවූත් චර්යාවන්ගේ කුසලාකුසල ඝට්ඨනයේ අංශු මාත්‍රයක් වන බවයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.