UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැතී...

 

ඔබේ ජීවිතයේ ඉතාම දැඩි ලෙස දුකක් දැනුණු දිනය සිහියට නඟා ගන්න. දෑසින් ගැලූ කඳුළු පිස දමා ඔබ එදා යම් අස්වැසිල්ලක් ලද්දේ ඔබේ දුක බෙදාගන්නට ආ මිතුරන් නිසා නොවේ ද? සැපේදී පමණක් නොව දුකේදීත් එකට එක්වන නැතිබැරි ඕනෑම මොහොතක හැකි තරමින් අත දෙන, ඔබේ හොඳ වැඩ දැක සතුටු වන, නොමඟ යන්නට නොදී හරි මඟට යොමු කර දියුණුවේ රහස් කියා දෙන අවංක කීපදෙනෙක් ඔබ වටා සිටිනවාද? එසේ නම් ඔබ වාසනාවන්තය. ඔබේ සැබෑ පිළිබිඹුව දිග හරින්නට හැක්කේ ඔවුන් හමුවේය. ඔවුන් සමඟ ඕනෑම රහසක් බෙදා ගත හැකිය. ඔබේ හපන්කම් පමණක් නොව දුබලකම් ද ඔවුන් දැන ගත්තාට වරදක් නැත. ජෝර්ජ් සන්තයානා නම් අමෙරිකානු දාර්ශනිකයා කියා ඇති පරිදි මිනිස් සමාජය තුළ අපගේ මිනිසත් බව පෙන්විය හැකි ටික දෙනාට අපි මිතුරන් යැයි කියමු. ඔවුහු කිසි විටෙක පිටු නොපාති. අපව තේරුම් ගනිති. සෙනෙහස දක්වති. අප දෙවිවරුන් නොව මිනිසුන් හෙයින් අප අතින් වැරැදි සිදුවිය හැකි බව තේරුම් ගෙන අපට උදව් කරති. විපතෙන් අප ගළවා ගන්නට මිස අමාරුවේ හෙළන්නට නොපෙළඹෙති. අප සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට දෑත දිගු කරති. ආපසු නොඅදිති.

බෞද්ධ සංස්කෘතිය තුළ මිත්‍රත්වයට ඉතා උසස් තැනක් හිමි වෙයි. මිත්‍රත්වයට දී ඇති වැදගත්කම කෙතරම්දැයි තේරුම් ගැනීමට ඇති හොඳම සාධකය මතු පහළවන බුදුසමිඳුන් ‘මෛත්‍රී’ නමින් හඳුන්වා තිබීමය. ‘මෛත්‍රී’ නමින් හැඳින්වෙන්නේ මිත්‍රයාගේ ස්වභාවයයි. මෛත්‍රීය ඇත්තා මිත්‍රයාය. මිත්‍රයාගේ ස්වභාවය සාම්ප්‍රදායිකව අර්ථකථනය කරන්නේ ආදරය දක්වන (මෙජ්ජති) සහ රැකවරණය දෙන (තායති) යනුවෙනි. එය කෙතරම් හෘදයාංගම, සුවදායක, ප්‍රසන්න සහ ප්‍රායෝගික සබඳතාවක්දැයි එයින් සිතාගත හැකි නොවේ ද? බුදුසසුනෙන් අඩක් ම රඳා පවතින්නේ මිත්‍රත්වය මත බව වරක් ආනන්ද තෙරණුවන් පැවසූ විට බුදුරදුන් වදාළේ ‘එසේ නොවෙයි ආනන්ද, මුලු බුදුසසුනම රඳා පවතින්නේ මිත්‍රත්වය මතය’ යනුවෙනි. අනඳ මහ තෙරුන් වහන්සේ සහ බුදුරදුන් අතර ද සසර බොහෝ කලක් තිස්සේ පැවැති මිත්‍රත්වයක් වූ බව ජාතක කථා තුළින් තහවුරු වේ. ආනන්ද හිමියන් බුදුරදුන් සැතපෙන අතරතුර තමන් නිදි නොලබා ගඳකිළිය වටා රැකවරණ දෙමින් සිටියේත් නාලාගිරි ඇතා බුදුරදුන් දෙසට හඹා එන විට ඉදිරියට පැන්නේත් බුදුරදුන් වෙත උන්වහන්සේ තුළ පැවති පරම මිත්‍රත්වය නිසාය. යමකුගේ දියුණුවට මිත්‍රත්වය තරම් බලපාන වෙනත් කිසිම දෙයක් නොදක්නා බව ද කුසල් වැඩෙන්නට සහ අකුසල් අඩුවන්නට මිත්‍රත්වය විශාල බලපෑමක් කරන බවද භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සාරිපුත්ත සහ මොග්ගල්ලාන දෙනම අධ්‍යාත්මික වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබා අගසවු තනතුරු ලද්දේ සසර කල්ප ගණනක් මිතුදමින් වෙලී එකට ඉපදෙමින් ගුණදම් වැඩීමෙනි. ඒ දෙදෙනාගේ චරිතය තුළින් බොහෝ දෙනා වටහා නොගත් ආදර්ශයක් අවධාරණය කරනු කැමැත්තෙමි. එනම් හොඳ මිතුරකු ඇති කර ගන්නට නම් ඔබ ද හොඳ මිතුරකු විය යුතු බවය. මිතුරෝ ‘මෙන්න මම! මම ඔබට හොඳ මිතුරෙක්! බාරගන්න’ කියාගෙන අහසින් කඩා නොවැටෙති. මිත්‍රත්වය ක්‍රමානුකූලව විධිමත්ව අන්‍යොන්‍ය වශයෙන් ගොඩ නැගෙන්නකි. සැරියුත් මුගලන් දෙමිතුරෝ ආත්ම ගණනක් එකිනෙකාට අවංකව අව්‍යාජව සෙනෙහසින් විසූහ. නිවන් දක්නා ජාති දක්වා නොවෙනස්ව සිටියහ. එහෙත් කච්ඡපුට දිගු කළ මිත්‍රත්වය වැන්නක් සේරිවාණිජ තුළ නොවීය. ඔහු දිගු කළේ තරගකාරී සතුරු ආකල්පයයි. එම ඒක පාක්ෂික මිත්‍රත්වය එක් ජන්මයෙන් ම නැවතුණු අතර සසර වසනතුරුම පැවැත්තා වූ රුදුරු සතුරුකමක් බවට පත්විය. කච්ඡපුට ගෝතම නමින් සම්මාසම්බුදු වී පිරිනිවන් පාන විට සේරිවාණිජ දේවදත්ත නමින් අවීචි මහා නරකාදියේ පැසෙන්නට ගියේය.

මිතුරකු ඇතිකර ගැනීම හදිසියේ අහම්බෙන් ආවට ගියාට කළ යුතු දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ‘පාටින් හැඩයෙන් මිනිසකු හරිහැටි හඳුනාගත නොහැක. කෙටි දැකුමකින් කෙනකු විශ්වාස කළ යුතු ද නැත. නරක මිනිසුන් ද හොඳ වෙස් ගෙන සැරිසරන හෙයිනි. (න වණ්ණ රූපෙන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන) යි බුදුන් වහන්සේ වදාළහ. එහෙයින් කළණ මිතුරන් සහ පාප මිත්‍රයන් හඳුනා ගන්නා පිළිවෙළ පිළිබඳව ඉතා පැහැදිලි නිර්ණායක සිගාලෝවාද සූත්‍රයෙහිදී දක්වා තිබේ. ඒවා ඉතා ප්‍රකට හෙයින් මෙහිලා දක්වන්නට අදහස් නොකැරෙයි. හොඳ මිතුරකු ලද විට දිවිහිමියෙන් ඔහු ඇසුරු කරන සේ උපදෙස් දෙන බුදුරජාණන් වහන්සේ එබඳු අයකු සොයා ගත නොහැකි නම් තනිව විසීම වඩා හොඳ බව අවධාරණය කරති. කුණු මස් එතූ® කොළයක කුස තණ එතුවද ඒවා ද දුගඳ වන බව දක්වන බුදුන්වහන්සේ නරක මිතුරන් සමඟ ගැවසෙන හොඳ තැනැත්තකු ගේ වුවද නම නරක්වන බව පැහැදිලි කළහ. එහෙයින් ඇසුරට තෝරා ගත යුත්තේ ගුණ යහපත් පුද්ගලයන් පමණි.

හොඳ මිතුරකු තෝරා ගත් පසු අපේ යුතුකම වන්නේ ඔහුට ද්‍රෝහී නොවී අවංක මිත්‍රත්වය ප්‍රදානය කිරීමයි. මිතුරන්ට ද්‍රෝහී නොවී අවංකව ඇසුරු කිරීමේ අනුසස් දීර්ඝ ලෙස දක්වන මිත්තානිසංස සූත්‍රය මහපිරිත් පොතට ද ඇතුළත් කර ගෙන නිරතුරුව සජ්ඣායනා කරනු ලැබේ. මිත්‍රද්‍රෝහී නොවන අය නිවසින් බැහැරදී ආහාරපාන, ආරක්ෂාව, පිළිගැනීම ලැබෙන ආකාරය මෙන් ම ආර්ථික සමෘද්ධියට මිත්‍රත්වය හිතකර ලෙස බලපාන ආකාරය ද දක්වන එම සූත්‍රය මිත්‍රත්වය නිසා ජීවිතය ප්‍රමෝදජනක වන ආකාරය මොනවට පැහැදිලි කරයි. මිතුරන් ඇති තැනැත්තා සොර - සතුරු උවදුරු වලින් මෙන්ම බාහිර අනතුරු වලින් ද ගැළවෙයි. ඔහුගේ කායික පෙනුම පවා පියකරු වන බව එම සූත්‍රයෙහි දැක්වෙයි (සිරියා අජහිතෝ හෝති) මිතුරන් ඇති අය ප්‍රමුදිතව නිරෝගීව වාසය කරන අතර දීර්ඝායුෂ ද විඳින බව නූතන මනෝ විද්‍යාඥයෝ ද දක්වති. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙහි මනෝ චිකිත්සා මහාචාර්යව සිටි මිල්ටන් මිලර් පවසන පරිදි මිතුරන් නැති අය අඩු වයසින් මිය යන්නට ඇති ඉඩ අධිකය. ඔවුහු තමන් පිළිබඳ හීනමානයක් සහ ජීවිතය පිළිබඳ අසුබවාදී දෘෂ්ටියක් ඇතිව සිතෙන් තැවෙමින් ජීවත් වෙති. එහෙයින් මානසික මෙන් කායික රෝග වලටද ගොදුරු වෙති. මිතුරන්ගේ ස්නේහය රෝග සුවයට ද බෙහෙවින් බලපාන බව මෑතකදී කරන ලද අධ්‍යයන වලින් හෙළි වී ඇත.

තරගකාරී ආර්ථිකය හේතුවෙන් මිතුරන් ඇසුරෙන් ඈත් වී හුදෙක් මුදල් ඉපයීමෙහි ම යෙදෙන පුද්ගලයෝ ද අද සමාජයෙහි වෙසෙති. මෙය බටහිර සමාජවල ප්‍රශ්නයක් ලෙස ඔබට සිතෙන්නට පිළිවන. ඒ රටවල මේ තත්ත්වය බහුල බව සැබෑවුවද දැන් එය අපේ රටට වුවද ආගන්තුක තත්ත්වයක් නොවේ. මිතුරන් ඇසුර තබා තම බිරිය සහ දරුවන් සමඟවත් පියකරු ඇසුරක් තබා නොගන්නා ව්‍යාපාරිකයෝ මෙන්ම වෘත්තිකයෝ ද ඉඳහිට අපට හමුවෙති. මුලින් ආර්ථික සශ්‍රීකත්වය ලබා පසු කලෙක සමාජ ඇසුරේ ආස්වාදය ලද හැකියැයි ඔවුන් සිතනවා විය හැකිය. එහෙත් මෙය සංවේගදායක මුලාවකි. දැන් ඉතින් මුදල් උපයා ගත්තා ඇති යන අදහස කිසි කලෙක පෘථග්ජනයකු ගේ් සිත් තුළ ජනිත නොවන්නකි. ලෝකයේ අංක එකේ ධනවතා පවා දිවා රෑ නොබලා ධනෝපායනයේ ම යෙදෙයි. එහෙයින් අනිකුත් කටයුතු කරගෙන යන අතරේ ම සමාජ ඇසුරට ඉඩක් වෙන් කරගත යුතු මය. මිතුරන් ඇසුරෙන් ලබන සතුට මුදලින් ලබාගත නොහැක. මුදල් ඉපයීමේ එක් අරමුණක් ලෙස මිතුරන් සමඟ සතුටුවීම (මිත්තාමච්චේ සුඛේති පීනෙති) දක්වා ඇත්තේ එහෙයිනි. මහා කවි තොටගමුවේ ශ්‍රී රාහුල සමිඳුන් ලියා ඇති පරිදි ම කළණ මිතුරෝ බිතු සිතුවම් රූ වැන්නෝ ය. ඔවුහු දුකේදීත් සැපේදීත් හැකි සෑම විට ම එක සේම අප හා වෙසෙති. පිටු නොපාති.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]