Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අපි ජීවිතය හදා ගන්න ඕනෑ. එහෙම වෙන්න නම් හිත සංවේගයට පත් වන්න ඕනෑ. සංවේගයට පත් වූ සිතින් ලෝකයට අපිට උපකාර කරන්න පහසු යි. ඉතින් ඒ විදිහට හිත සකස් වන්න අපිට උපකාර වන බලවත් ම වූ ධර්මය තමයි, මරණ සතිය. ඒ නිසා කවුරුත් මරණ සතිය හොඳින් පුරුදු කරගෙන, බලවත්ව පුරුදු කරගෙන, තම තමන්ගේ සිත් සංවේගයට පත් කර ගැනීම පිණිස කටයුතු කරත්වා! කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාට ම තමන්ගේ ජීවිතයේ සැබෑ තත්ත්වය කල්පනා කරන්න පුළුවන් සිතක් ඇති කර ගන්න භාග්‍යය උදා වේවා! කියලා, අපි ආශිර්වාද කරනවා.

කලින් මම ඔබට කිව්වා ප්‍රඥාවේ පිරිහෙන යුගයකයි අපි වාසය කරන්නේ කියලා. ඒක තව ටිකක් කියන්නම්, ප්‍රඥාව බලවත් නම් ඒක මුල් වෙනවා අකුසල් දුරු වෙලා යන්න. ඒක පැහැදිලි නේද? ප්‍රඥාව බලවත් නම් රාග, ද්වේශ, මෝහ ඉක්මනින් දුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. ප්‍රඥාව දුබල වන්න වන්න රාග, ද්වේශ, මෝහ දුරු කර ගන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා.

එතකොට අද යුගය වනකොට ප්‍රඥාව හීන වෙලා යන යුගයක තමා අපි ඉන්නේ. එහෙම නේද? එතකොට ප්‍රඥාව දුබල නිසා අපිට ඉන්ද්‍රිය ධර්ම බලවත්ව පිහිටයි ද? බලවත් ඉන්ද්‍රිය ධර්ම අපට පිහිටන්නේ නෑ. මේ කාලයේ දී ඉන්ද්‍රිය ධර්ම දුබල යි. ඉන්ද්‍රිය තමා බල බවට පත් වන්නේ. පංච ඉන්ද්‍රිය ම පංච බල බවට පත්වනවා. ඒ පංච බල තමයි, අකුසල් දුරු කරන්න අපිට උපකාර වන්නේ.

අකුසලය එන්න එන්න ශක්තිමත් වනවා. සංසාරේ අපි යන්නේ, ඒක යි. ලෝකය පිරිහෙන කොට අකුසල් බලවත් රාග, ද්වේෂ, මෝහ බලවත්. ඒක නේ, අන්තිමට අර මිනිස්සු විනාශ කර ගන්නේ නේද? කපා කොටා ගෙන මිනිස්සු විනාශ කර ගන්න කාලයක් එනවා නේද? රාග, ද්වේෂ, මෝහ එතරම් ම බලවත්. තේරෙනවා නේ ද? ඒ කාරණාව? එන්න එන්න මිනිසුන්ගේ රාග, ද්වේෂ, මෝහ බලවත් වනවා. කුසල් පැත්ත බලවත් නෑ. ඇයි? ප්‍රඥාව දුබල වෙලා නිසා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරලා, තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න නම්, හොඳින්ම සිහිය පිහිටුවා ගෙන කීකරුකම, ඇති කරගෙන, විශේෂයෙන් ම හිතේ නිවෙන ස්වභාවය ඇති කර ගන්න. සංවේගය ඇති කර ගන්න කල්පනා කරන්න. අන්න එතකොට අපට ආරක්‍ෂාවක් තියෙනවා. හිත සංවේගයට පත් කර ගන්න අපට පුළුවන් වුණොත්, අපට ආරක්‍ෂාවක් තියෙනවා ඇයි? එතන, ඇලෙන, ගැටෙන ගතිය අඩුවෙලා යන නිසා ඇලෙන, ගැටෙන ගතිය ඔස්සේ තමයි, අකුසලය දියුණු වෙලා යන්නේ. එවිටයි, ආරක්‍ෂාවක් නැති වන්නේ.

සංවේගයට පත්වන සිත තුළ අකුසලය දියුණු වෙලා යන්න තියෙන ඉඩ අඩුයි. ඇයි? සංවේගයට පත් වීමත් සමඟ සතිපට්ඨානයේ සිත පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මරණ සතිය අපට බලවත් උපකාරයක් හිත සංවේගයට පත් කර ගන්න. අන්න එතකොට සතිපට්ඨානය හුරු කර ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අකුසල් පැත්තට තමයි, හිත බර වෙලා යන්නේ.

එහෙම වුණහම වන්නේ අපට බණ භාවනා කරලා සමාධියක් උපදවා ගත්තත් පුංචි අකුසලයක් ආපු ගමන් අර තියෙන කුසලයෙන් ඒ අකුසලය දුරු කරන්න බැරිව යනවා. මොකද? අකුසලය බලවත් වෙලා නිසා. අකුසලයට පුළුවනි, අර කුසල් සිත් නසලා දාන්න. ඉතින් අපි අන්න ඒ විදිහට අකුසලයට ගොදුරු වුණොත් අපරාදේ සමාජයක් ම වැනසිලා යනවා. සමාජයක් ම විනාශ වෙලා යනවා.

ඒ නිසා අපි හොඳට කල්පනාවට අරගෙන, ලෝකය කෙරෙහි අනුකම්පාව උපදවාගෙන, විශේෂයෙන්ම මරණ සතිය ආදී දේවල් පුරුදු කළොත් හිත සංවේගයට පත් කරගෙන ඉන්න පුළුවන්. අන්න එතන ආරක්‍ෂාවක් තියෙනවා. තමාටත්, ලෝකයටත් යහපත වනවා. ඒ නිසා මරණ සතිය හොඳට පුරුදු කර ගන්න. අපට තියෙන ප්‍රඥාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න එතකොට පුළුවන්. ඇයි, හිත සංවේගයට පත්වන නිසා.

හිත නොසන්සුන් නම්, ප්‍රඥාව දුබල වෙලා යනවානේ? හිත සංවේගයට පත්වෙලා හිටපුවා ම හිතේ කැළඹිලි නෑ. ඇවිස්සිලා යන්නේ නෑ. ඇලීම් ගැටීම් ඇතිවන්නේ නෑ. ඒකයි සංවේගයට පත් වෙලා තියෙන්නේ. අන්න එතන ප්‍රඥාව වැහෙන්න ඉඩ නෑ. ප්‍රඥාව ඉස්මතු කර ගන්න අවකාශයක් තියෙනවා. ඒ නිසා, මරණ සතිය කියන එක අතිශයින් ම බලවත් එකක්.

අතිශයින් උපකාර සහිතයි. උපකාර බහුලයි. එතන වීර්යය උපදිනවා. වීර්යය උපදින තැන අකුසලය දුරු කර ගන්න හොඳ හයියක් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ඉඳල ම මරණ සතිය බලවත්ව වඩන්න. අඛණ්ඩව වඩන්න. බහුල වශයෙන් පුරුදු කරන්න. සිත පිහිටුවා ගන්න. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.