UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සෙත් සදන මෙත්මගට ඔබත් එක්වන්න

මනුෂ්‍යාත්මභාවයක් ලැබීම දුර්ලභය. ලැබූ මනුෂ්‍යත්වය පවත්වා ගැනීම ඊටත් වඩා දුර්ලභය. යමෙක් තමා ලැබූ මනුෂ්‍යත්වය තමන්ගේ මෙන්ම අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදවයිද එබඳු සත්පුරුෂයෝ අතිශයින්ම දුර්ලභය. හදවතේ සැඟවී ඇති මනුෂ්‍යත්වය අවදි කරගත හැකිනම්, ඔබටත් ඒ දුර්ලභ මිනිසුන් අතරට එක්විය හැකිය. එවිට ඔබ ලැබූ මනුෂ්‍යත්වය ආත්මාර්ථ පරාර්ථ යන උභයාර්ථය වෙනුවෙන්ම කැප කළ “අර්ථවත් ජීවිතයක්” ලෙස දකිමින් සතුටු විය හැකිය. එය මිනිසෙකු වශයෙන් ලැබිය හැකි උසස්ම ධනයයි.

පොදු හැගීම් පසෙකලා පෞද්ගලිකත්වයට මුල්තැන දෙමින් හුදෙක් ආත්ම සුඛ විහරණය උදෙසා ක්‍රියාකාරීවීම මනුෂ්‍යත්වයට තරම් නොවේ. එබඳු හැඟීම් හා ක්‍රියාකාරකම් තුළින් තමන් පමණක් නොව මානව සංහතිය මෙන්ම සොබා දහමත් කෙලෙසෙන අයුරු අග්ගඤ්ඤ සූත්‍රය තුළින් තථාගතයන් වහන්සේ පහදා දුන්හ. මිනිසුන් අතින් කෙලෙසෙන සොබා දහම මිනිසුන්ටම එරෙහිව පාරා වලල්ලක් සේ ක්‍රියාත්මක වන අයුරු “සමුද්ද වාණිජ” ජාතකය තුළින් ප්‍රකට වේ. එය දිගු කලක් අපට රස කතාවක් පමණක් වූ නමුත් එහි යථාර්ථය කොතරම් බිහිසුණු කඳුළු කථාවක්ද යන්න 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදින මුහුද ගොඩ ගැලීමෙන් අපි සැමදෙනා අත් දුටුවෙමු. එහෙත් එහි භෞතිකමය ස්වරූපය සලකා පිළියම් යෙදීමට බොහෝ දෙනාගේ අවධානය යොමු කළා විනා ආධ්‍යාත්මක හේතු සාධක පිළිබඳව අවධානය යොමුවූයේ ඉතා සුළු පිරිසකගේ පමණි. තනි පුද්ගලයන් වශයෙන් හෝ වේවා සංවිධාන, සමිති, සමාගම් වශයෙන් හෝ වේවා ඔබ අප සැම දෙනාටම එකම අරමුණක් ඇතිව ක්‍රියා කිරීමට සිදුව ඇත. එනම් “මනුෂ්‍යත්වයේ ගරුත්වය හා මනුෂ්‍ය වර්ගයාගේ සුරක්‍ෂිත බව පිණිසයි. “ එසේ නොවුනහොත් විනාශ මුඛයට යන්නේ ඔබ අප පමණක් නොව අනාගත පරපුරත් මිහිතලයත් යන සියල්ලමය. ඇති වූ යමක් නැතිවීම විශ්ව ධර්‍මතාවයකි. එහෙත් උත්සාහ කළහොත් අකල් විපත් වළක්වා ගතහැකි බව බුදු දහම පෙන්වා දෙයි. සැලකිලිමත් වුවහොත් මිනිසුන් විසින් උපදවා ගන්නා බොහෝ විපත් අවම කර ගැනීමටද පුළුවන. යම් විපතක් වළක්වාගත හැකිව තිබියදී උදාසීනව, උකටලී වීම මනුෂ්‍ය්‍ය ධර්‍මය හෝ සත්පුරුෂ ධර්‍මය නොවේ. එහෙයින් අපි සැවොම ක්‍රියාත්මක විය යුතු කාලය සහ මනුෂ්‍යත්වය අවදි කරගත යුතු කාලය එළඹ ඇතැයි සිතමු. එම තත්ත්වය සැලකිල්ලට ගෙන විපත් වළකාලමින් මිනිස් ජිවිත ආරක්‍ෂා කර ගැනීමට ලොව පුරා වෙසෙන සත්පුරුෂ මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඒකාබද්ධ කිරීමේ දැවැන්ත සත්‍යක්‍රියාවක්, සත්ජන මිත්‍ර සන්ථවයේ, ආධ්‍යාත්මික අධ්‍යයනය හා පර්යේෂණ අංශය විසින් සංවිධානය කර ඇත.

මහත් ගිනි කඳකට කඩින් කඩ දිය බින්දු පතිත කිරීම නිශ්ඵල විය හැකිය. එහෙත් සියලු ජලබිඳු එක් කොට ජල කඳක් ලෙස එකවර පතිත කළහොත් මහ ගිනිකඳක් වුවද නිවී යනු නො අනුමානය. ඔබේ පිරිසුදු සිතුවිල්ල හුදකලා දිය බිඳක් නොවී, ජල කඳක් ලෙස එකවර විශ්වයට මුදාහරින්නට “සෙත් සදන මෙත්මග“ ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව සමත් වනු ඇත. එහෙයින් දෙස් විදෙස් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකම මොහොතක, එකම අරමුණක් ඇතිව, ආධ්‍යාත්මික ශක්තිය මෙහෙයවන මෙම සත්‍යක්‍රියාවට ඔබගේ පිරිසුදු චිත්ත ශක්තියත් මුසුකර, අභයදානමය මහා කුශලයට දායක වන මෙන් ජාති ආගම් භේදයකින් තොරව සියලු සත්පුරුෂයින්ට මෙත් සිතින් ආරාධනා කරමු!

දිනය : 2010.07.25 ඉරිදා (ඇසළ පුර පසළොස්වක පොහෝ දින) වේලාව : රාත්‍රී 09.10 සිට 09.20 දක්වා

ස්ථානය : ඔබ සිටින කොතැනක හෝ කළයුතු පිළිවෙළ : ඔබ විසින් කරන ලද යම් කුසලයක්/යහපත් ක්‍රියාවක් සිහි කරගන්න. නැතහොත් වරදක් වටහාගෙන ඉන් වැළකුණු අවස්ථාවක් සිහි කරගන්න. එම කුශල බලයෙන්, එම සත්‍යයේ බලයෙන් “මිනිසුන් වෙත පැමිණෙන දුක් විපත් දුරු වේවා, ජීවිත සුරක්‍ෂිත වේවා, මිනිසුන් රකින්නට විපත් වලකාලන්නට වෙහෙසෙන යම් සත්පුරුෂයෝ වෙත්ද, ඔවුනගේ කායික මානසික ශක්තිය තහවුරු වේවා, බාධක දුරු වේවා, එම සත් කාර්ය සාර්ථකව සිදු කිරීමට අපගේ කුශල බලයත් – අධිෂ්ඨාන ශක්තියත් ඔවුන්ට සහාය වේවා” යි මෙත් සිතින් අධිෂ්ඨාන කරන්න.

මෙහෙයවීම : “ආධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය” සියලු විමසීම් : සත්ජන සත්සේවා මිත්‍ර සන්ථවය – “සෙත්සෙවන” - පෝරුවදණ්ඩ.

දුරකථන, 034-2255214, 034-3449145, 071-8403246, 077-3436640. E-mail: [email protected]

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]