Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරෝපකාරය සංකේතවත් කළ පිංතාලිය

පිංතාලිය,පරෝපකාරය නමැති සත්ක්‍රියාවේ ප්‍රභවය පැරැණි සමාජ ජීවිතය තුළ විනිවිද ගිය විරල අවස්ථාවක් විය.ඒ මගින් කිසි ප්‍රතිලාභයක් අපේක්‍ෂා නො කළ ඔවුන්, එයින් පිපාසාව සංසිඳවා ගනු ලැබුවේ කවරෙකු විසින් ද යන්න සම්බන්ධයෙන් වුව විමසිලිමත් වුයේ ද නැත. ඔවුන් සම්බන්ධයෙන් සලකා බලන විට ධර්මය පිහිටා තිබුණේ ඔවුන් ගේ සන්තානයේ යැයි කීම නිවැරැදි ය.


තණ්හාව උපදින්නේ කොතැනක ද යනුවෙන් කෙනෙක් විමසුව හොත් එහි මුල නිධානය ඇත්තේ මිනිසා ගේ හද තුළ යැයි බොහෝ දෙනා පවසනු ඇත. කාසිය පුදසුනෙ හි තබා වැඳුම් පිදුම් කරන අද වැනි සමාජයක ට එම නිගමනයෙහි වලංගුභාවයක් තිබිය හැකි ය. එහෙත් අප පැරැන්නන් ගේ බොහෝ ක්‍රියා තුළ තණ්හාව පිළිබිඹු වූයේ නැත. බඩ සයින් මහ මඟ වැතිරී සිටිනා මිනිසෙකුගේ කුස ගිනි නිවන්න ට ක්‍රියා කිරීම හෝ එවනේකුගේ පිපාසාව සංසිඳවීම ඔවුන් දුටුවේ මහා දානමය ක්‍රියාවක් වශයෙනි. ඔවුන්ගේ එවන් සත් කි‍්‍රයාවකි මඟ යන එන අය ගේ පිපාසාව සංසිඳවාලන්නට පිංතාලියක් පවත්වා ගෙන යාම.

බුදු බව පතන බෝසත්වරු මහමෙර පරයන සේ හිස් ගොඩක් ඇස් ගොඩක් දන් දුන් සේක යනුවෙන් අසන අපේ උපාසක උපාසිකාවන් දෑත් ඔසවා සාදුකාර දෙන්නේ එහි සැබෑ අර්ථය හැඳින ගෙන නො වන්නේය. ඒ උතුමන්ලා සංසාරයේ අනේක ජාතිවල දී හිස්, ඇස් ආදිය දන් දුන් සේක. ඒ බෙලි කපා , ඇස් උගුලා නොව, ලෝකයා ගේ විමුක්තිය පිණිස ඔලුව වෙහෙසා, මොලය වෙහෙසා , ඇස වෙහෙසා, අසීමිත කැප වීමක් කිරීමෙනි. ස්වකීය දර්ශන ශක්තිය සව්සතුන් ගේ යහපත පිණිස යෙදීම ඇස් දන්දීමක් වශයෙන් ද, ශ්‍රම ශක්තිය කැප කිරීම මස් දන්දීමක් වශයෙන් ද බෞද්ධ සාහිත්‍යකරු විසින් වර්ණනා කොට පෙන්වා දෙනු ලැබ ඇතිවා මිස එවැනි නිරර්ථක ක්‍රියාවක් ප්‍රඥාවත් බෝසතුන් කළා නො වන්නේය.

ඇත්ත වශයෙන්ම, බෞද්ධ සාහිත්‍ය පොත්වල සඳහන් ඉහත සඳහන් වර්ණනා සිතට ගෙන වත් පොහොසත්කම් ඇති අපේ බොහෝ ඇත්තෝ අහසේ වළාකුළු කපා යන තරම් උස් ඝණ්ඨාස්ථම්භ ආදිය ගොඩ නංන්වන්නට වෙහෙසෙතත්, නැති බැරි එක නර සතෙකුගේ සිත සනසන්නට සිත ගොඩ නංවා ගන්නට පිහිටක් වන්නේ නම් බුදු පියාණන් ගේ මඟ යන්නෙකුට කළ හැකි උසස්ම පූජාව එය වන්නේය. පිංතාලියකට දින පතා දිය රැස්කර තැබූ ගැමියෙකු ගේ පුණ්‍ය ක්‍රියාව පිළිබිඹු කළේ ද එවන් පුජාවකි.

වෙසක් හෝ පොසොන් පොහෝ දිනක පූජා භූමි ආශි‍්‍රතව ද , මග තොට ද අද මහා ඉහළින් දකින දන්සලත් පිංතාලියත් අතර ඇත්තේ පුළුල් පරතරය කි.දන්සැලකින් ලැබෙන සත්කාරය බොහෝ දෙනා භුක්ති විඳින්නේ පෙරැත්තය නිසාය.

එසේ නැත්නම් හුදු විනෝදාස්වාදය සඳහා ය. එහෙත් ඒ කාර්යය තුළින් වුව මෙය අසවල් හාමුදුරුවන් ට ය කියා වෙන් කිරීමක් හෝ ප්‍රභේදයක් හෝ නැතිව තථාගතයන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා හට පූජා කරන දානය සාංඝික දානයක් වශයෙන් අපි පිළිගනිමු. ඇතැම් විට එම දානය සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක්ද තබා දෙන්නේ නම්, එය බුද්ධ ප්‍රමුඛ මහා දානයක් වන්නේ ය. මඟක් යාබදව ‘පිංතාලියක්’ තැබූ පැරැණි ගැමියා ද මේ පැන් අසවල් මගියා ට ය කියා වෙන් කිරීමක් කළේ නැත. ඒ පිපාසාව තිබූ සෑම කෙනෙකු ගේ ම ප්‍රයෝජනය සඳහා පිරිසුදු සිතින් කළ කුසල් ක්‍රියාවක් විය. ඒ අනුව ද එය පූජාගත දානයක් වි ය.

පැරැණි ගැමියන් ජන කවියෙන් පිංතාලිය කෙරෙහි අනුරාගය දක්වා ඇත්තේ මෙසේය.

පිංතාලිය සැදුවෙ බෝසත් විදානේ
පැන් බීවෝ මඟි දන සිතු ලෙසානෝ
දෙවි ලෝ වැඩිය ඒ ගුණ කඳාණෝ
පිංතාලිය බින්දේ දෙව්දත් පුතාණෝ
පිනට ලැබුණි පැන් හැම තැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණෙයි ආලේ
මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
පවට අපේ මොනවා කරමුද රාලේ

අද මෙන් පෙර දවස ප්‍රවාහන පහසුකම් හෝ මඟ දෙපස සැම තැනකම ආපනශාලා හෝ නො තිබුණු හෙයින් පිංතාලියෙන් සිදු වූයේ සුවිශේෂ සේවයකි. එයට දායකවන්නන් තුළ අභ්‍යන්තර සංවරයක් ඇති වන්නේ නම් එය නිශ්ඵල ක්‍රියාවක් වන්නේ නැත.

නමුත් පිංතාලිය,පරෝපකාරය නමැති සත්ක්‍රියාවේ ප්‍රභවය පැරැණි සමාජ ජීවිතය තුළ විනිවිද ගිය විරල අවස්ථාවක් විය.ඒ මගින් කිසි ප්‍රතිලාභයක් අපේක්‍ෂා නො කළ ඔවුන්, එයින් පිපාසාව සංසිඳවා ගනු ලැබුවේ කවරෙකු විසින් ද යන්න සම්බන්ධයෙන් වුව විමසිලිමත් වුයේ ද නැත. ඔවුන් සම්බන්ධයෙන් සලකා බලන විට ධර්මය පිහිටා තිබුණේ ඔවුන් ගේ සන්තානයේ යැයි කීම නිවැරැදි ය. ගසේ ස්වභාවය එහි ඵල වලින් දැන ගත හැකි වනවා මෙන්ම, ඔවුන් ද බෞද්ධයන් වශයෙන් පෙනී සිටියේ හැකිතාක් දුරට එය ක්‍රියාවෙන් පෙන්වා දෙමිනි.

තම කුසගින්න නිමා ගන්නට වෙස්සන්තර රජු ගෙන් ජාලිය ක්‍රිෂ්ණජිනා යන දරු දෙදෙනා ඉල්ලූ පූජකයන් අද නැත. අද ඇත්තේ මග තොට දී ශත පහක් දහයක් ඉල්ලා අත පාන යාචකයන් ය.

නමුත් තමා වෙත දිගු වන එවන් අතක් නො දුටුවා මෙන් සිටින ඇතැම්හු සිය වත් පොහොසත්කමේ හැටි හැටියට තරගකාරීව මුදල් වියදම් කොට, පින්කම්, ධර්ම දේශනා ආදිය මහා උත්සවාකාරයෙන් සංවිධානය කරන්නට නම් පසුබට නො වෙති. එහෙත් ඔවුන් අතර බණ අහන්නන් බොහෝ වෙතත් අදහන්නන් ඇත්තේ එක් අයෙක් දෙදෙනෙක් පමණි.

පුද්ගලයා ගේ කීර්තිය හා ප්‍රභූත්වය සොයා කරන මෙවන් ක්‍රියා මගින් ඔහුගේ ලෝභය අඩුකර ගැනීමක් හෝ දෙනු ලබන්නා කෙරෙහි ද්වේශ ඈත් වී, මෛත්‍රී සිතිවිලි පහළ කර ගැනීමක් හෝ, මෝහයෙන් ඈත් වී අමෝහය හෙවත් ප්‍රඥාව පහළ කර ගැනීමක් හෝ සිදුවන්නේ යැයි පිළිගත නො හැකිය.

බොහෝ විට පාගමනින් ගමන් බිමන් ගිය මගියා ගේ පිපාසාව සංසිඳ වූ පිංතාලිය සංකේතවත් කළේ පූර්ණ පුණ්‍ය ක්‍රියාවකි.

පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ වස්තුවක් නිර්ලෝභීව පරහට දීම දානය යි. දෙන වස්තුව හා දීම යන දෙකටම ‘දානය’ යන වචනය ව්‍යවහාර කරනු ලැබූවත් දානමය කුසලය වනුයේ දෙන වස්තුව නොව දීම යන ක්‍රියාව යි.

ඒ අනුව පිංතාලියකින් පුදනු ලැබුවේ ළිඳකින් නොමිලේ ලබා ගත් පිරිසුදු ජලය වුවත්, එය පවත්වාගෙන ගිය සැදැහැවත් ගැමියාගේ චේතනාව වූවේ මගියා ගේ පිපාසාව සංසිඳවීමයි. එය තියුණු වශයෙන් මහා පුණ්‍ය කර්මයක් වී ය.

දීම සාමාන්‍යයෙන් එකක් වුව ද බෞද්ධයා ට එය දානය, පුජාව යනුවෙන් දෙවැදෑරුම් වේ. තමාට වඩා උසස් වූ බුදුන් වහන්සේ ආදි උත්තමයන් වහන්සේ ට දීම පූජා වන අතර, සෙසු දීමනා දාන වශයෙන් සැලකුව ද නිවැරැදිය. පූජාවට මහත් ඵල ලැබෙන බව සැබෑව කි. අද බොහෝ දෙනා පෙළෙඹෙන්නේ ද පූජාවට මිස දානයට නො වන බව ද නො රහසකි. එහෙත් අපේ පැරැණි සැදැහැවන්තයෝ දීම පූජාවට පමණක් සීමා නො කළ හ. පිංතාලිය ඔවුන් ගේ දීමේ හිතවාදිභාවය හා පරාර්ථකාමිත්වය ප්‍රකාශ කළ ප්‍රබල සාධකයක් විය.

අපේ ගැමි සැදැහැවත්හු අදද තම කෑම පිඟානෙන් පළමුව බත් පිඩක් වෙන් කොට, එළිමහන් තැනක රඳවා ඇති බඳුනක තබති. එය පිළිගැනීමට පුරුදු පුහුණු වී ඇති සතුන් හට එය ඉමිහිරි ආහාරය කි. දානයක මූලිකාංග සැමකක් ම මේ කුඩා ක්‍රියාවේ ගැබ්ව ඇත.

බුදුපියාණන් වහන්සේ එය පෙන්වා දී ඇත්තේ මෙසේ ය. “මහණෙනි, මම යම් සේ දානයාගේ විපාකය දනිමි ද, මේ සත්ත්වයෝ ද එසේ දනිත් නම් දන් නො දී තුමු නො වළඳන්නා හ. මසුරු මලය ඔවුන් ගේ සිත යට කර ගෙන නො සිටින්නේය. ඔවුන් ට යම් අන්තිම බත් පිඩක් වේ නම් එයින් ද දන් දී වළඳන්නාහුය.”(ධම්ම පදය)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.