Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශෛලමය පිළිම වහන්සේ නිසා ආකර්ෂණීය පින් බිමක් බවට පත් වූ හිගුල්වල ශ්‍රී විජයාරාම මහා විහාරය


පිහිටි ගලෙහි නෙළා ඇති සැතපෙන බුදු පිළිම වහන්සේ

මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයුගයේ රාජසිංහපුර වශයෙන් හැඳින්වූ වර්තමානයේ ජාතික සංස්කෘතික මෙන්ම ඉතිහාස වශයෙන් යුත් හිගුල්වල ග්‍රාමයේ ආගමික කේන්ද්‍රස්ථානය වශයෙන් සලකණු ලබන ශ්‍රී විජයාරාම මහා විහාරය හා සම්බන්ධව ඇත්තේ කිරිකොස්ගහ මුල්කරගත් කථා පුවතකි.


විහාර මන්දිරය

දෙවැනි රාජසිංහරජු ලන්දේසිවරුන්ට විරුද්ධ සටන් මෙහෙයවූවායයි සඳහන් එම කථා පුවතට මෙම විහාරස්ථානයට සමීපව පිහිටි කිරිකොස්ගහ සම්බන්ධ වී ඇත. සටන නැරැඹුම් ස්ථානය වූයේ එම කිරි කොස්ගහයි. මෑතක් වනතෙක් දක්නට ලැබුණු මෙම කොස්ගහ සත්කෝරල මහ දිසාවත්, කන්ද උඩරට මධ්‍යම දිසාවත් සම්බන්ධ කරන සංදිස්ථානය ක් ද විය. දිසා දෙක සම්බන්ධ කරමින් මධ්‍යම දිසාව තෙක් ගමන් කරන විට මුලින්ම දැක ගන්නට ලැබෙන්නේ හිගුල්වල මෙම ශ්‍රී විජයාරාමයයි.

ශ්‍රී විජයාරාමය ආරම්භ කරන ලද්දේ හිගුල්වල පඤ්ඤාජෝති මහා ස්ථවිරයන් වහන්සේ විසිනි. අමරපුර මහ නිකායේ මධ්‍යම පළාත් සංඝනායක පණ්ඩිත අත්තරගම වජිරපෝති නාහිමි විසින් මෙහි ආගමික පරිසරය ප්‍රවර්ධනය කිරීමට පියවර රැසක් ගෙන ඇත. හිගුල්වල පඤ්ඤාජෝති පණ්ඩිත අත්තරගම වජිරජෝති වන මහ තෙරවරුන්ගේ මාර්ගදේශකත්ත්වයෙන් විජයාරාමය අද පවතින ශාසනික දියුණුවේ උසස් තත්ත්වයට පත්කර ඇත්තේ වත්මන් විහාරධිපති පූජාපිටිය ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අලවත්තේගම ධම්මතිලක හිමියෝය. අංග සම්පූර්ණ ධර්මශාලා මන්දිරය, විහාර මන්දිරය සංඝාවාසය අද ශ්‍රී විජයාරාමය පරිපූර්ණත්වයට පත්කර ඇත.


අලවත්තේගම ධම්මතිලක හිමි

අපවත් වී වදාළ හිගුල්වල පඤ්ඤාජෝති නාහිමිගේ සංකල්පයක් අනුව විහාරභූ®මියේ පිහිටි ගල් තලාවක අඩි 17 1/2ක් දිග ශෛලමය බුද්ධප්‍රතිමා වහන්සේ නමක් ද නිර්මාණය කර ඇත. මෙම පිළිම වහන්සේ නිසා ශ්‍රී විජයාරාමය අද කන්ද උඩරට බෞද්ධ ජනතාවගේ සිත් බැඳගත් දර්ශනීය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් වී ඇත. මෙම පිළිම වහන්සේ නිශ්ශංක පියසේන මහතාගේ ධන වියදමින් සාදා පූජා කර ඇති බව සෙල් ලිපියේ සඳහන් වේ.


ඝන්ඨාර කුලුන

මෙම ප්‍රතිමා වහන්සේ දැක වැඳ ගැනීමට දිනපතා විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී විජයාරාමයට පැමිණෙති.

මහනුවර සිට මාර්ග අංක 600 න් හෝ මාර්ග අංක 604 න් මහනුවර සිට හරංකහව පාරෙන් හෝ අඹතැන්න පූජාපිටිය මාර්ගයේ බොක්කාවල නගරයටවිත් හිගුල්වල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගමන්කළ විට වම් පැත්තෙන් කඳුගැටයක දර්ශනීය පරිසරයක පිහිටි මෙම විහාරස්ථානයට පැමිණිය හැක.


දෙමහල් සංඝාවාසය

 

 

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.