Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 3 කොටස

12. සාරංච සාරතො ඤත්වා - අසාරංච අසාරතො,

තෙ සාරං අධි ගච්ඡන්ති - සම්මා සංකප්ප ගොචරා

හරි දැකීමක් තිබෙන - ලෝකයේ නැණවැත්තෝ සරු නිසරු සියලු දෙය - හොඳින් වටහා ගනිති. ඒ අනුව සියලු දෙය, හොඳින් වටහා ගනිති. ඒ අනුව ටිකෙන් ටික, කෙළෙස් බර ලිහිල් කොට - අජර වූ අමර වූ - නිවන හඳුනා ගනිති...

හිතවතුනි, හොඳ නරක, දෙකෙන් පිරි ලොවක් මැද - සිටින අප හොඳ නරක - හොඳින් හැඳිනිය යුතුය. හොඳ දෙයක් නරක ලෙස - නරක දේ හොඳක් ලෙස - පෙනෙන්නට ඉඩ තිබේ . පරෙස්සම් විය යුතු ය. තුණුරුවන් හැඳින ගෙන - දිවිය ගත කළ යුතුය. ඒ අතර අරි අටැඟි - මග අනුව යා යුතු ය. එසේ වූ කිසිවකුට - මග නොවරදින්නේ ය. මෙලොව පරලොව දෙකේ - සැපත් හිමි වන්නේ ය.

13. යථාගාරං දුච්ඡන්නං - වුට්ඨි සමති විජ්ඣති,

එවං අභාවිතං චිත්තං - රාගො සමති විජ්ඣති

වැරැදි ලෙස සෙවිලි කළ - ගෙය තුළට වැසි ජලය - වසින විට ඉතාමත් - පහසුවෙන් එන්නේය. භාවනා ආදියෙන් - නොහික්මුණු සිත තුළට - ඒ ලෙස ම ‘රාගය ‘ ද පහසුවෙන් එන්නේ ය.

14. යථාගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමති විජ්ඣති

එවං සුභාවිතං චිත්තං - රාගො න සමති විජ්ඣති

ගෙයක් නිසි පරිද්දෙන් - සෙවිලි කර තිබේ නම්, වසින විට වැසි ජලය ඇතුළට නො එන්නේ ය. භාවනා කිරීමෙන් සුසංවර සිත තුළට - ඒ ලෙසම කිසි විටෙක ‘රාගය’ නො එන්නේ ය.

හිතවතුනි, මේ මිනිස් සිත තුළට නිරුතුව පසිඳුරන්ගේ මගින් අරමුණු ලැබෙන්නේ ය. ලැබෙන අරමුණු අනුව සිත තුළට ගලා එන නොයෙක් සිතුවිලි අතර ‘රාගය’ ද බලවත් ය. අසංවර සිත තුළට ‘රාග‘ සිතුවිලි ගලයි. සුසංවර සිත තුළට ‘රාග‘ සිතුවිලි නො එයි. ‘රාග‘ සිතුවිලි නිසා සිත කිලිටි වන්නේය. කිලිටි සිත පාපයට-  නැඹුරු වන්නේ ය. ඒ නිසා තුන් දොරින් - පව්ම සිදු වන්නේය. දුකින්පිරි මේ සසර - තවත් දික්වන්නේය. පාපයට නැඹුරු නැති - තුන් දොරින් නිරතුරුව - පින්ම සිදු වන්නේ ය. සසර කෙටි වන්නේ ය.

15. ඉධ සොචති පෙච්ච සොචති - පාපකාරී උභයත්ථ සොචති

සෝ සොවති සො විහඤ්ඤති - දිස්වා කම්මකිලිට්ඨ මත්තනො

පව් කරන තැනැත්තා - මෙලොවදී ශෝක වෙයි. පරලොවේදීත් ඔහුට - ශෝකය ම උරුම වෙයි. තමා තුන් දොරින් කළ - පාපයන් දැකීමෙන් - සසර වසනා තුරා දුක්ම විඳගන්නේ ය.

16. ඉධ මොදති, පෙච්ච මොදති - කත පුඤ්ඤෝ උභයන්ථ මොදති

සො මොදති සො පමොදති - දිස්වා කම්මවිසුද්ධි මත්තනො

පින් කරන තැනැත්තා - මෙලොව දී සතුටු වෙයි. පරලොවේදීත් ඔහුට - සතුට හිමි වන්නේ ය. තමා තුන් දොරින් කළ - මහා පින් දැකීමෙන් - සසර වසනා තුරා - සැපම විඳ ගන්නේය.

හිතවතුනි, හිත, වචන - කය, කියන තුන් දොරින් - පව් කරන තැනැත්තා - දෙලොව දී දුක් විඳී. පින්කරන තැනැත්තෝ මෙලොව පරලොව දෙකේ - දුක්විඳීමෙන් තොරව, සැපම විඳ ගන්නෝ ය. අසංවර තුන්දොරින් - කළ දෙයින් දුක් ලැබේ. සංවරව කළ දෙයින් - නිසැකව ම සැප ලැබේ.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.