UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාතන භාරතීය අධ්‍යාපන සම්ප්‍රදාය

පෙරදිග ලෝකයේ ඉපැරැණි ම අධ්‍යාපන සම්ප්‍රදාය වන්නේ පැරැණි භාරතීයයන්ගේ වේද අධ්‍යාපනයයි. ඉන්දු ආර්යයන්ගේ දිගු කාලීන ඥානය අන්තර්ගත ඉගැන්වීම් සමූහය වේදයේ ඇතුළත් ය. වේද යනු (විද් – උතුම්) දැනුම, දැනීම යන අර්ථය ගෙන දෙන්නකි. ඉන්දු ආර්යයන් ඔවුන්ගේ දිගු කාලීන විශ්වීය අත්දැකීම් එක්කොට ගොනැඟූ මෙම වේදාන්ත දර්ශනය ඔවුන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ ආගමික මෙන්ම පාරිසරික විශ්ව ඥානය ද අන්තර්ගත කොට ගොඩනගන ලද්දකි. එය හුදෙක් ආගමික අර්ථයෙන් ආගමික අභිලාෂයන් මස්තකප්‍රාප්ත කර ගැනීම සඳහා ම සකස් වුණ ද එම වේද සාහිත්‍ය තුළ ඔවුන්ගේ ඉහත කී සියලු චින්තනයන් හා සංස්කෘතිය පිළිබිඹු වේ. ආර්යයන් ඔවුන්ගේ ඥානය සංග්‍රහ කර ඇත්තේ ‘සංහිතා’ යනුවෙනි. බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් ආදි වේදයේ විවිධ කොටස්වලින් ඉහත කී ඥාන සම්භාරය පිළිබිඹු වේ. සංහිතාවන් කොටස් හතරකි.

1. සෘග් වේදය - වේද ශ්ලෝක
2. සාමන් වේදය – ගායනා
3. යජුර් වේදය – ආයාචනා පාඨ
4. අථර්යන් වේදය – යහපත අයහපත සඳහා ප්‍රබන්ධිත මන්ත්‍ර

සෘග් වේදයේ අන්තර්ගත වන්නේ ලෝක නිර්මාපක දෙවියන් හා අනෙකුත් ආකාස්ත භුමස්ත හා අන්තරීක්‍ෂ දෙවියන් පිළිබඳ ප්‍රබන්ධ කරන ලද ස්ත්‍රෝත්‍ර පාඨ ය. සාමන් වේදයේ ඒවාට අදාළව ගායනය කළහැකි ගායනා පාඨ අන්තර්ගත ය. යජුර්වේදය යනු දෙවියන් උදෙසා පුද – පූජා පැවැත්වීමේ දි ඔවුන් වෙත ආරාධනා කරනු ලබන ආයාචනා පාඨ හෙවත් යාඥා කිරීමේ පාඨ ඇතුළත් ග්‍රන්ථයයි. අථර්වන් වේදයේ අන්තර්ගත වන්නේ මිනිසාගේ යහපත වෙනුවෙන් හා අයහපත වෙනුවෙන් කරනු ලබන දෙවියන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කර ගැනීමට භාවිත කළ මන්ත්‍ර ය.

මේ අනුව විවිධ ආගමික අවශ්‍යතාවන්හිදී උපයෝගී කරගැනීම සඳහා භාවිත ශ්ලෝක ඇතුළත් ආගමික ඥානය වේදයේ අන්තර්ගතය. ඉන්දු ආර්යයන් මුල් යුගයේ කර්ම මාර්ගයට මුල්තැන දී තිබුණ ද පසුව ඥාන මාර්ගය වඩාත් අගය කොට තිබේ. ආරණ්‍ය හා උපනිෂද් යුගවලදී ඥාන මාර්ගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. අරණ්‍යගතවීම තුළින් අපේක්‍ෂා කළේ විශ්ව යථාර්ථය පසක් කිරීමට අවශ්‍ය ඥාන ගවේෂණයයි. ආර්යයන්ගේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය අතර කැපීපෙනෙන අධ්‍යයන ක්‍රමයක් නම් උපනිෂද් අධ්‍යාපනයයි. එනම්, ශිෂ්‍යයා ගුරුවරයා සමීපයේ තබාගෙන කරනු ලබන රහසිගත ගුප්ත ඉගැන්වීම් ශිෂ්‍යයාට ප්‍රගුණ කරවීමයි. මේ සඳහා වඩාත් සුදුස්සන් පමණක් යොදා ගැනීම ඉන්දු ආර්යයන්ගේ ස්වභාවයි. ශ්වේතාශ්වර උපනිෂදයේ සඳහන් අන්දමට පුතකු නොවූ කිසිවකුට උපනිෂද් අධ්‍යාපනය ලබා නොදිය යුතු ය.මෙයින් පැහැදිලි වන්නේ එම ගුප්ත ශාස්ත්‍රය ලේ ඥාතීන්ට පමණක් ඉගැන්වීමත් ඒ තුළින් එය ගෞරවනීය ආකාරයෙන් ඉදිරි පරපුරට දායාද කිරීමටත් වෛදික ආර්යයන් ගත් උත්සාහයයි. ෙඓතෙර්ය ආරණ්‍යයට අනුව උපනිෂද් අධ්‍යාපනය ලැබීමට අවම වශයෙන් වසරක්වත් ගුරුවරයා සමීපයේ ගතකළ යුතු ය. ගුරුවරයා යටතේ සියලු අන්තේවාසික ක්‍රියාවල යෙදෙමින් ලබාගන්නා අධ්‍යාපනය මෙයට අයත් වේ. බෘහදාරණ්‍ය උපනිෂදය දක්වන ආකාරයට පුරාතන භාරතීය අධ්‍යාපන සම්ප්‍රදායේ ශිෂ්‍යයකු හික්මීම සඳහා ශික්ෂණ ක්‍රම තුනක් භාවිත කරයි.

1. ශ්‍රවණ – ගුරුවරයා යටතේ හැදෑරීම
2. මනන – නැවත නැවත මෙනෙහි කිරීම
3. නිද්ධ්‍යාශන – භාවනාව කිරීම

පැරණි භාරතීය අධ්‍යාපනය පිළිබඳව ගවේෂණයක යෙදෙන ආචාර්ය එම්. හිරියන්ත මහතා දක්වන්නේ මෙම මූලික අධ්‍යාපන ශිල්ප ක්‍රම භාරතීය ආර්ය ඇදුරන් විසින් ආරම්භ කොට තිබීමෙන් අද දක්වාත් එය පදනම් කරගෙන විවිධ අධ්‍යාපන ශිල්පක්‍රම බිහිව ඇති බවයි.

උපනිෂද් අධ්‍යාපනයේ දී ශ්‍රවණයට ප්‍රමුඛත්වයක් හිමි වේ. එහෙත් එතකින් දැනුම පිරිපුන් වූයේ නොවේ. ඒ සඳහා මනනය ද අවශ්‍ය ය. එනම්, උගත් දේ බුද්ධිමය ස්ථාවරයක් උදෙසා නැවත නැවත මෙනෙහි කිරීම ද අත්‍යවශ්‍යය. එය මනනය නම් වේ. මෙම පුහුණුව සපුරාලීම සඳහා තව දුරටත් විශ්වයේ විවිධත්වය යටින් දිවෙන ‘ඒකත්වය’ තමන් තුළ ප්‍රත්‍යක්‍ෂව දැකීමට කෙළින් ම උපකාරී වන්නේ මෙම ශික්‍ෂණ මාර්ගයේ තුන්වැන්න වූ නිද්ධ්‍යාශනයයි. එනම්, භාවනා වැඩීම යි. එය සාර්ථක කර ගත හැක්කේ සිත වැඩීම පිළිබඳ සෑහෙන තරම් අභ්‍යාසයක් ලැබීමෙන් පසුවයි.

මෙහි ප්‍රාථමික අවස්ථාව හැටියට යෝග්‍ය භාවනා ක්‍රම කිහිපයක් පිළිබඳ කරුණු උපනිෂද් ග්‍රන්ථයන්හි විස්තර කර තිබේ. එම භාවනා ක්‍රම හඳුන්වා ඇත්තේ ‘උපාසනය’ යනුවෙනි. භාවනා ක්‍රමවල පළමු වැන්නෙන් සිත එකඟ කිරීම පිළිබඳ පුහුණුවක් ලැබේ. දෙවැන්න එම අභ්‍යාසයට අතිරේක වශයෙන් අනුවේදනාත්මක පරිකල්පනා ශක්තිය දියුණුකර ගැන්මට හෙවත් තමන් අන්‍යයකුගේ තත්ත්වයට ආරෝපණය කොට සිතීමේ හැකියාව ඇතිකර ගන්නට ඉඩ ප්‍රස්ථා ලැබීමයි. භාවනා කරන්නාගේ ආත්මය බ්‍රහ්මන් හා අනන්‍යව සලකා භාවනා කිරීමෙන් අභිප්‍රේත පරමාර්ථය කරා ළඟාවිය හැකි යැයි විස්තර වේ.

ඡාන්දෝග්‍ය උපනිෂදය විස්තර කරන ආකාරයට මෙම ශික්ෂණ මාර්ගය ශාඛා තුනකින් යුක්ත වේ. එනම්,

1. හෝමය, අධ්‍යයනය හා දානය
2. තපෝව්‍රත
3. බ්‍රහ්මචර්යාව රැකීම

මේ සියල්ල කිරීමෙන් කෙනකුට ස්වර්ග ලෝකවලට සැපත්වීමට පමණක් හැකිවේ. එහෙත් බ්‍රහ්මත්වය අරමුණු වශයෙන් ගත් තැනැත්තා අමරණීය වේ යැයි දක්වා තිබේ.

මෙම අධ්‍යාපනය බොහෝ විට දී ඇත්තේ බ්‍රාහ්මණ වංශිකයන්ට පමණි. අධ්‍යාපනය ආරම්භ වූයේ දොළොස් වැනි වියේ දී බව ශ්වෙතකේතු සිද්ධියෙන් පැහැදිලි වේ. ශ්වේතකේතු වේදය හැදෑරීමට ආචාර්යවරයා වෙත එළැඹියේ දොළොස්වැනි වියේදී ය. විසි හතරවැනි වියේ දී අධ්‍යාපනය නිමා කළේ ය. අධ්‍යාපනය සඳහා ගතකළ කාලය වසර දොළසකි. ඇතැම් විට ගුරුවරයා වෙතින් නොලැබුණු වේද අධ්‍යාපනය පියා විසින් පුතාට ලබාදෙනු ලැබිණ. ඇතැම් විට ගුරුවරයා ද පීතෘ නාමයෙන් හැඳින්විණ.

ශ්වේතකේතුට ආත්මය යන්න පැහැදිලිකර දීමට උපමා කොට ගත්තේ නුග ගෙඩියයි. ආත්මය ද නුග ගෙඩියේ සාරය මෙනැයි පැහැදිලිකර දී ඇත. තවදුරටත් ‘ආත්මය’ යන්න පැහැදිලි කරදුන්නේ ලුණු කැටයේ උපමාවෙනි. ගැඹුරු කරුණු සඳහා උපනිෂද් අධ්‍යාපනයේ දී උපමා යොදාගත් ආකාරය එයින් පැහැදිලි වේ. උපනිෂද් අධ්‍යාපනයේ දී ගුරු - ශිෂ්‍ය සබඳතාව ආරම්භ වන්නේ උපනයනය කිරීමේ ක්‍රියාදාමයත් සමඟ ය. ශිෂ්‍යයකු ගුරුවරයා වෙත පැමිණ උපනයනය විය යුතු ය. එහිදී නියමිත චාරිත්‍ර අනුගමනයෙන් පසු ඔහු උපනයනයට පත් ශිෂ්‍යයකු ලෙස පිළිගැනේ.

උපනයනය කරනු ලැබූ ශිෂ්‍යයා බ්‍රහ්මචර්ය සමාවර්තය දක්වා ගිනි පිදීමට අවශ්‍ය දර සැපයීම, භික්ෂාව ලබාගැනීම, බිම නිදාගැනීම සහ ගුරුවරයාට හිතකර දේ ද කළ යුතු යැයි මනුස්මෘතියෙහි සඳහන් වේ. බ්‍රහ්මචර්යයෙහි දී ආචාර්යවරයා මව හා පියා හා සමාන වන බවද විස්තර කර තිබේ. මෙය මහාවග්ගපාලියෙහි අවධාරණය කර ඇති ගුරු, ශිෂ්‍ය සබඳතාව සිහිපත් කරවන්නකි.

වේද අධ්‍යාපනයේ දැක්වෙන ශිෂ්‍ය චර්යාව අනුව ශිෂ්‍යා විසින් ශාරීරික චර්යා හා අධ්‍යාත්ම චර්යා යනුවෙන් දෛනික ජීවිතයේ කාර්ය දෙකක් කළ යුතු ය.

ශාරීරික චර්යාවන්,

1. කුසතණ බැදි මුවහම් දැරීම
2. හිසකේ වැවීම
3. යාග පිණිස දර සොයා ගිනි දැල්වීම
4. පිඬු සිඟා යාම

අධ්‍යාත්මික චර්යාවන්,

1. දවසට දෙවරක් ගිනි පිදීම
2. ඉන්ද්‍රීය දමනය සඳහා වෙර වැඩීම
3. සිත දෘඨව තබා ගැනීම
4. ජීවිතය උතුම් කාර්යයන් සඳහා යොමු කිරීම
5. තෑගි භෝගාදිය දී ආචාර්යවරයා සතුටු කිරීම

උපනිෂද් යුගයේ අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ ආශ්‍රමයයි. ගුරුවරයා වේද මන්ත්‍ර ශබ්ද නගා වෘත්තානුකූලව කියන විට ශිෂ්‍යයා නැවත නැවතත් එය උච්චාරණය කරමින් උගත යුතු ය. එසේ අසා දැන අධ්‍යාපනය නිම කළ තැනැත්තා ‘බහුශ්‍රැත’ නාමයෙන් සම්භාවනාවට පාත්‍ර විය. උපනිෂද් යුගයේදී වේදය හැදෑරීමට වඩා භාවනාවට ප්‍රමුඛත්වය හිමි විය. දරුවෙකුගේ චූඩාකරණය හෙවත් හිසකෙහෙ කැපීමෙන් අනතුරුව වයස පහේදී පමණ විද්‍යාරම්භය සිදුවී වසර අටේ දී උපනයනය කරන ලදැයි එතැන් සිට බ්‍රහ්මචාරිත්‍රයකු ලෙස ශිෂ්‍යයා ආචාර්යවරයා යටතේ අධ්‍යාපනය ලැබී යැයි පැරණි භාරතීය අධ්‍යාපනය පිළිබඳ කරුණු විමසා බලන ආචාර්ය යූ.ඩී. ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]