Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැටිකොටමුල්ල සද්ධර්මතිලකාරාම පුරාණ විහාරය


අලුත් විහාරයේ බුදු පිළිම වහන්සේ

බස්නාහිර පළාතේ සුප්‍රසිද්ධ ප්‍රාදේශීය රාජධානියක්ව පැවති උඩුගම්පල සකල කලා වල්ලභ කුමරු පාලනය කළ බවත් ඔහු තම බල ප්‍රදේශය බත බුලතින් ස්වයංපෝෂිත කිරීමට වැව් කර්මාන්තය වෙනුවෙන් දැරූ වෙහෙස අපමණය. වැවක් තැනීමට හිස්සැල්ල ප්‍රදේශය තෝරා ගත් මෙතුමා එම ප්‍රදේශය වැලිසහිත වීම පිළිබඳ කනස්සල්ලට පත් නොවී ඊට ආසන්න ප්‍රදේශයකින් මැටි කොටා මිශ්‍රකර වැව් තනා ඇත. එම වැව නිර්මාණය කිරීමට මැටි කෙටූ ස්ථානය මැටිකෙටූමුල්ල වී පසුකලෙකදී මැටිකොටමුල්ල යන නමින් ජන වහරට එක්වී ඇති බව ඉතිහාසයේ පවතින පුවතයි.


ටැම්පිට විහාරයේ පැරැණි බුදු පිළිම වහන්සේ

සියවස් ගණනාවක පෞරාණිකත්වයක් මෙම පුද බිමට උරුම වී තිබුන බවට පිළිගත හැකි සාධක මැකී ගොස් තිබුණ ද නුවර යුගයේ චිත්‍ර හා ප්‍රතිමා වලින් සැදුම් ලද ටැම්පිට විහාරය මහල් කීපයකින් සමන්විත ය. ධර්ම මන්දිරය දැවැන්ත බෝධි වෘක්‍ෂය මෙහි පෞරාණිකත්වය විදහාපාන පැහැදිලි සංකේත ලෙසින් සැලකිය හැකිය. මෙම ටැම්පිට විහාරයේ විශේෂත්වය වී ඇත්තේ ඇතුලත හා පිටත එක හා සමානව චිත්‍ර වලින් අලංකාර වී තිබීමය.

අඩි 2 ක් පමණ උස් වූ ගල්ටැම් 9 ක් මත පිහිටුවා ඇති මෙම ටැම්පිට විහාරය දිගින් අඩි 14 අඟල් 6 ක් හා පළලින් අඩි 10 අඟල් 4 ක් වූ පිළිමගෙය වටා අඩි 4 අඟල් 6 ක් වූ ප්‍රදක්‍ෂිණා පථයක් දක්නට ලැබේ. පිළිම ගෙය තුළ හිඳි පිළිමයක් හා හිටි පිළිම දක්නට ලැබේ. වහලය පල හතරට බෙදා පෙති උළු හා සිංහල උළු සෙවිලි කර ඇත. මෙයට යොදාගෙන ඇති ලී බාල්කවල ක්‍රි.ව. 1899 වර්ෂය සටහන් කර තිබේ. එම බාල්කය යොදන්නට ඇත්තේ පසු කලෙකය. පසු කලෙක මෙම විහාරය ක්‍රි.ව. 1862 දී ප්‍රදේශවාසීන් විසින් සාදන ලද බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මීට වසර එකසිය පනහකට පමණ පෙර පන්සල්වත්ත යනුවෙන් හැඳින්වෙන ඉඩමෙහි වරින් වර වැඩ විසූ ස්වාමින් වහන්සේලා ඉතා කුඩා විහාරයක් තනා මැටියෙන් ඉදිකළ පිළිම වහන්සේ නමක් තැන්පත් කර පුද පූජා පවත්වා ඇති බවත් ජන මතයේ පවතී. ඒ කිසිවක ශේෂයන් වත්මනෙහි දක්නට නැත.

වර්තමාන විහාරාංග පිහිටි භූමියෙන් කොටසක් ටී.පී. දාවිත් අප්පුහාමි හා තවත් අය විසින් පූජා කර තිබේ. මල්වතු පාර්ශ්වයේ විහාරයක් වන වටද්දර ගනේකන්ද විහාරයේ පදිංචිව සිටි දාවිත් අප්පුහාමිගේ පුතණුවන් වන ස්වාමින් වහන්සේට එය ප්‍රදානය කර ඇත.

ඉන්පසු වටද්දර විහාරාධිපතින් වහන්සේලාගේ අනුදැනුම ඇතිව විවිධ වකවානු වලදී විහාරාධිකාරින් වහන්සේලා වැඩම කර ආගමික හා සමාජීය සේවාවන්හි යෙදුනාහ.


කාරියගම සෝමරතන හිමි

මෙම පෞරාණික වස්තුන් චිරාත් කාලයක් රැකගනු වස් ඉරණාගොඩ පිරිවෙන් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රෝත්ග්‍රහණයෙහි යෙදී සිටි පූජ්‍ය ‍ෙගාඩපිටියේ රතනජෝති ලොකු හාමුදුරුවන් වහන්සේ මුල් අවධියේ සිටම ගෙන ඇති අප්‍රතිහත ධෛර්ය නිසාම ගෞරවනීයත්වයෙන් පිදුම් ලබන්නාහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව වැඩ සිටි පූජ්‍ය පස්සල පඤ්ඤානන්ද සහ සියඹලාවැවේ සීලරතන මාහිමිපාණන් වහන්සේලා අවුරුදු ගණනාවක් තිස්සේ මෙම විහාරස්ථානයේ දියුණුව සඳහා ඇප කැප වී තිබේ.


චෛත්‍යය

දැනට මෙහි වැඩ සිටින විහාරාධිපති කාරියගම සෝමරතන ලොකු හාමුදුරුවන් වහන්සේ මෙම විහාස්ථානය භාරව කටයුතු කිරීම සඳහා වැඩම කර ඇත. දැනට අසූවන වියෙහි පසුවන උන්වහන්සේ මෙම විහාර සංවර්ධන කිරීමෙහිලා ගෙන ඇති අප්‍රතිහත ධෛර්ය අගය කළ යුතුවේ.

1982 දී විහාරාධිපති පදවියට පත් සෝමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කල ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල ඇතුළුව නව සංඝාවාසය දාන ශාලාව , වැසිකිළි , විදුලිබලය ලබා ගැනීම ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය, චෛත්‍යය හා ප්‍රාකාරය ඉදිකිරීම ටැම්පිට විහාරය අළුත්වැඩියා කිරීම, ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා මහණ උපසම්පදා කරවා විහාරස්ථානය ඉදිරි කටයුතු සුරක්‍ෂිත කිරීම වැනි අමිල සේවාවන් ඉටුකරන ලදී.

විහාරවාසී නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ගලේවෙල දීපානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේද ලොකු හාමුදුරුවන් වහන්සේගේ පිය මං ඔස්සේ ගමන් කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්ම කැප වී සිටිති.


නව බුදු මැදුර

මෙවන් පෞරාණික පූජා ස්ථාන ආරක්‍ෂා කරනු වස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති සැලසුම් ද අගේ කළ යුතුය. මෙහි ටැම්පිට විහාරය පුරා විද්‍යා ස්මාරකයක්ව පවතී.

වේයන්ගොඩ මිනුවන්ගොඩ පාරේ මඩුමුල්ල හන්දියේ දකුණට ඇති මාර්ගයේ සැත.1 1/2 පමණ ගිය තැන මෙම විහාරය හමුවේ.

 

 

 

 

 


ටැම්පිට විහාරයේ ඉදිරිපස

 

 

 

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.