Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 8 වන කොටස

චිත්ත වග්ගය

(33) චන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී - උසුකාරෝ වං තෙජනං

අරමුණෙන් අරමුණට - නිරතුරුව සැලෙන සිත - වරදකට යොමු නො වී - රැක ගැනුම අසීරු ය. පුරුදු හී වඩුරාල - ලී ඇදය හරින සේ - නැණැත්තා චපල සිත - හසුරුවා ගන්නේ ය.

හිතවතුනි, මිනිස් සිත - නිතර වරදට නැමේ. නැණැත්තෝ එබඳු සිත - මනා කොට රැක ගනිති.අසංවර වූ සිතින් -විපත් පැමිණෙන්නේ ය. පාලනය වූ සිතින් සම්පත් ගලන්නේ ය.

(34) වාරිජෝ ව ථලේ ඛිත්තෝ –ඔකමොකත උබ්භතො
පරිඵන්දති දං චිත්තං – මරධෙය්‍යං පහාත වේ.

දියෙන් ගොඩ දමන ලද - මාළුවකු පරිද්දෙන් - මිනිස් සිත සැලි සැලී - විවිධ අරමුණු ගනී. සැලෙන ගති සහිත හිත සසර මග දික් කරයි. ඒ නිසා එම සිතෙන් බැහැර විය යුත්තේ ය.

හිතවතුනි, මිනිස් සිත හැම විට ම චංචලය , සසල සිත දිවි ගමන අවුල් කර ලන්නේ ය. එම නිසා තුන් දොරින් සංවරව විසීමෙන් නිසල වූ සිතින් සැප ළඟා කර ගත යුතු ය.

(35) දුන්නිග්ගහස්ස ලහුනො - යත්ථ කාමනිපාතිනෝ
චිත්තස්ස දමථො සාධු - චිත්තං දන්තං සුඛාවහං

මොහොතකින් වෙනස් වන - වරදට ම ඇදී යන - සිත මෙල්ල කරලීම ඉතාමත් අපහසු ය. මෙබඳු සිත කෙසේ හෝ මෙල්ල කරගත් අයට - මෙලොව පරලොව සැපත් ලැබිය හැකි වන්නේ ය.

හිතවතුනි, ඔබේ සිත - වරදට ම ඇදෙන බව වෙන කවුරු නොදනිතත් – ඔබ හොඳින් දන්නේ ය. වරදකට යා නොදී - සිත මෙල්ල කළෝතින් ඔබ කැමැති සැප ඔබට ලැබිය හැකි වන්නේ ය.

(36) සුදුද්දසං සුනිපුණං - යත්ථ කාම නිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවි - චිත්තං ගුත්තං සුඛාවහං

“සිත” කුමක්දැයි කියා - දැන ගැනුම අසීරු ය. ඉතාමත් සියුම් සිත මහා බලවේගයකි. මෙබඳු වූ සිත සියුම් සිත - හසුරුවන නැණැත්තෝ - මෙලොව පරලොව දෙකේ - මහා සැප ලැබ ගනිති.

හිතවතුනි, “ මිනිස් සිත “ අසම සම වේගයකි. ඉතාමත් පුදුම දේ එයින් කළ හැක්කේ ය. එම නිසා සිත ගැනම සිතන්නට පෙළඹෙන්න . ඒ මගින් අරුම වූ සැප උරුම කරගන්න.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.