UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තායි ශ්‍රී ලංකා බෞද්ධ නාලිකා ඒකාබද්ධවීම සුවිශේෂී කරුණක් - සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි

ශ්‍රී ලංකාව හා තායිලන්තය එක්ව බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා ඉටු කළා වූ බෞද්ධ සේවා පිළිබඳ ලංකා ශාසන ඉතිහාසය දෙස බැලූවිටදී පිළිබිඹු වන අතර, අදටත් දෙරට අතර බැඳී ඇති රන්දම් වැල වන්නේ එය යැයි කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියෝ පැවසූහ.


තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ සම්බන්ධය තහවුරු කරමින් දෙරටේ බෞද්ධ නාලිකා එක්වූ අවස්ථාවට උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් සහ වට්ධම්මකාය නා හිමියන් උත්සව සභාව ඇරැඹීමට පෙර සම්බුද්ධ වන්දනාවට සූදානම් වෙමින්......

කුසලධම්ම හිමියන් එසේ පැවසුවේ සම්බෝධි විහාරයේ දී ඉකුත් දා (29) පැවැති මෙරට දැනට විකාශය වන බෞද්ධයා රූපවාහිනී නාලිකාව සහ තායිලන්තයේ විකාශය වන ධම්මකාය මාධ්‍ය නාලිකාව අතර දෙරටේ බෞද්ධ පුනර්ජීවය පිළිබඳව අනෙකුත් රටවල් දැනුම්වත් කිරීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවේදී ය.

එම අවස්ථාව සඳහා ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහ නාහිමි, තායිලන්තයේ වට්ට්‍රා ධම්මකාය විහාරයේ සහය විහාරාධිපති පාරමහා සොමචායි තනාබුච්චෝ හිමි, ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සත්‍යා හෙට්ටිගේ, හිටපු නාවික හමුදාපති මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත කරන්නාගොඩ, මහාචාර්ය, ජී.ඒ. සෝමරත්න, බෞද්ධ නාලිකාවේ සාමාන්‍යාධිකාරී වොල්ටර් පෙරේරා යන මහත්වරුන් ඇතුළු තායිලන්ත ගිහි පැවිදි පිරිස් සහ තවත් මහත්ම මහත්මීහු රැසක් ද සහභාගී වූහ.

මෙහිදී කුසලධම්ම හිමියන් වැඩිදුරටත් මෙසේද පැවසීය. අද දෙරටේ විකාශනය වන මෙම නාලිකා දෙකටම සුවිශේෂී දිනයක්. ඊට හේතුව තායිලන්තයේ පිහිටි ථෙරවාදී බෞද්ධ මූලස්ථානයක් වශයෙන් ලෝකයේ ගෞරවයට පාත්‍ර වී සිටින ධම්මකාය භාවනා මධ්‍යස්ථානයේ විකාශය වන එම නාලිකාව සමඟ අපගේ බෞද්ධයා නාලිකාව අතර ගිවිසුමක් අත්සන් කර ගැනීම. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ දෙරටේ බෞද්ධ ධර්මය පිළිබඳ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව බෞද්ධ වැඩසටහන් හුවමාරු කරගෙන බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම පිළිබඳව, එහි වටිනාකම පිළිබඳව ලෝකවාසීන් දැනුවත් කිරීමයි.

එදා පොළොන්නරුව රජදවසේ සිට අප රට තායිලන්තයත් සමග සම්බන්ධකම් පවත්වා තිබෙනවා. බුද්ධ ශාසනය මුල්කර ගනිමින්. මහා උපසම්පදා ක්‍රමය එරට සංඝ සමාජයේ ඇතිකිරීම සඳහා එදා මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයට වැඩමවලා තායිලන්තයේ සම්බුද්ධ ශාසනය පිහිටුවලා තිබෙනවා. මෙරටේ උපසම්පදාව නැති වූ විට දී වැලිවිටියේ අසරණ සරණ සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කීර්ති ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසේ දී පවර උපාලි හිමියන්ගේ සහභාගීත්වයෙන් තායිලන්තයෙන් නියෝජිත පිරිසක් වැඩමකරවා නැවත මෙරට සියම් නිකාය පිහිටුවාලීමට තායිලන්ත භික්‍ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් හැකියාව ලැබුණි.


බෞද්ධයා රූපවාහිනී නාලිකාව සහ තායිලන්තයේ බැංකොක්හි වට්ධම්මකාය මහා විහාරයේ ඩී.එම්.සී. නාලිකාව සමඟ සහයෝගිතා ගිවිසුමට එළඹීමෙන් අනතුරුව උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් සමඟ තායිලන්ත දූත පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.

මේ ආකාරයට ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් සිදු වූ දෑ බොහෝයි. එම නිසා මෙතෙක් පැවැති ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය තුළ තායිලන්තය ගොඩාක් දුරට සම්බන්ධයි. ලබන වසර ලෝකවාසී බෞද්ධ මහා ජනතාවට සුවිශේෂී වසරක් වෙනවා. ඒ 2600 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීමේ අති දුර්ලභ වූ සුවිශේෂී අවස්ථාවයි. මෙවැනි සම්බුද්ධ ජයන්තියක් ජීවිතයට ලැබෙන්නේ කලාතුරකිනි. මෙහිදී අදහස් පැවසූ තායිලන්තයේ වට්ට්‍රා ධම්මකාය විහාරයේ සහාය විහාරාධිපති පාරමහා සෝමචායි හිමි.

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව විසින් අප මහා තථාගතයාණන් වහන්සේගේ සද්ධර්මය ආරක්‍ෂා කරන බව අපට හොඳාකාරව පෙනෙනවා. එදා ශ්‍රී ලංකාවෙන් තමයි ධර්මය අපි ලබා ගත්තේ. මේ රටේ උපසම්පදා ක්‍රමය නැවත ලබාදීම සිදුකොට සියම් නිකාය පිහිටුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. දෙරටේ අන්‍යොන්‍ය සබැඳියාව ඇතිවීමට ප්‍රධානම හේතුව වූයේ එයයි. අපගේ ධම්මකාය රූපවාහිනී නාලිකාව හා මෙරටේ බෞද්ධයා රූපවාහිනි නාලිකාව සමඟ අත්වැල් බැඳගැනීම තුළින් දෙරටේ ආගමික වැඩසටහන් හුවමාරු වෙනවා. දෙරටේ බෞද්ධයන් අතර ඇති වන මෙම සබැඳියාව තුළින් ඇතිවන ඵලදායීතාවය ලෝකවාසී ජනතාවට මෙන්ම ධර්මය සුරක්‍ෂිත කිරීමට ද හොඳ අවස්ථාවක්.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අස්ගිරි මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවීම පිළිබඳව මා විශාල වශයෙන් භාග්‍යවන්ත වී තිබෙනවා. අපි සැවොම ලෝකවාසීන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා එක්ව කටයුතු කරමු. මෙහිදී තායිලන්ත දූත පිරිස විසින් එම අවස්ථාවට පැමිණි මෙරටේ භික්‍ෂු පිරිස් වෙත තිළිණයක් හා එම නාලිකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් මූල්‍යමය දායකත්වයක්ද පිරිනමනු ලැබුණ අතර එම දූත පිරිස වෙත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද තිළිණ ප්‍රදානයක් ද පිරිනැමීය.

 

 

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]