UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2010.04.13

අධ්‍යාත්මික සුවය හා සංස්කෘතිය

 

සමාජයේ අදහස ආගමේ ආත්මය යැයි ‘ආගමික ජීවිතයේ මූලික ලක්ෂණ නමැති ග්‍රන්ථයෙහි (1912 දී)) එමිල් ඩුර්ක්හයිම් පළ කළ අදහස සිංහල අවුරුද්ද ගැන කතා කිරීමට කදිම ප්‍රවේශයකි. කුමන ජාතියකට අයත් සංස්කෘතියක් වුව ද නිර්මාණය කිරීමෙහි ලා ආගම ඉටු කැර ඇති කාර්යභාරය පිළිබඳ අවබෝධයක් සහිත කවරකුට හෝ එම සමාජ විද්‍යාඥයා ගේ මතය සමඟ එකඟ නො වී සිටිය නො හැකි ය. විශේෂයෙන් ම සිංහල අවුරුදු චාරිත්‍රවලට ඇති බෞද්ධ සබැඳියාව අමතක කිරීම පහසු නැත.

මෙහි දී ප්‍රථමයෙන් ම අවුරුදු සිරිත් විරිත් හඳුනා ගැනීම වැදගත් ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් 1973 දී නිකුත් කරන ලද ‘සිංහල සිරිත් විරිත් පොත’ ඒ සඳහා උපුටා දක්වමු.

‘සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන දිනය අවුරුදු දිනය වශයෙන් ගැනේ. සාමාන්‍යයෙන් මෙය වැටෙන්නේ අපේ‍්‍රල් මාසයේ 14 වනදාට යි. අවුරුද්ද ලැබුවායින් පසුවයි නව සඳ බලන්නට ලැබෙන්නේ. එය වෙසක් නව සඳ යි. සූර්ය වර්ෂය සඳහා යි. චන්ද්‍ර වර්ෂය සඳහා බක් සඳත් බැලිය යුතු හෙයින් පරණ අවුරුද්ද සඳහා හඳ බැලීමේ සිරිතක් ඇත.’’

‘පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් අතර නොනගතේ නමින් කාල සීමාවක් ගැනේ. මේ කාලය තුළ සියලුම වැඩ කටයුතු අත්හිටුවා තබනු ඇත. පුණ්‍ය කාලය නමින් හැඳින්වෙන මේ කාලසීමාව ආගමික වතාවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ. පරණ ඇඳුම් ඉවත්කොට අලුත් ඇඳුම් ඇඳීම අවුරුද්ද ලැබුවාට පසු ද කරති. අලුත් අවුරුද්දට ආහාර පිසීම සඳහා ගිනි මෙළවීම නියමිත සුබ වේලාවට කෙරෙන්නකි. ඒ සඳහා අවුරුද්ද උදෙසා නියම කරන ලද පාටින් යුත් වස්ත්‍රයක් ඇඳ නියමිත දිසාව බලා ගිනි මෙළවීම කරනු ලැබේ.

‘ආහාර අනුභව කිරීමට පෙර නියමිත පාටින් යුතු ඇඳුමින් සැරසී සිටිය යුතු ය. නියමිත සුබ මොහොත පැමිණි විට පවුලේ සියලු දෙනා ම එකට අසුන් ගෙන පවුලේ ප්‍රධානයා අතින් බෙදා දෙන ආහාර බඳුන බැගින් පිළිගෙන අනුභව කරති. අනුභව කිරීමෙන් පසු පවුලේ ප්‍රධානයා විසින් ගෙදර සියලු දෙනාට ම තුටු පඬුර බැගින් දෙනු ලැබේ.’

මේ සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ ව විග්‍රහයක යෙදුණු සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ගේ් අදහස් ද අපට මෙහි දී වැදගත් වනු ඇත. ඥාන දර්ශන නමැති කෘතියෙහි ඔහු මෙ සේ සඳහන් කැර තිබේ.

‘මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවයට පාදක වී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමය යි. රාමසාන් දිනයේ දී සඳ බැලීම හා නවසඳ අනුව අවුරුද්ද නියම කිරීම අදත් මුස්ලිම් බැතිමතුන් අතර පවතින චාරිත්‍රයයි. ක්‍රිස්තුª භක්තිකයන්ගේ් පාස්කු මංගල්‍යය පිළියෙළ වී ඇත්තේ සූර්ය චන්ද්‍ර මාස ක්‍රමය අනුව ය. බෞද්ධයන්ගේ මාස ක්‍රමය සකස් වී ඇත්තේ වෙසක් පුර පසළොස්වක දා ඇරැඹෙන පෝය මාසයත් සමඟයි. හින්දු ජනයා ගේ් තෛපොංගල් දිනය පිළියෙළ වී ඇත්තේ සූර්ය මාස ක්‍රමය මත සකස් වූ චිත්තරෙයි නම් වූ බක් මාසයේ ආරම්භයත් සමඟ ය. බක්මාසයේ දී දෙමළ - හින්දු ජනයා විසින් ඉමහත් උත්කර්ෂවත් ලෙස සමරනු ලබන අවුරුදු උත්සවය පිළිගත් සිංහල ජනයා දැන් එය ඔවුන්ගේ ජාතික උත්සවය බවට පත්කරගෙන ඇතිවා පමණක් නො ව සිංහල ජාතියේ උපත සිදු වූ දා සිට පවත්වා ගෙන එනු ලබන ජාතික උත්සවයක් බවට කරුණු දීමට තරම් ජාතිමාමක වී ඇති බව සමහරුන් දක්වන විකාර අදහස්වලින් මනාව පැහැදිලි වේ.’

‘වර්තමානයේ දී සිංහල අලුත් අවුරුද්ද අපේ‍්‍රල් මාසයේ 13 හා 14 වන දිනවල දී පැවැත්වෙන නමුත් ආරම්භයේ දී හෝ එය බක් මාසයේ පුර පෑලවියෙන් හෝ බක් මාස පළමුවන දිනයේ දී පවත්වා ඇති බවට ද සාධක ඇත. මාර්තු 25 වන දා පැවැත්වූ සිංහල අවුරුදු උත්සවයක් ගැන ද තොරතුරු අනාවරණය වේ’.

‘ශුභ මොහොතින් ආරම්භ කරන සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතුය. එහි සමාජ විද්‍යාත්මක වටිනාකමක් ද ඇත. අවුරුදු චාරිත්‍ර අනුව සඳ බැලීම, පරණ අවුරුද්දට කියා වැඩ නතර කිරීම, ස්නානය කර පන්සල් යෑම, නෑගම් යෑම, නොනගත කාලය ගෙවීම, ඒ කාලය තුළ පුණ්‍ය ක්‍රියාවල යෙදීම, අලුත් අවුරුද්දේ ලිප් ගිනි මෙළවීම, ආහාර අනුභව කිරීම, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම, නව සඳ බැලීම, ආදී විවිධ කටයුතු චාරිත්‍ර වශයෙන් අනුගමනය කිරීම පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද යන අවස්ථා දෙකේ දී අපට දැකගත හැකි ය’.

‘සශ්‍රීකත්වය හා සෞභාග්‍ය ළඟාකර ගැනීමට අපට ඉර හඳ මෙන්ම අව්ව, වැස්ස, ගින්න වැනි ස්වාභාවික හේතූන්ගෙන් පිහිටාධාරය අවශ්‍ය ය. පුරාණ මිනිසා මෙවැනි ස්වභාවික වස්තූන් දේවත්වයේලා සැලකුවේ එබැවිනි. අලුත් අවුරුදු චාරිත්‍ර අතර ළිපි ගිනි මෙළවීම වැදගත් කාර්යයකි. ගිනි දෙවියා පිදීම ආදියේ පැවැති චාරිත්‍රයකි. පරණ ළිපේ අළු සියල්ල ඉවත්කොට අලුත් ළිපක් බැඳ අලුත් හැළි වළං යොදාගෙන අලුත් සහලින් අලුත් කිරිබතක් උයාගෙන නැකතට අනුභව කිරීම නිසා මුළු අවුරුද්ද පුරාම කුසගින්නේ නොසිට ආහාර හිඟයකින් තොරව සශි‍්‍රක ජීවිතයක් ගත කිරීමට අවුරුදු නැකත ඉවහල් වන්නේ නම් එය මොන තරම් අසිරියක් වන්නේ ද?’

නැකත අනුව නියමිත වේලාවට කටයුතු ආරම්භ කිරීම, ආහාර පිසීම, අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, සඳ බැලීම මඟින් කාල චක්‍රය පිළිබඳ ව අවධානය යොමු කිරීම ආදිය ලෞකික ජීවිතයට වැදගත් කාර්යයන් බව අපි දනිමු. ඒවා උත්සාවකාරයෙන් හා සාමුහික ව සිදු කිරීම නිසා වැඩි වටිනාකමක් ලැබේ. එහෙත් අලුත් අවුරුදු චාරිත්‍රවල වැදගත්කම ඇත්තේ එහිම නො වන බව අප තේරුම් ගත යුතු ය. ඇස්වැන්න ලැබී සතුටින් කා බී කාලය ගත කිරීම ලෝකයේ සෑම ජාතියකට ම පොදු හැසිරීමකි. එහෙත් පුණ්‍ය කාලය නමැති ලෝකෝත්තර සංකල්පය මඟින් ජීවිත හැසිරවීම බුදු දහම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් නො වේ ද?

මේ සංස්කෘතික අංග රැක ගත යුත්තේ අධ්‍යාත්මික සුවය සඳහා ද අපට ඒවා පාර කියන බැවිනි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]