Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙලිහුල්ඔය මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරය

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත්ව මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානය පිහිටා ඇත. මේ තුළින් ප්‍රදේශයේ බොදු ජනතාවට විශාල ආගමික, ශාසනික, ජාතික සේවාවන් රැසක් සිදුවේ.

බෙලිහුල්ඔය, පඹහින්න නගරයේ සිට කි.මී. 02 ක පමණ දුරින් ද, බලංගොඩ බදුල්ල මාර්ගයේ සිට කෙටි දුරකින් පිහිටි ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉපැරණි පුද බිමකි. විහාරස්ථානයේ ඇති ඉපැරණි බෝධිඝරය පෞරාණිකත්වය කියාපාන ඓතිහාසික සාධකයකි. මූලිකවම මෙම විහාරස්ථානය අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය සංඝරාජෝත්තමයාණන්වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කළ අතර අනතුරුව බලංගොඩ ජිනවරවංශ පඹහින්නේ ජිනපි‍්‍රය යතිවරු විහාරාධිපති ධූරය දරා ඇත. වර්තමාන විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ අධිකරණ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේවෙල විසුද්ධාජිව මාහිමිපාණන්වහන්සේගේ් අනුශාසනා පරිදි බුද්ධ මන්දිරය, ධර්ම ශාලාව, අටවිසි බුදු කුටි සහිත බෝධිඝරය ආදි විහාර සකලාංගයන්ගෙන් පරිපූර්ණ විහාරස්ථානයක් බවට ඉතා කෙටි කලක් තුළ දී දියුණු විය.

සමනල වැවට ජලය සපයන ප්‍රධාන ගංඟාවකින් පෝෂිත මුත්තෙට්ටුවෙගම ගම දිනෙන් දින ජන ගහණයෙන්ද පෝෂණය වනවා පමණක් නොව සබරගමු විශ්වවිද්‍යාලය නිසා අධ්‍යාපන මෙන්ම වාණිජ නගරයක් බවට පත්ව ඇත. මෙම ඓතිහාසික ගම අතීතයේ රජ දවස පවා බත බුලතින් සපිරි කෘෂිකාර්මික ජීවන රටාවකින් පෝෂිත ප්‍රදේශයකි. වසර සිය ගණනකට නෑ උරුමකම් කියන මෙම විහාරස්ථානය තුළින් ප්‍රදේශයේ සමිති සමාගම් පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරති. එපමණක් නොව ‘මනපහන’ නමින් ඉතා දියුණු පුස්තකාලයක් ද පවත්වා ප්‍රදේශයේ දරු දැරියන් රාශියකට එයින් සෙත සලසා දෙනු ඇත.

ඉඹුල්පේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් පනහ අතුරෙන් ඉතා දියුණු තත්ත්වයක පවතින දහම් පාසලක් ලෙස මුත්තෙට්ටුවේගම ශ්‍රී මෛත්‍රී‍්‍ර මූර්ති දහම් පාසල අගය කළ හැකි ය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙසියයක් හා ගුරු මණ්ඩලය දහයකින් සමන්විතය. දහම් වර්ධනය, කථිකත්වය, ගායන නිර්මාණ ශක්තිය දියුණු කර යහපත් පුරවැසි පිරිසක් සැකසීම සඳහා ‘මෛත්‍රී’ නමින් ළමා සමාජයක්ද ආරම්භ කර ඇත. තරගකාරී ස්වරූපයක් තුළින් සිසු සිසුවියන් දිරිගැන්වීමේ අභිලාශයෙන් එය නිවාස වලටද බෙදා දක්වා ඇත.

වසරේ සෑම පසළොස්වක පොහෝ දිනකම සීල සමාදාන ආදි විශේෂ ආගමික වතාවත් වල නිරත කරවනු ඇත. වත්මන් විහාරාධිපති අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අධිකරණ උප ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලබන අතිගරු පල්ලේවෙල සිරි විසුද්ධාජීව නාහිමියන්ට උපහාර පිණිස තෛ‍්‍රයි නිකායික මහා සංඝ රත්නය සියක් නමකට අධික සඟ සතු දානයක් පිරි නමන අතර රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමිතුමන් හා සබරගමු පළාත් ආණ්ඩුකාරවර ජානක පි‍්‍රයන්ත බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 25 , 26, 27 යන තෙදින තුළ විශේෂ උපහාර උත්සව මාලාවක් පවත්වා දිගාසිරි පතනු ඇත.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.