UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ පත්‍රයෙහි 2010. 09. 08 දින පළවූ ‘නිරයත් අපායත් ඇත්තේ මිනිස් ලොවයි. යන මගේ ලිපියෙහි සතර අපායට සම්බන්ධ අසුර අපාය පිළිබඳව මවිසින් කිසිවක් සඳහන් නො කෙළේ පසු අවස්ථාවකදී ඒ පිළිබඳව යමක් කීම සඳහාය.

අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ රටක් ලෙස සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය කොට ඔවුන්ගෙන් කප්පම් ගත් බව සඳහන් වේ. එසමයෙහි ඇසිරියන්වරු අසුරයන් හැටියටත් මීඩියන් හා පර්සියන් ජාතීන් සුරයන් හැටියටත් සලකන ලද බව පෙනේ. ශත වර්ෂ දෙකක් පමණ අසුරයන් යටතේ සිටි මීඩියන්වරු හෙවත් සුරයෝ අසුර රාජ්‍යයෙ අක්‍රමණය කළහ. එහෙත් එවක එහි සිටි අසුර් බනිපාල් නමැති ඇසිරියන් රජතුමා සුරන් පලවා හැරියේය. දෙවෙනි වතාවේ සංවිධානව පැමිණි මිඩියන්වරු හා පර්සියන්වරු අති බිහිසුණු සටනක් කොට අසුරයන් පරදවා ලූහ. මෙකල පර්සියානු අධිරාජ්‍යයේ සිටි මහා සයිරස් රජතුමා (ක්‍රි.පූ. 585 - 526 ) ඔහුගේ පර්සියානු අධිරාජ්‍යයට මීඩියාව, අයෝනියාව, ලිබියාව, මෙසපොටේමියාව, සිරියාව හා පලස්තීනය ඇතුළත් කර ගත්තේය. පර්සියන් වරු, රූමත් පිරිසක් වූ අතර ඇසිරියන්වරු නිර්භීත වීරෝදාර පිරිසක් වූ බවද කියනු ලැබේ. පුරාතනයන් විසින් දේවත්වයට නංවන ලද සුර අසුර සංග්‍රාමයේ තොරතුරු පසුකාලීන භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන බව පැහැදිලිය.

වරක් වේද සාහිත්‍යයේ එන ‘බලී’ නමැති අසුරයා, භුවනත්‍රයම ජය ගැනීමට රිසි වී දෙව් ලොවට ගොස් ඉන්ද්‍රයා පරදවා අධීශ්වරත්වය ලබා ගත්තේය. එවිට ඉන්ද්‍රයා විෂ්ණුගේ පිහිට සොයා ගියේය. ඉක්බිති විෂ්ණු වාමන රූපයක් මවාගෙන බලී අසුරයා වෙත ගොස් තමන්ට පදිංචි වීමට සුදුසු තැනක් ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබට මේ සඳහා කොතරම් ඉඩක් අවශ්‍යදැ”යි බලී ඇසු විට “ මට පියවර තුනක් තබන්නට හැකි ඉඩ කොටසක් දුන මැනව“ යි වාමනයා කියා සිටියේය . “ එසේ නම් එය ගනුවයි “ අසුරයා අණ කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ® විෂ්ණු, නාරායන නම් වෙසක් මවාගෙන, එක් පියවරක් දෙව්ලොව ද අනෙක් පියවර පොළොවෙහිද, තුන්වෙනි පියවර බලීගේ් හිස මතද තබමින් ඔහු පාතාලයට තල්ලු කර දැම්මේය.

මෙන්න මහා භාරතයේ එන තවත් කථාවක්. සුරයන්ගේ සතුරන් වු අසුරයන්ගෙන් සුරයන්ට නිතර උපද්‍රව පැමිණෙන්නට විය. එවිට සුරයන්ගේ නායකයා වූ විෂ්ණු අසුරයන් පරාජය කිරීම සදහා කිරිමුහුද කලඹන ලද්දේය. කිරිමුහදු කලඹන ලද්දේ මහමේරු පර්වතය පත්ලේ තිබූ අමෘතය ලබාගෙන එය බී අජරාමර වීම සදහාය. මෙහිදී විෂ්ණු කිරි මුහුද කළඹන ලද්දේ වාසුකී නාගරාජයාගේ උදව්වෙනි. වාසුකී නාග රාජයාගේ දරණ පටින් මහමේරු පර්වතය වටලා බැඳගෙන ඔහුගේ හිස පැත්ත අසුරයන්ටත්, වල්ගය සුරයන්ටත් ලැබෙනසේ අල්වා ගන්නට සලස්වා කිරිමුහුඳ කැළඹීමට සැලැස්වීය. මේ සටනේදි නාගයාගේ විෂ ධූමයෙන් අසුරයන් මරණයට පත්ව පරාජය වු බව කියනු ලැබේ.මෙහිදී කිරි මුහුදෙන් මතුවූ අමෘතය බී සුරයෝ අජරාමර වූහ. කිරිමුහුදෙන් මතු වූ වස්තු 14 න් එකක වු ලක්‍ෂ්මිය විෂ්ණුගේ බිරිඳ බවටද පත් වුවාය.

එක්තරා ජාතක කථාවක සුරයන්ගේ ආරම්භය දැක්වෙන්නේ මෙසේය. පෙර දඹදිව මචල නම් ග්‍රාමයේ , මාර්ග ,පැන් පොකුණු ගොඩනැගිලි ආදිය සාදමින්,, අඹුදරුවන් සමඟ පින් දහම් කළ මඝ නමැති මානවකයා ඉන් චුතව ගොස් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපත ලද බව කුලාවක ජාතකයෙහි සඳහන් වයි. මචල ග්‍රාමයේදි ඔහුට උදව් කළ දෙතිසක් මිනිස්සු හා ඔහුගේ බිසෝවරුද තව්තිසා දෙව්ලොවම උපත් ලද්දෝය.

පෙර තව්තිසා දෙව්ලොව වාසය කළෝ අසුරයෝය. ‘අලුත් පිරිසක් දෙව්ලොවට පැමිණ ඇතැයි සැලකූ අසුරයෝ ඔවුන් පිළිගැනීමට දිව්‍ය සුරාවක් පිළියෙල කළහ. තමන්ගේ පිරිස දිව්‍ය සුරාව පානය කිරීමෙන් වැළැක්වු සක්දෙව් තෙම දිව්‍ය සුරාව අසුරයන්ටම පොවා, ඔවුන් මත් වූකල, දෙකකුලෙන් ගෙන ඔවුන් මහමෙර පත්ලට යැවූ බව කියනු ලැබේ.

සුරඅසුර යුද්ධය පිළිබඳ පුවතක් ධජග්ග සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

“ මහණෙනි, ඉස්සර කාලෙදී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුණා. ඒ යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව වැසියන්ට කතා කරලා මෙහෙම කියනවා. ‘නිදුක්වරුනි යුද්ධයට ගිය දෙවියන්ට බියක්, තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත් නුඹලා මගේ කොඩිය දෙස බලන්න.

එවිට ඒ බිය, තැති ගැනීම හෝ ලොමු දැහැගනීම පහව යනවා. ඉතින් මගේ කොඩිය දෙස බලන්නේ නැත්තං ප්‍රජාපති දෙව් රජුගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය තැතිගැනීම හෝ ලොමු දැහැගැනීම පහව යනව. එහෙමත් නැත්තං වරුණ දෙව්රජගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහව යනවා. එහෙමත් නැත්නම් ඊසාන දෙව්රජුුගෙ කොඩිය දෙස බලන්න. එවිට ද ඒ බිය, තැතිගැනීම හා ලොමුදැහැ ගැනීම පහව යනව.

මහණෙනි, ඒ සක්දෙවිඳුගේ කොඩිය බලන අයටත්, ප්‍රජාපතී දෙවිඳුගේ කොඩිය බලන අයටත්, වරුණ දෙව්රජුගෙ කොඩිය බලන අයටත් ඊශාන දෙවිඳුගෙ කොඩිය බලන අයටත් ඇතිවන බිය, තැතිගැනීම හා ලොමු දැහැ ගැනීම පහව යන්නේ ද? පහව යන්නේ නැත. මහණෙනි ඊට හේතුව කුමක්ද? මහණෙනි, සක්දෙවිඳුගේ කොඩිය බලන අයත්, ප්‍රජාපති දෙවිඳුගේ කොඩිය බලන අයත්, වරුණ දෙව්රජුගේ කොඩිය බලන අයත් ඊසාන දෙවියන්ගේ කොඩිය බලන අයත් රාගය පහනොවූ, ද්වේෂය පහනොවූ , හා මෝහය පහනොවු අයයි. එබැවින් ඔවුන්ගේ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහවයන්නේ නෑ.

මහණෙනි, මමත් මෙහෙම කියමි. කැලේකට හෝ රුක්මුලකට හෝ පාළුගෙයකට හෝ ගිය ඔබලාටත් බියක් , තැතිගැනීමක් හා ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුුරිසදම්ම සාරථීය ,දෙව් මිනිසුන්ට ගුරුය. කියා මා සිහි කරන්න. එවිට ඔබලාගේ බිය, තැතිගැන්ම, හා ලොමු දැහැගැනීම පහව යනවා. එසේ පහව යන්නේ තථාගතයන් වහන්සේත් ධර්මයත්, සංඝයාත් වීතරාග, වීතදෝස හා වීතමොහ නිසාය. මහණෙනි, මෙසේ බුදුන් , දහම් , සඟුන් සිහි කරන්නාට බියක් තැති ගැනීමක් හා ලොමු දැහැගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙහිදි බුදුරජාණන් වහන්සේ කරන්නේ ධජග්ග සූත්‍රයේ සඳහන් දෙය උදාහරණයක් වශයෙන් ගෙන භික්‍ෂූන් වහන්සේට පාඩමක් ඉගැන්වීමයි. සුර අසුර යුද්ධය පිළිබඳ තවත් පුවතක් සුභාසිත ජය සූත්‍රයේ (සක්ක සංයුත්තයේ) මෙසේ සඳහන් වෙයි.

පෙර සුර අසුර යුද්ධයක් පැවැත්තේය. එහිදි වේපචිත්ති අසුරිඳු ‘සක් දෙවිඳුනි, සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි කීය. සක්දෙවිඳුද ‘සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි පැතීය. දෙදෙනාගේ තරග විනිශ්චය සඳහා සුර අසුර දෙගොල්ලම එකතුව විනිශ්චය මණ්ඩලයක් සාදා ගත්හ.

ඉක්බිති වේපචිත්තා අසුරිඳු ‘ සක්දෙවිඳුනි ‘ ගාථාවක් කියන්නැයි කීය. ඔබලා පැරණි අය නිසා ඔබ ගාථාවක් කියන්නැ’යි සක්දෙවිඳු කීය. එවිට වේපචිත්ති මේ තේරුම් ඇති ගාථාව කීය. “ වළක්වන්නකු නැත්නම් මෝඩයෝ බෙහෙවින් වැනසෙති. එබැවින් දැඩි දඬුවම් දී මෝඩයා වළක්වා ගත යුතුය “ වේපචිත්තිගේ මේ කියමන අසුරයෝ පිළිගත්හ. දෙවියෝ නිහඬ වූහ.

අනතුරුව වේපචිත්ති සක්දෙවිඳුට ගාථාවක් කියන්නැයි කීය. එවිට සක් දෙවිඳු “ කිපුණ සතුරා දැක යමෙක් සිහිකල්පනාවෙන් සන්සුන්වෙයි නම්, එම සන්සිඳීම ම සතුරා වැළකීම යයි කියමියි කීය. ශක්‍රයාගේ කියමන දෙවියෝ පිළිගත්හ. අසුරයෝ නිහඬ වූහ. ....මේ අන්ඳමින් වාදය තවත් දිගට පැවැත්තේය.

අවසානයේදී විනිශ්චය මණ්ඩලය මෙබඳු තීරණයක් කළහ. “වේපචිත්තිගේ ගාථා කලහ කිරීම සඳහාය. ඒවා හිංසාවෙන් පිරී ඇත. ශක්‍රයාගේ ගාථා කලහ නොකිරීම සදහාය, ඒවා දඬුවමින් තොරය, එබැවින් සක්දෙවිඳුට සුභාෂිතයෙන් ජය අත්විය “ යනුවෙනි.

අපේ මාතෘකාව වූයේ අසුර අපාය පව් පල දෙන තැනැක් දැයි සොයා බැලීමය.අසුරයන් යනු දේවත්වයට නැගුණු කල්පිත චරිත කොට්ඨාශයක් බව ඉහත සඳහන් තොරතුරු වලින්ද ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. එබැවින් පව් පලදීම සිදුවන්නේ මිනිස් අපාය තිරිසන් අපාය හා පේ‍්‍රත අපායේදී බව අපට නිගමනය කළ හැකිය.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]