Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංඝරාජ හිමියන්ගේ දේහය ආදාහනය කළ දලුක්ගොල්ල රජමහා විහාරය


බුද්ධ ප්‍රතිමාව

මහනුවර නගරය ආසන්නයේ පිහිටි ඉතා වැදගත් විහාරස්ථානයක් වශයෙන් දලුක්ගොල්ල විහාරය වැදගත් වේ. එහෙත් මහනුවරට පැමිණෙන වන්දනාකරුවන් මේ විහාරය පිළිබඳව දැනුවත්ව නොසිටීම නිසා එය වැඳපුදා ගැනීමේ අවස්ථාව මඟ හැරී යාම කනගාටුවකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මෙරට බෞද්ධ ප්‍රබෝධය සඳහා විශාල මෙහෙවරක් කළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ආදාහනය සිදු කළ විහාරස්ථානය වශයෙන් මෙන්ම එකල විශාල ශාසනික මෙහෙයක් සිදු කළ විහාරස්ථානයක් වශයෙන් ද උඩරට යුගයේ දී මෙම පුදබිම කැපී පෙනුණි. සෑම බොදුනුවකුම වැඳ පුදාගත යුතු ස්ථානයකි මෙම විහාරය. එයට විශාල රාජ අනුග්‍රහයක් ලැබිණි. මහනුවර තලාතුඔය මාර්ගයේ ගොස් අම්පිටියෙන් රටේමුල්ල පාරේ හැරී කි.මී.1 ක් පමණ ගමන් කිරීමෙන් මෙම විහාරයට ළඟාවිය හැකි ය. නගර මධ්‍යයේ සිට දුර කි.මී. 5 ක් පමණ වේ. පුරාණ බෙදීම් අනුව මෙම පුදබිම පිහිටා ඇත්තේ මහනුවර ගඟවට කෝරළයේ ය. මෙය පුරාවිද්‍යා රක්‍ෂිත ස්මාරකයක් ලෙස ද වැදගත් වේ.


බිතු සිතුවම්

උඩරට රාජධානි යුගයේ දී මහනුවර සිට හේවාහැට දක්වා මාර්ගය වැටී තිබුණේ තලාතුඔය හරහා ය. අද හඟුරන්කෙත හේවාහැට ප්‍රදේශයට යන වාහන ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ කෙන්ගල්ල හරහා වැටී ඇති පහසු නව මාර්ගය වූව ද, මේ මාර්ගයේ ද හඟුරන්කෙත දක්වා වාහන ධාවනය වේ.

මෙම විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ උපදෙස් පරිදි රාජකරුණා විජේවර්ධන නවරත්න වාසල මුදියන්සේ විසින් ඉදිකරවන ලද්දකි.

ඒ 1765 දී ය. උඩහේවාහැට නුවරඑළිය ප්‍රදේශවල සිට මහනුවර නගරයට පැමිණෙන භික්‍ෂූන් වහන්සේගේ නේවාසික පහසුකම් මුල් කරගෙන මෙම විහාරය ඉදිකරවා තිබේ. එමෙන්ම එකළ දළදා වැඳීම සඳහා මෙම මාර්ගයේ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන වන්දනාකරුවන්ගේ ප්‍රත්‍ය පහසුව සලසන නවාතැන් ස්ථානයක් වශයෙන් ද දලුක්ගොල්ල භාවිත වී තිබේ. එවකට මෙම විහාරය හඳුන්වා ඇත්තේ අම්පිටිය ආරාමය වශයෙන් බව පැරැණි මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙනේ. මන්දාරම් පුර පුවත සඳහන් කරන්නේ එවකට මහනුවර පැවැති ප්‍රධාන අධ්‍යාපන ආයතන හතරෙන් එකක් ලෙස මෙය සැලකුණු බව ය.

සුදුහුම්පොළද අම්පිටිය ද නිත්තවෙල
ගංගාරාම වෙහෙර ද නුවර සිව් පල
ගම්වර දෙවා සිප්සල් වැවස්තා නිල
පත්කර ඉගෙනීම අත් කළ දන සිහල
මන්දාරම්පුර පුවත 644 කව


විහාරාධිපති ඇතිපොල බුද්ධරක්ඛිත නා හිමි

දලුක්ගොල්ල විහාරය කීර්ති ශ්‍රී රජු විසින් රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හිමියන්ට පූජා කර ඇත. ඊට පසුව රජ වූ රාජාධිරාජසිංහ රජු මෙම විහාරයේ නඩත්තුවට ඉඩම් ප්‍රදානය කර ඇත. විහාරස්ථානය සඳහා හැටපස් අමුණක වපසරිය ඇති ඉඩකඩම් ප්‍රදානය කළ බව සඳහන් වේ.

විහාර බිමට යන අපට මුලින්ම දැකගත හැකි වන්නේ උස් පදනමක් මත ඉදි කළ පුරාණ සංඝාවාසයයි. බිත්ති වරිච්චි ය. පසුකාලීන අලුත්වැඩියා සිදුව තිබුණ ද තවමත් පෞරාණික ලක්‍ෂණ දැකගත හැකි ය. ගොඩනැඟිල්ලේ මැද මිදුල වටා දිවයන පරිදි භික්‍ෂු කුටි ඉදිකර ඇත. මැද මිදුලට පහත් වන පියස්ස දරා සිටින්නේ වක්‍රාකාර දැව කුළුණු මගිනි.

ඉදිරිපස ආලින්දයකි. පියස්ස මෑතක දී කොකුඋළු යෙදීමෙන් අලුත්වැඩියා කර තිබේ. භික්‍ෂූන් වහන්සේ වැඩි පිරිසකට නවාතැන් ගත හැකි පරිද්දෙන් මෙය ඉදිකර තිබෙන බව පෙනේ. රජ සමයේ මහනුවරට පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාගේ එක් ප්‍රධාන නැවතුමක් වූයේ මෙම විහාරය බවට, එය සාධක සපයයි. මෙහි සිට විහාර මලුව වෙත ගමන් කිරීමට කලුගල් පියගැට පෙළක් තනා තිබේ. විහාර මන්දිරය පළලින් අඩි 20 ක් පමණ ද දිගින් අඩි 25 ක් පමණ ද වේ. එය ඉදිරිපසින් විහාරයට සම්බන්ධ කළ හේවිසි මණ්ඩපයකි. එය පසුකාලීනව එක් කළ අංගයක් බව පෙනේ. විහාරයට පෙති උළු සෙවිලි කර ඇත. පියස්ස දරා සිටින්නේ ඕලන්ද විහාර ස්වරූපයේ රවුම් කුළුණු 14 කිනි. එම කුළුණු අනුකරණය කර හේවිසි මණ්ඩපයට ද කුළුණු 6 ක් තනා තිබේ.

විහාර මන්දිරයේ ඉදිරිපස ප්‍රවේශ බිත්තියේ අලංකරණ මහනුවර සම්ප්‍රදායේ අනෙක් විහාරවලට සමාන ය. මකර තොරණක් සහ උළුවස්ස දෙපසින් ඇති දොරටුපාල ප්‍රතිමා සහ සිටගත් සිංහරූප දෙකකින් යුක්ත ය.


සංඝරාජ චෛත්‍යය සහ විහාර මන්දිරය

විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා කර්ම මහනුවර සම්ප්‍රදායේ ලක්‍ෂණවලින් යුක්ත ය. මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් දැකිය හැකි ස්ථානයක් ලෙස චිත්‍ර කලා ඉතිහාසය හැදෑරීමේ දී දලුක්ගොල්ල ද වැදගත් වේ. විහාර මන්දිරය හිඳි බුද්ධ ප්‍රතිමාවකින් ද ඒ දෙපස බිත්තියෙහි ඇති හිටි බුද්ධ ප්‍රතිමා දෙකකින් ද සමන්විත ය. හිටි බුද්ධ ප්‍රතිමාවලට මඳක් මෙපිටින් විෂ්ණු සහ සමන් දේව ප්‍රතිමා දෙකකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු පූජා කළ බව පැවසෙන අඩි 3 ක් පමණ උස සඳුන් දැවයෙන් කළ හිඳි ප්‍රතිමාවක් ද මෙහි තිබේ. විහාර බිත්ති, බිතුසිතුවම්වලින් සරසා ඇත. බිත්තියෙහි ඉහළ අර්ධයෙහි දහසක් බුදුවරුන් නිරූපණය කරනා හිඳි බුද්ධ රූප 56 ක් බිත්තිය කොටුවලට බෙදා ඇඳ තිබේ. ඊට පහළින් මලක් අතින් ගෙන බුදු පුදට යන රහතන් වහන්සේගේ රූප 18 ක් ද සිත්තම් කර තිබේ. දොර දෙපස බිත්තියේ සොළොස්මස්ථාන ඇඳ ඇත.

වියන් සිත්තම් අතර නෙලුම් මල් මෝස්තර සහ දිව්‍ය විමානයෙහි වසන මහා බ්‍රහ්මයා සහ දේවරූප දැකගත හැකි ය. විහාරය ඉදිරිපස පිහිටා ඇති අතුපතර විහිදා ලූ බෝධි වෘක්‍ෂය වසර සිය ගණනක් පැරැණි බව පෙනෙයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම විහාරය ඉදිකරවීමට පෙර මහනුවර යුගයේ දී මෙරට බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ වූ වැලිවිට සරණංකර හිමි මෙහි කන්දේ පිහිටි ලෙනක කලක් වැඩ වාසය කළ බව ජනප්‍රවාදයේ එයි. වැලිවිට සරණංකර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු වූයේ දලුක්ගොල්ලේ දී ය.

අසූ අවුරුදු අඩ මසක් ආයු වැළඳූ වැලිවිට සංඝරාජ හිමියෝ ශක වර්ෂ 1700 දී ඇසළ මස (ක්‍රි.ව. 1778) මල්වතු විහාරයේ දී අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු එයින් මහත් ශෝකයට පත්ව රාජ අනුග්‍රහයෙන් ආදාහන කටයුතු සූදානම් කළ බව සංඝරාජ සාධු චරියාව දක්වයි.

මහත් වූ උත්සවයෙන් රාජ නියෝගයෙන් අම්පිටි විහාරයට (දලුක්ගොල්ල) රැගෙන ගොස් සුසජ්ජිත නව මහල් ගිනිගෙයි චන්දන දාරු ආදිය බඳනා ලද දර සෑයෙහි හොවා ආදී වශයෙන් සංඝරාජ සාධු චරියාවෙහි දැක්වේ. මෙම ආදාහන ස්ථානය සලකුණු කරන පැරැණි නා ගසක් සහ නුග ගසක් විහාරයේ සංඝාවාසයට පහළින් පිහිටා තිබේ.

සංඝරාජ හිමියන්ගේ ආදාහනයෙන් සතියකට පසු අස්ථි ගෙන මතක දානය දී අම්පිටිය ආරාමයෙහි විහාර මළුවෙහි සිව් දිසාවේ ඇමැතියන් ලවා දාගැබක් බඳවා ඒ අස්ථි නිදන් කොට ඒ චෛත්‍යයට සංඝරාජ චෛත්‍යයැයි පූජා සත්කාර කළ බව දැක්වේ. අඩි 20 ක් උසැති ඝණ්ඨාකාර හැඩැති මෙම කුඩා දාගැබ අදත් විහාර භූමියේ ප්‍රතිමා මන්දිරය පිටුපස දැකගත හැකි ය. මෙය 1965 දී පිළිසකර කර ඇත. කාලයක් යනතුරු මල්වතු විහාරයේ භික්‍ෂූන්ගේ ආදාහන මලුව වශයෙන් සැලකුණේ ද දලුක්ගොල්ලයි.

වර්තමානයේ දලුක්ගොල්ල විහාරයේ දියුණුවට කටයුතු කරමින්, ආගමික කටයුතු රැසක් ඉටුකරමින් ඇතිපොල බුද්ධරක්ඛිත හිමියෝ මෙහි විහාරාධිපති ධූරය දරති. අදත් ප්‍රදේශයේ ශාසනික කටයුතුවල දී ප්‍රමුඛත්වයක් ගන්නා විහාරස්ථානයක් වශයෙන් දලුක්ගොල්ල සඳහන් කළ හැකි ය.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.