Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර නූපේ තොටමුණ ජය මහා විහාරය


විහාර මඳුරේ ඇති අට විසි බුදු රූ

මාතර නිල්වලා නදිය මුහුදට ගලා බස්නා තැන තොටමුණ නමින් හැදින්වේ. මේ ප්‍රදේශය ආශි‍්‍රතව පැරැණි ඉතිහාසයක් අති පිරිවෙන් විහාරස්ථානයක් පසුගිය සුනාමි විපතේදී අවතැන් ජනතාවට පිහිටවූ අයුරු අදත් කථා බහට ලක්ව පවතී.

මාතර නූපේ තොටමුණ ජයමහා විහාරය නමින් මෙම පින්බිම හඳුන්වයි. ක්‍රි.ව. 1810 දී මාතර ශ්‍රී අග්‍රසාර නාහිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මේ විහාරයේ පසුකාලීන ආධිපතිත්වය දැරුවේ මාතර මේධානන්ද මහා නා හිමියන් ය.

උන්වහන්සේගේ යුගයේ විහාරයේ විශාල ප්‍රගතියක් ඇතිවූ අතර වීරබා මහ පිරිවෙන නමින් භික්ෂු අධ්‍යාපන ආයතනයක්ද ආරම්භ විය. මේ මහපිරිවෙනේ වත්මන් විහාරාධිකාරි වන්නේ පූජ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත දොඩම්පහල අමරසිරි හිමිය.

තොටමුණ ජය මහා විහාරය ඇතුළු ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේද අධිපතිත්වය දරනු ලබන්නේ අධිකරණ සංඝනායක දොඩම්පහල අමරවංශ නා හිමියන් ය.


ඉදිවෙමින් පවතින භික්ෂු නේවාසිකාගාරය

සියලු විහාරාන්ගයන්ගෙන් සම්පූර්ණ මෙම පිරිවෙන් විහාරයට දායක පවුල් හාරසිය පනහකින් සැදුම්ලත් ජයමහා විහාර සංවර්ධන සභාව නමින් දායක කමිටුවක් ඇත. ගිහි පැවිදි ශිෂ්‍යයෝ හැටක් පමණ නේවාසිකව අධ්‍යාපනය ලබති.

ශ්‍රී අග්‍රසාර දහම් පාසල, විහාරස්ථ පුස්තකාලය සහ ඉදිවෙමින් පවතින භික්ෂු නේවාසිකාගාරය ජයමහා විහාරයට මහත් දායකයක් වී ඇත.

වීරබා පිරිවෙනේ ආචාර්ය සහ විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී කිරම ධම්මවංශ හිමිද, මාතර ආනන්ද හිමිද මෙම විහාරයේ දියුණුවට ඇප කැප වී සිටිති. විහාරයේ දියුණුවට ධනපරිත්‍යාග කරමින් ඉදිකිරීම් වලට දායක වූ පින්වත්තු රැසක් සිටිති.


දොඩම්පහල අමරසිරි හිමි

පැරණි පොහොය ගෙය හෙවත් සීමා මාලකය ශත වර්ෂ දෙකකට වඩා පැරණිය. සංඝාවාසය, දානශාලාව, ධාතුමන්දිරය, අලංකාර චෛත්‍ය, බෝධිමළුව, පුස්තකාලය ප්‍රතිසංස්කරණය කරනලද බුදුමැදුර සෙසු විහාරංගයන් අතර වෙයි. අටවිසි බුදු පිළිම වහන්සේගෙන් සහ අලංකාර සිතුවමින් යුත් බුදුමැදුර බැතිමතුන්ගේ වන්දනීයත්වයට පත්ව ඇත. මේ පිරිවෙන් විහාරස්ථානය මගින් වාර්ෂිකව දායක සභාව එක්ව තොටමුණ පොසොන් පෙරහැර පවත්වමින් ආගමික හා ශාස්ත්‍රීය සේවාවන් රැසක් ප්‍රදේශයට සිදුකරයි.

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.