Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර මඩිහට ආලෝකයක් වූ ශ්‍රී වීරතුංගාරාමය


බෝධීන් වහන්සේ

මාතර, මඩිහ ශ්‍රී වීරතුංගාරාමය ඉතා රමණීය නිසංසල භූමියක පිහිටා ඇති බෞද්ධ ජනතාවට විශාල ශාසනික සේවාවක් සපයනු ලබන විහාරස්ථානයකි. මාතර කඩවත්සතර විදානේආරච්චි ධූරය දැරූ මඩිහ පාරේ ගෙදර දොන් කොස්තන් වීරතුංග මහ රාළහාමි විසින් මෙම භූ®මිය විහාරස්ථානයක් සඳහා පූජා කරන ලදී. වසර සියයකට වඩා පැරණි මෙම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති ධූරය දරනු ලබන්නේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දේවාලේගම සුමනරතන හිමිපාණන් වහන්සේ ය.

උන් වහන්සේ මෙයට වසර අටකට පමණ පෙර මඩිහ ශ්‍රී වීරතුංගාරාමයට වැඩම කරන විට විහාරස්ථානය පැවතියේ ඉතා නොදියුණු මට්ටමක ය. වසර අටක කෙටි කාල සීමාවක් තුළ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට මඩිහ ශ්‍රී වීරතුංගාරාමය පත් කිරීමට හැකි වුයේ විහාරාධිපති දේවාලේගම සුමනරතන හිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම නිසා ය. ප්‍රදේශයේ ඉතා ජනපි‍්‍රය ධර්ම කථික හිමිනමක් වන උන් වහන්සේ මඩිහ පාරේ ගෙදර වීරතුංග පවුලේ සියලු දෙනාගේ මූලික සහයෝගය මත සතර පේරුවේ සියලු දායක පින්වතුන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මේ වන විට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමේ මූලික කටයුතු නිම කර ඇත.

විහාරස්ථානයට ගමන් කරන ශ්‍රී වීරතුංගාරාම මාවත තාර දමා සකස් කිරීම, අංග සම්පූර්ණ ජල සැපයුම විදුලිය ආදි මූලික අවශ්‍යතාවයන් පළමුව උන් වහන්සේ විසින් සපුරා ගත්හ. අනතුරුව වසර කීපයක් ඇතුලත විශාල සංවර්ධන ව්‍යාපෘතින් කීපයක්ම උන් වහන්සේ විසින් ආරම්භ කරන ලදහ. විහාරස්ථානයේ වසර 300 කට වඩා පැරණි යැයි සැළකෙන පැරණි ආවාස ගෘහය ප්‍රතිසංස්කරණය කිරීම, ඉතා විසිතුරු මල් ආසන ගෘහයක් තනවා විවෘත කිරීම එසේම කුටි කාමරද සකස්කොට විහාරස්ථානයට අත්‍යවශ්‍ය වූ කටයුතු කීපයක්ම සාර්ථකව නිමකර ගැනීමට සමත් වූහ.


විහාර මන්දිරය

මඩිහ ශ්‍රී වීරතුංගාරාම විහාරස්ථානයට වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේ වැඩම කරන විට පැවතියේ ඉතා අබලන් වු ධර්ම ශාලාවකි. එංගලන්ත ජාතික ඩේවිඩ් පොප් මයාගේ සහ නේරේසා මාර්ටින් මැතිණිය ගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කොට ශ්‍රී ඤාණෝදය නමින් පුස්තකාලයක්ද ලබා ගැනීමට උන් වහන්සේ සමත් වූහ.


මල් ආසන ගෘහය

මඩිහ ශ්‍රී වීරතුංගාරාම විහාරස්ථානයට තවත් මූලික අඩුපාඩුවක්ව පැවතියේ අංග සම්පූර්ණ විහාර මන්දිරයක් නොතිබීමයි. ඒ අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මහත් වූ ධෛර්යෙන් හා සියලු දායක පිංවතුන්ගේ ආධාරයෙන් විහාර මන්දිරයක් සඳහා මුල්ගල් තැබීම මෙයට වසර 03 කට පමණ පෙර සිදුවිය. මේ වන විට විශාල මුදලක් වැය කොට එහි මූලික කටයුතු නිමකර ඇත. සියලු කටයුතු අවසන් කිරීම සඳහා තවත් අධික මුදලක් මේ සදහා අවශ්‍ය වී ඇත. උන් වහන්සේගේ අධිෂ්ඨානය නම් තව වසර 3 කින් පමණ විහාර මන්දිරයේ වැඩ කටයුතු අවසන් කිරීමයි.

ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ නුවණ, පාදා දීම සදහා ආරම්භ කරන ලද ශ්‍රී නාරද දහම් පාසල් තුළින් සිදු කරන සේවාවද අතිවිශාලයි. මේ වන විට විහාරස්ථානයට වැඩම කොට වසර 8 ක් සම්පූර්ණ කළ දේවාලේගම සුමනරතන හිමිපාණන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති පර්යේෂණ උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරතවෙමින් සිටී. මඩිහ ශ්‍රී වීරතුංගාරාම විහාරස්ථානය ඉතා කෙටි කාලයක් තුළ විශාල දියුණුවක් ඇතිකර ගැනීමට සමත් විය. විහාරාධිපති වහන්සේගේ ඒකායන අරමුණ නම් විහාරස්ථානය මුල් කරගත් සංවර්ධන අරමුදලක් ඇති කොට ප්‍රදේශයේ ශාසනික කටයුතු වල අභිවෘද්ධිය වෙනුවෙන් සේවාවක් ඉටු කිරීමයි.


ධර්ම ශාලාව හා පුස්තකාලය


ආවාස ගෘහය

 

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.