Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෝරාගම්මන මයුරපාද විහාරය

මාවනැල්ලේ සිට අරණායක පාරේ පැමිණ ගැවිලිපිටිය හන්දියෙන් දෙබත්ගම පාරට හැරී කි.මී 2ක් පියමං කරන විට මෝරාගම්මනට අප පිවිසේ. මාර්ගය අද්දර විහාරයට මඟ පෙන්වන නාම පුවරුව දැකගත හැකි ය. මහා මාර්ගයේ සිට මීටර 200 ක් දුරින් අතීත මතක සටහන් රැසක් සඟවා ගත් ඓතිහාසික මයුරපාද විහාරය පිහිටා ඇත. එය හතර කෝරළේ පුදබිම් අතර විශේෂත්වයක් හිමිකර ගන්නා ටැම්පිට විහාරයකි.


ටැම්පිට විහාර ගර්භයේ දසුනක්

කුරුණෑගල යුගයේ පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේ මෙය මුලින්ම පුදබිමක් බවට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් ය. එහෙත් ඒ බව සඳහන් ලිඛිත මූලාශ්‍ර හමු නොවේ. මෙහි මයුරපාද නමින් පිරිවෙනක් තිබූ බව ද පූජාවලිය ලියූ බුද්ධපුත්‍ර හිමි මෙහි වාසය කළ බව ද සඳහන් ජනප්‍රවාදයක් පැතිර තිබේ. මෙම ජනප්‍ර‍්‍රවාදය 1892 දී එච් සී පී බෙල්ට ද අසන්නට ලැබී ඇත. (Kegalle Report H.C.P Bell 54 පිට) ආසන්නයේ පිහිටි වාකිරිගල විහාරය වටාද ගෙතී ඇත්තේ මෙම කතාවම ය. පුරාණයේ මෙම පුදබිම් එකම විහාරයකට අයිතිව තිබෙන්නට ඉඩ ඇත.

අද විහාරයේ දැකගත හැකි ඓතිහාසික ගොඩනැගිලි වන්නේ ටැම්පිට විහාරය, දාගැබ සහ මහනුවර යුගයේ ලක්ෂණ පළ කරන සංඝාවාස ගොඩනැගිල්ල ය. පැරණි බෝධියක් ද මෙහි ඓතිහාසිකත්වය පැහැදිලි කරනා සාධකයකි. එයට අමතර නූතන ධර්ම ශාලාව සහ විහාර මන්දිරය ද දැකගත හැකි ය.

මෙය කුඩා ටැම්පිට විහාරයකි. එය ඉදිකර තිබෙන්නේ අඩි 2ක් උස ගල් කණු 4 ක් මත ය. ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 7 ක් අඟල් 7 ක්ද පළලින් අඩි 5 අගල් 3 ක් ද වේ. මෙම ප්‍රතිමා මන්දිරය වටා ප්‍රදක්ෂිණා පථයක් නොමැති වුණත් අඩියක් පමණ පළලැති ලෑල්ලක් පිටතට පන්නවා විහාරය ඉදිකර තිබේ. කලෝටුවාව, මංගලගම වැනි කුඩා ටැම්පිට විහාරවල ද මේ ලක්ෂණය දැකගත හැකි ය. ටැම්පිට විහාරයට ඉදිරිපසින් ආලින්දයක් වැනි කොටසක් පසුකාලීනව එක්කර තිබේ.එය අවුරුදු 100 ක් තරම් පැරණි ඉදිකිරීමක් බව පෙනේ. ඉදිරිපස ආලින්ද කොටසේ සිට ටැම්පිට විහාරයට ඇතුල්වීමට විහාරයේ බිත්තිය මැදින් දොරටුවක් තිබුණ ද එම දොරටුව සහිත බිත්තිය මෑතක දී සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බව දැන ගැනීමට ලැබුණි.

එය පෞරාණික සැලසුම වෙනස් කිරීමකි. ටැම්පිට විහාරයේ පැරණි ප්‍රතිමා දැවයෙන් තනා බදාම ආලේප කළ ඒවා බව සඳහන් ය. මෙහි හිඳි බුද්ධ ප්‍රතිමා 3 කි. මැද පිහිටි ප්‍රතිමාව මකර තො.රණක් යට වැඩ සිටින අතර උසින් අඩි 2 අඟල් 6 කි.


පැරැණි සංඝාවාස ගොඩනැගිල්ල

දෙපස ප්‍රතිමා උසින් අඩි 2 බැගින් වේ.බිත්තිය අඩි 1 අඟල් 4 ක් උස තීරු 3 කට බෙදා ඒවායේ සූවිසි විවරණය චිත්‍රනය කර තිබේ. වියන මල් මෝස්තරයෙන් යුක්ත ය. මෙම චිත්‍රවල පෞරාණිකත්වය හානියට පත්ව ඇත්තේ ඒවා කෘතිම සායම් ආලේපයෙන් විකෘති කර ඇති හෙයිනි. පැරණි සිත්තම්වල ස්වරූපය පවා මෙහි දී වෙනසට ලක්ව ඇත. ටැම්පිට විහාරයට පෙති උළු සෙවිලි කර ඇති අතර ආලින්දයට රට උළු යොදා තිබේ.

විහාරය අසල පිහිටි දාගැබ බුබ්බුලාකාර හැඩැති වන අතර ගර්භය තරමක් උසින් වැඩි ය. බෙල් පරික්ෂා කරන විට (1892) මෙහි පරිධිය අඩි 21 අඟල් 6 ක් වුවද අද වන විට පසුකාලීන අලුත්වැඩියාවන් නිසා දාගැබ තරමක් විශාලව ඇත.එයට යාබදව ඇත්තේ පුරාණ බෝධි වෘක්ෂය යි.

විහාර මලුවෙන් අඩි 120 ක් පමණ දුරින් පිහිටා ඇත්තේ පැරැණි සංඝාවාස ගොඩනැගිල්ල හෙවත් පන්සල් ගෙය යි. එය උඩරට ගෘහ නිර්මාණ ශිල්පය හෙළි කරනා දුර්ලභ ගෘහ නිර්මාණ සැලසුමකි. එහි ඉදිරිපස ආලින්දය කළුගල් ටැම් මත සිටින සේ තනා තිබේ. සංඝාවාස ගොඩනැගිල්ල මැද මිදුලක් වටා ඉදිකර තිබේ. මැද මිදුලට මුහුණ පා භික්ෂූන් වහන්සේ වැඩ සිටින කුටි ඉදිකර ඇත. ඉදිරිපස ආලින්දය අඩි 2ක් පමණ උස ටැම් මත ලෑලි යොදා තැනුවකි.


ටැම්පිට විහාර මන්දිරය

එයට පිවිසීමට කළුගල් පියගැට පෙළකි. එය ඉදිරිපස චාම් සඳකඩ පහණකි. මෙහි ප්‍රධාන උළුවස්ස කළුවර ලීස්තරවලින් සහ ඇත්දත් අලංකරණවලින් සරසා තිබේ. දැන් ඇත්දත් කොටස් දැකගත නොහැකි ය. ඒවා පසුකාලීනව විවිධ පුද්ගලයන් ගලවාගෙන ගොසිනි. විශාල දොර පියන මැද පිත්තල කයිපුඩි වලලු සවිකර ඇත. මහනුවර යුගයේ දී දොරවල් සඳහා යොදා ගත් අගුල ද දැවයෙන් ම නිමකර තිබිුණි. මෙහි දොර වැසීමට ඇති පුරාණ දැව අගුල ද තවමත් හොඳ ක්‍රියාකාරිත්වයෙන් පවතී.

ගොඩනැගිල්ලේ පියස්සට සිංහල උළු සෙවිලි කර තිබේ. එය මුලින්ම තිබූ පෙති උළු වෙනුවට අතීතයේ දී යොදා ඇති බව පෙනේ. පැරැණි බව නිසා පියස්ස අබලන් වී ඇති මේ ගොඩනැගිල්ල දැන් වර්ෂාවට තෙමෙමින් පවතී.

අගනා වාස්තු විද්‍යාත්මක සැලසුමක් වන මෙම ස්මාරකය සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා බලධාරින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. එසේ නොවන්නට මෙම වටිනා සංස්තෘතික උරුමය විනාශ වී යාමට ඉඩ තිබේ.මේ අසලම නව සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

මයුරපාද විහාරයේ වර්තමාන විහාරාධිකාරී වන්නේ මිනුවන්ගැටේ රතනසිරි හිමියන්ය. උන් වහන්සේ ප්‍රදේශයට වටිනා ධර්ම ශාස්ත්‍රීය සේවාවක් කරති. මයුරපාද විහාරය අදටත් මෝරාගම්මන අවට බොදු උවසු උවැසියන්ට දහම් සිසිලස බෙදන පින්බිමක් වශයෙන් කැපී පෙනේ.

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.