UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 යේ සම්බුද්ධත්ව ජයන්තියට තව ඇත්තේ මාස ගණනකි. උදාවන මේ අසිරිමත් දිනය සැමරීමට අපි ලහිලහියේ සූදානම් වෙමු. පිළිවෙත් ගරුක වීමත්, බුදු දහම කුමක්දැයි දැන ගැනීමට උත්සුක වීමත් තුළින් නියමාකාරයෙන් මෙම අසිරිමත් දිනය සැමරිය හැකිය.

සිද්ධාර්ථ බෝසතුන් වහන්සේ දස මරසෙන් පරදා, බුද්ධත්වය ලැබූ බව බුදු සිරිතෙහි දැක්වේ. දස සංයෝජන ප්‍රහීණ කිරීමෙන් පිළිවෙළින් සෝවන්, සකෘදාගාමී, අනාගාමී අරහත් ඵලයෙහි පිහිටීමෙන් සසර ගමන කෙළවර කළ යුතු බවත් මේ සසර බැමි බිඳ හෙළු උත්තමයා රහතන් වහන්සේ බවත් ධර්මයෙහි පැහැදිලි කරයි.

බුදුරදුන් තමන් වහන්සේ විසින්ම තවත් අයෙකුගේ මඟ පෙන්වීමකින් තොරව ධර්මය අවබෝධ කිරීමත්, රහතන් වහන්සේ බුදුරදුන්ගේ මඟ පෙන්වීමෙන් ධර්මය අවබෝධ කිරීමත් අනුව බුදුරදුන් හා රහතන් වහන්සේ වෙනස් වන මුත් නිවන් දැකීමේ වෙනසක් නැත. දෙදෙනා වහන්සේම යළි නූපදින ලෙස සසර ගමන නවතා ලූ බැවිනි.

මේ අනුව දස මාර සේනාව සහ දස සංයෝජන ධර්ම දෙකක් නොව එකකි. මාර බන්ධනයට හසුවී දස, සංයෝජනවලට යට වී පෘතග්ජන බව තුළ ඉපදී කළක් ජීවත් වී මරණයට පත්වීම සසර ජීවත්වන සෑම සත්ත්වයෙකුගේම පොදු ස්වභාවය නම් මාර පරාජය යනු දස සංයෝජන බිඳ හෙළීමම බව දැන් ඔබට වැටහිය යුතුය.

බුදුවරයෙකු ලොව පහළ වන්නේ කලාතුරකිනි. ඒ කල්ප ගණනකට වතාවකි. එක් බුදුවරයෙකුගේ ශාසනයක් පවතිද්දී තවත් බුදුවරයෙකු තබා පසේ බුදුවරයෙකුද පහළ නොවේ. එහෙත් පිළිවෙත් ගරුක භික්‍ෂූන් සිටිනා තාක් රහතන් වහන්සේලාගෙන් හිස් නොවන බව බුද්ධ නියමයයි. බුදුරදුන් ජීවමාන කාලයේ හෝ බුදු සසුනක් පවතිද්දී මිනිසකුව ඉපදීමට ලැබීමත්, නිර්මල බුද්ධ ධර්මය අසන්නට ලැබීමත් එම ධර්මය නුවණින් විමසා තේරුම් ගැනීමත් තුළින් කලාතුරකින් ලැබිය හැකි ඒ අමා නිවන් සුව ලබා ගත හැකි විය.

මේ ලිපිය ඒ සඳහා ඔබට යොමු කිරීම පිණිස කරුණාවෙන් කෙරෙන මඟ පෙන්වීමකි.

‘සක්කාය දිට්ඨිය ‘ නිවන් මඟ වසාලන බලවත් ම සංයෝජනයයි. ඔබට ඔබේ සන්තානයෙන් මෙම සංයෝජනය බිඳ දැමිය හැකි වුවහොත් නිවන සඳහා ඔබ විසින් කරන ලද කටයුතු වඩාත් වේගවත් වනු ඇත.

මේ කරුණුවලට ඔබට එකඟ විය හැකිදැයි සිතා බලන්න.

මේ ලිපිය කියවන ඔබ, ලියන මා ඇතුළු ඕනෑම පුද්ගලයෙක් නින්දෙන් අවදි වූ තැන් පටන් දවල් දවසේ සෑම කටයුත්තක් ම සිදු කරන්නේත් නැවත නින්දට යන්නේත් මම යනුවෙනි. මා දැන් අවදිවන්න ඕනෑ. මට දැන් බඩගිනියි. මට කන්න ඕනෑ. දැන් ඩහදියයි. මට නාගන්න ඕනෑ යනුවෙන් එකින් එක කටයුතු තමන් විසින් සිත සිතා දවස ක්‍රියාත්මක කරනු ලබයි. දවස අවසානයේ මට නිදිමතියි. මම දැන් නිදියන්න ඕනෑයි සිතා නින්දට යයි. මේ පරිදිමය මෙතෙක් ආ දිවි ගමනේ දින මාස අවුරුදු ගෙවී ඇත්තේ. තවත් කොතෙක් කල් ජීවත් වුව මම යනුවෙන් පෙනී සිටින තනි පුද්ගලයෙකු ලෙසයි ඔබ ජීවත්වනුයේ.

උදේ අවදි වූ තැන් පටන් හිඳ ගැනීම සිට සිටගැනීම, ඇවිදීම, නිදා ගැනීම යන සතර ඉරියව්වේදීම ‘ මම’ යනුවෙන් තනි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි ඔබ උපන්දා සිට මරණය දක්වා නිරන්තරවම පරණ වෙන ශරීරයක් සහ නිතර වෙනස් වෙමින් අලුත් වන සිතක් යන දෙකක එකතුවක් නේද? ඔබේ ශරීරය මොහොතක් පාසාම පරණ වෙයි. ශරීරයේ පරණ වීමත් සමග දුර්වල වීම හේතුවෙන් තවදුරටත් ඔබේ සිත ජීවත් කරවීමට ඔබේ ශරීරයේ නොහැකි දවසක් උදාවේ. එදිනට ඔබේ සිත ශරීරය අතහැර ඉවත්ව යයි. මරණය යනු ඇඟින් සිත වෙන්ව යන මේ සිදුවීම නේද? ‘සිත’ නැති ශරීරයට පැවැත්මක් නැත. ශරීරය කාලයාගේ ඇවෑමෙන් මහපොළොවට පස්වීයයි. ශරීරයෙන් ඉවත් වූ චුති සිත හෙවත් විඤ්ඤාණය කර්මානුරූපව තවත් උපතක් ලබා ගනී.

දැන් ඔබ මේ දක්වා ගත කළ ‘මම ‘ නම් වූ තනි පුද්ගලයා එක් අයෙක් නොව ඇඟ, සිත යන ප්‍රධාන කොටස් දෙකක එකතුවකි. තවද ශරීරයේ ඒ ඒ ඉන්ද්‍රිය මගින් සිදුවන කාර්යයන් අනුව ශරීරය කොටස් පහ ක එකතුවකි.

එනම් පෙනීම ලබාදෙන ඇසත්, ඇසීම ලබාදෙන කනත් , ගඳ සුවඳ ලබාදෙන නාසයත්, රස ලබාදෙන දිවත්, ස්පර්ශය සීතල -උණුසුම ලබාදෙන ශරීරයත් (සම) වශයෙනි. බාහිර පරිසරයේ තොරතුරු සිතට ලැබුණේ මේ ඉන්ද්‍රිය හරහා බැවින් ශරීරය කොටස් පහකි. දැන් ඔබ ඇඟ කොටස් පහක් සහ මනස හෙවත් සිතත් සම¼ඟ කොටස් හය කි.

මෙතෙක් කල් ඔබ ‘මම’ යනුවෙන් තනි පුද්ගලයෙකු ලෙස සිටියත් දැන් ඇඟ, සිත යනුවෙන් දෙකක් බවත්, නැවත කොටස් 6 ක් එකතුවකින් සකස් වුණු 6 ක මිටියක් බවත් වැටහී යනවා ඇත.

මෙතෙක් කල් තනි පුද්ගලයෙකු ලෙස තිබූ හැඟීම හෙවත් සක්කාය දිට්ඨිය දැන් ඔබේ සන්තානයන් ඉවත්ව ගොස් ඇත. ඇත්තේ ඇඟ සහ සිත යන දෙකක අන්‍යෝන්‍ය පැවැත්මකි.

මෙතෙක් වේලා ඇඟ කොටස් 5 ක් ලෙසත් සිත එකක් ලෙසත් ගෙන 6 ක ;පාකුරක් ලෙස අවබෝධ කර ගැනීමට උත්සාහ කළේ සළායතන විභාගයයි.

දැන් පංචස්කන්ධය විභාගය විමසා බලමු.

ඇඟ සිත යන ප්‍රධාන කොටස් දෙකින්, අපේ සිත ක්‍රියාත්මක වන ආකාරය අනුව කොටස් හතරකට බෙදා දැක්විය හැකිය. ශරීරයෙ හරහා ලබාදෙන බාහිර පරිසරයේ තොරතුරු දැනීම ඇතිවන්නේ සිතටය. මැරුණු තැනැත්තාට සිත, ඇඟ සමඟ නොමැති නිසා දැනීමක් නැත. එහෙත් සිත ඇති, පණ ඇති සෑම පුද්ගලයෙකුටම දැනීම ලැබේ. (වේදනා) මෙය සිතෙහි පළමු ක්‍රියාවයි.

‘සිතට’ ලැබුණු මේ දැනීම කුමක්දැයි ‘සිත’ විසින් හඳුනාගනු ලබයි. මෙය දෙවන ක්‍රියාවයි. (සංඥා) හඳුනාගැනීමත් සමඟ සිතිවිලි උපදී. (සංඛාර) මෙය තුන්වන ක්‍රියාවයි. කෙටි කාලීනව උපදින සිතිවිලි ඉපදීම ,සිතා ගැනීමත් සමඟ අවසන් වේ. මෙය සතරවැනි ක්‍රියාවයි. ඊට වඩා යමක් සිතෙහි සිදු නොවේ. මේ අනුව සිතෙහි හතරාකාර ක්‍රියාවලියක් සහ ඊට තොරතුරු ලබාදෙන ශරිරය ද වශයෙන් එකට ගත් විට 5 ක මිටියකි. මේවා ස්කන්ධ වශයෙන් රූප වේදනා, සංඥා, සංඛාර , විඤ්ඤාණ ලෙස පංචස්කන්ධ විභාගයේදී විග්‍රහ වේ.

මේ අනුව විඤ්ඤාණය යනු පුද්ගලයෙකු කුඩා කාලයේ සිට මුලු ජීවිත කාලය පුරා ශරීරය හරහා ලබාගත් දැනීම් ඔස්සේ ඇති කරගත් සිතා ගැනීම් ශක්තියයි. මෙතෙක් අපි සාකච්ඡා කළ කරුණු කෙටියෙන් සැලකූ විට මෙසේ නිගමනයකට ආ හැකිය. එනම් මෙතෙක් කල් ‘මම’ නමින් පෙනී සිටි තනි පුද්ගලයා එක් අයෙක් නොව ඇඟ, සිත යන ප්‍රධාන කොටස් දෙකකි. ආකාර පහකට ක්‍රියාත්මක වන ශරීරයකින් පැමිණෙන තොරතුරු අනුව සිතේ වහ වහා ක්‍රියාත්මක වන හතරාකාර ක්‍රියාවලියකි. ශක්ති ප්‍රවාහයකි. ආරෝපණ ශක්තියකි.

බුදුන් වහන්සේ විග්‍රහ කළ පරිදි සත්ත්වයෙක් පුද්ගලයෙක් කියා ගැනීමට යමක් නැති බවත් මිනිසා ඇතුළු සියලු සතුන් හුදු සිත, ඇඟ හෙවත් නාම , රූප දෙකෙහි එකතු බවත් දැන් ඔබට මැනවින් ප්‍රකට වී ඇත. සක්කාය දිට්ඨිය යනු ‘මම’ මගේ යන තනි පුද්ගල දෘෂ්ටිය නම් දැන් ඔබ ලබාගත් දැනුම අනුව, මෙතෙක් ඔබ තුළ තිබූ එකී හැඟීම ඉවත් වීමත් සමඟ , ඔබ තුළින් ඉවත්ව ගොස් ඇත්තේ සක්කාය දිට්ඨියයි.

දැන් ඔබ සෝවාන් මාර්ගස්ථයෙකි.

ඔබ ලබාගත් මෙම අවබෝධය තිරිසන් සතෙකුට, මන්දබුද්ධිකයෙකුට කෙසේ නම් මේ ජීවිතයේ දී ලබාගත හැකිද? එසේම ඔබ මේ ලිපිය කියවා තේරුම් ගැනීමට පෙර මරණයට පත්වූයේ නම් මේ ජීවිතය අවසන් කරන්නේ තවත් ‘මම’ යනුවෙන් ජීවත් වූ අයෙකු ලෙසිනි. එබැවින් මේ අවබෝධය , බුද්ධෝත්පාද කාලයක බුද්ධ ශාසනයක් පවතිද්දි මනුෂ්‍ය ජීවිතයක් ලැබීමෙන්, ක්‍ෂණ සම්පත්තිය හෙවත් කාරණා අවබෝධ කර ගැනීමේ වාසනා සම්පත්තිය තුළින් කල්‍යාණ මිත්‍ර උපකාරයෙන් සද්ධර්මය ඇසීමට ලැබීමේ දුර්ලභ වාසනා ගුණයම බව නුවණැත්තෝ වටහා ගනිත්වා.

මෙම ලිපිය කියවා තේරුම් ගත් ඔබට පහත කරුණු පිළිබඳව එකඟ විය හැකි දැයි සිතා බලන්න.

(1). ඔබ තනි පුද්ගලයෙකු නොව කොටස් එකතුවක ක්‍රියාකාරිත්වයකි. ශක්ති ප්‍රවාහයකි. මෙතෙක් කල් ඔබේ සිතේ ජීවත් වු ‘මම’ නමින් පෙනී සිටි තනි පුද්ගල හැඟීම ඉවත් වූ නිසා ඔබ තුළ සක්කාය දිට්ඨිය ඉවත්ව ගොස් ඇත.
(2).1 බුදුරජාණන් වහන්සේ විසින්ම මේ බව මුලින්ම දැන වදාළ බවත් බුදුරදුන් වැඩ සිටිය අයෙකු බවත් ඔබට පැහැදිලි වී ඇත.
2. වෙනත් අයෙකු විසින් නොදැනගත් දහමක් තමන් විසින් දැනගෙන එම දහම අන් අයට ද දැන ගැනීම පිණිස දෙසූ බව ඔබට පිළිගත හැකිය.
3. එදත් අදත් හෙටත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ සෝවාන් ආදි මාර්ගඵල වලට පත් වෙති.
4. නිවන් දැකීමට බලාපොරොත්තු වන්නකු ලෙස ඔබ තුළ සීල සංවරය ඇති කර ගත යුතුය. සිල් පද අවශ්‍ය වන්නේ ඒ සඳහා මිස ඔබ අපහසුතාවයට පත් කිරීමට නොවේ.
5. ඔබට ප්‍රමාණ කළ නොහැකි අතීත සසර ජීවිතයක් ඇත.
6. නිවන් දක්නා තුරුම නැවත නැවතත් උපදින්නට සිදුවේ.
7. අතීත සසර මෙන්ම අනාගත සසර යන දෙකම පිළිබඳ දැන් ඔබට සැක නැත.
8. චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීමෙන් පින් පව් රැස් කිරීමත්, නිසා නැවත උපතත්, කම්සැපට ඇති කැමැත්ත අත් හරින තෙක් ම සසර පවත්නා බව හෙවත් පටිච්ච සමුප්පාදය නිවැරැදි බව ඔබට වැටහේ.

(3) බුදුරදුන් පෙන්වා වදාළ නිවන් මාර්ගය තුළින් මිස වෙනත් ක්‍රම අනුගමනය කිරීමෙන් නිවන් දැකිය නොහැකිය.

ඉහත කරුණුවලට එකඟ විය හැකි නම් ඔබ මේ ජීවිතයේදී සෝවාන් ඵලය ලැබූවෙකි. කැමැති නම් ඉහළ මාර්ගඵලද අත්දැකිය හැකිය.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]