UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ශුද්ධ වෙසක් අමාවක 2010.06. 12

හතළිස් පස් වසරක් ගත වී...

අප ගේ කතු වැකි බොහෝ උපුටා ගැනීම් වලින් යුක්ත බව බුදුසරණ පාඨකයෝ දනිති. එ සේ යම් සිද්ධියකට හෝ විෂයකට අදාළ කරුණු උපුටා දැක්වීම පහසු කාර්යයක් නොවේ. මන්ද යත්, අප ලියන කාරණයට අදාළ වන හා නිසි වටිනාකමකින් යුත් උපුටා දැක්වීමක් සඳහා අවශ්‍ය මූලාශ්‍ර පිළිබඳ දැනුම පහසුවෙන් ළඟා කැරගත නො හැකි බැවිනි. එහෙත්, එම දුෂ්කර මාර්ගය අපි නිතර ම තෝරා ගන්නෙමු. අප ගැන ම ලියන අද දින කතු වැකිය සඳහා ද අනුගමනය කැරෙනුයේ එම පිළිවෙත ය.

ලබන ඉරිදා – එ නම් ජූනි මස 13 වන දා – බුදුසරණ පුවත්පතට වසර 45 ක් සපිරේ. 1965 වසරේ ජූනි මස 13 වන දා බුදුසරණ පුවත්පත ආරම්භ කිරීම පිළිබඳ පසුබිම් කතාව පසුවට තබා කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් 1935 ජූනි 18 වන දින ‘ලක් මිණි පහන’ පුවත්තට ‘පහනේ ගත වර්ෂය’ යනුවෙන් ලියන ලද කතු වැකියෙහි කොටසක් මෙහි උපුටා දක්වමු.

‘මේ කලාපයෙන් නව පහනේ ප්‍රථම වර්ෂය ගෙවීයන්නේ යැ. එ හෙයින් ගෙල අඹරා, පසු කළ මඟ දෙස මඳක් ඇස හෙළීම වටනේ යැ. කො පමණ දිග මඟක් පසු කළමු ද? කොපමණ වෙහෙසකට පත් වූමු ද? කෙතෙක් දෙන අප බෑවුහු ද? කෙතෙක් දෙන අප හැවූහු ද? කවුරු කවුරු අප සැනැහූ ද? අප ගේ පැවැත්මෙන් කො තරම් වැඩ වී ද? කො තරම් අවැඩ වී ද? මේ අප ගේ ද, බැහැරැ මධ්‍යස්ථයන් ගේ ද, සිත අදනා ප්‍රශ්නවලින් කිහිපයකි.’

‘අප ගේ මේ ගමනින් වූ වෙහෙස කියා නිම කළ නොහැක්කේ යැ. මෙහි සංස්කාරක වූ අප පිළිබඳ වූ කරුණක් කියන්නට අවසර යදිම්හ. අපි, පැමිණි කාර්යයක් කොටැ දිවි රැකැගන්නා පක්‍ෂයට අයත්තම්හ. කළ කාර්යයෙකින් හවුරුදු පතා උපදනා අයක් නැත්තමෝ ද නොවමු. එහෙත් ඒ සියල්ල මේ අභිනව කාර්යයෙහි ගිලිණ. අලුත් යම් කිසිවක් කරන්නට ඇති කාලය ද, එහි මැ ගිලෙයි. මේ කරුණු නිසා මැ ඇතැම්හු අප උම්මත්තකාගාරයට සුදුසු කොටැ දකිති. රටට ජාතියට මෙහෙයක් කරන්නට ඇත්නම්, නරකයට ද වදින්නට මැළි නොවන්නා වූ අපි, අන් කවර නම්, ආහාරයකට බමු ද? තමන් කළ දැයක් තමන් මැ විස්තර කොටැලීම නින්දනීය වූව ද, අප ගේ පෝෂකයන් විසින් මේ කාර්යයේ යථාභූත තත්ත්වය වටහා ගත යුතු බැවින් කීම්හ. අප වුන් වෙහෙසෙහි පමණ හඟවාලන්නට වෙන අතෙකින් ගියමෝ නම්, මේ මෙන් කිහිප ගුණයක් දික් වන්නේ යැ.’

අපට මෙහි දී කීමට ඇති බොහෝ දේ කුමාරතුංග මුනිදාස පඬිවරයා ගේ පෑනෙන් එ සේ ලියැ වී ඇත. අප කළ දේ අප ම ගෙනහැර දැක්වීම නින්දනීය වූව ද පාඨකයන් විසින් එය දැනගත යුතු බැවින් අප මේ කතු වැකිය ලියන බව කුමාරතුංග මුනිදාස පඬිවරයාට ණයගැති වෙමින් සටහන් කරන්නෙමු.

දැන් අපි බුදුසරණ බිහි වූ ආකාරය ගැන කතා කරමු.

පියසේන නිශ්ශංක ශූරීන් ගේ කර්තෘත්වයෙන් ඇරැඹි බුදුසරණ පුවත්පතෙහි මුල් පිටපත 1965 ජූනි මස 13 වන දා නිකුත් කැර තිබේ. ඒ, මිහින්තලය පූජා භූමියේ මැදමළුවේ දී ය. ඊට අමතර ව ලේක්හවුස් මන්දිරයේ මුද්‍රණ අංශයේ දී ද සුළු උත්සවයක් පවත්වා ඇත.

එවකට විදුලි බලය ලැබී නො තිබුණු මිහින්තලය පූජා භූමිය වැඳ පුදා ගැනීම දුෂ්කර කාර්යයක් විය. ඒ පිළිබඳ ව අවධානය යොමු කළ ලේක්හවුස් පාලනාධිකාරය පොසොන් පොහොයට මිහින්තලා පූජා භූමියට ආලෝකය සැපයීම පිණිස විදුලි ජනක යන්ත්‍ර දෙකක් කොළඹින් රැගෙන ගොස් 1963 වසරේ සිට ආලෝක පූජාව පවත්වා තිබේ. එ සේ ඇරැඹි මිහින්තලා ආලෝක පූජා පින්කම පවත්වා ගෙන යෑමේ දී සිංහල බෞද්ධ පුවත්පතක අවශ්‍යතාව ලේක්හවුස් බලධාරීන්ට දැනෙන්නට ඇත. ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතා ගේ 15 වන ගුණසමරු උළෙල දා වඩාත් අර්ථවත් කාර්යකට මුල පුරමින් බුදුසරණ පුවත්පත ආරම්භ කැර ඇත්තේ එ බැවිනි.

අද වන විට බුදුසරණ කෙ තරම් සාර්ථක ද, අසාර්ථක ද යන්න පිළිබඳව කතා කළ යුත්තේ අප නො වේ. එහෙත් සිංහල පුවත්පතකට මෙතෙක් ළඟාවීමට නො හැකි වූ කඩඉමක් වන ලක්‍ෂ පහක අලෙවි වාර්තාවක් තැබීමට අපට හැකි විය. එ පමණක් ද නො ව අන්තර්ජාලයට එක් වූ ප්‍රථම සිංහල පුවත්පත ලෙස බුදුසරණ, ඉතිහාසයේ සටහනක් තබා තිබේ. මේ සියලු දේ ගැන අපට සතුටු විය හැකි ය.

කෙ සේ වූව ද අප ගේ සාර්ථකත්වය ගැන අවසාන විනිශ්චය ලබා දෙනු ඇත්තේ ඉතිහාසය විසිනි. ඒ සඳහා ගත වූ වසර හතළිස් පහක කාලය දෙස ආපසු හැරී බලා ලිවීමට අපට අවස්ථාව උදා කළ සියලු දෙනාට ස්තුති වේවා.

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]