Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශීත කඳුකරයට දහම් සිසිලසක් ලිඳුල බෝධිමළු විහාරය


බෝධීන් වහන්සේ අසල දසුනක්

කඳු පන්තීන්ගෙන් ගහන මනරම් භූමියෙක පිහිටි ලිඳුල නගරයේ ඇවිද යන අපට නම් දැනෙන්නේ වෙනත් දේශයක නුපුරුදු පරිසරයක නුහුරු මිනිසුන් මැද හුදකලා වීමක් වැනි හැඟීමකි. අප දෛනිකව දිවි ගෙවන ප්‍රදේශයට හාත්පසින්ම වෙනස් කාලගුනයක්, දේශගුණයක්, පරිසරයක්, ජනතාවක් නිසා මෙවන් හැඟීමක් ජනිත වීම අරුමයක් නොවේ යැයි සිතේ.

එවන් නුහුරු පරිසරයක බෞද්ධ පන්සලක් දැකීමට ලැබීමත් බෞද්ධයන් වූ අප හිතට ගෙන දෙන්නේ සතුටකි. චකිතය පහව යන සැහැල්ලුවකි. හැම තැන ඇති හින්දු කෝවිල් අතර කුඩා බිම් කඩකට සීමා වුවත්, පරිපූර්ණ වූ විහාරස්ථානයක් නොවුනත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිඳුල බෝධිමළු විහාරය ලිඳුල නගර මධ්‍යයේ දැක ගැනීමට ලැබීම හිතට ජනිත කරවන්නේ යෝධ ශක්තියකි. එම නිසාම මෙවර වෙහෙර විහාර විශේෂාංගයට බෝධිමළු විහාරය පිළිබඳව සටහනක් තැබීම වැදගත් යැයි හැඟේ. ලිඳුල ප්‍රදේශයේ වැඩකරණ බහුතරයක් ද්‍රවිඩ ජනතාව අතර බෞද්ධයන් සිටින්නේ 350 ක් පමණ වන සුළුතරයකි. හුදෙක් ඒ සුළුතර ජනතාවගේ ආගමික සාමාජික අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙම විහාරස්ථානය ගොඩනැගී ඇත්තේ මීට වසර 65 කට 70 කට ප්‍රථමයෙන්ය. නොයෙකුත් අභියෝග මැද මෙවන් ස්ථානයක මීට වසර 70 කට පමණ එපිට මෙවන් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිවීමත් බරපතල අභියෝගයක් වූවාට සැක නැත. 1962 වසරේදී පමණ මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් මෙතනට වැඩම කළ පනාවෙල සෝමරතන හිමියන්ගේ එඩියෙන් සවියෙන් විහාරස්ථානයේ යම් ප්‍රවර්ධනයක් ඇති වූ බව කියැවේ.


ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමා වහන්සේ

විශාල භුමි බහුල පරිසරයක මෙම විහාරස්ථානය වෙනුවෙන් වෙන්ව ඇති බිම් කඩ අක්කර 1/2 කට පමණ සීමා වී තිබේ. ඉනුත් කොටසක් සසුනට පූජා කර ඇත්තේ අමරසුරිය නම් පරිත්‍යාගශීලි පින්වතකු විසිනි. මුහුදු මට්ටමේ සිට වඩා උසකින් පිහිටි ශීත කඳුකරයේ සිටින්නේ බහුතරයක් දමිල හින්දු භක්තිකයන්ය. බෞද්ධ ජනතාව සුළුතරයකි. එවන් පසුබිමක වන විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ බොහොමයක් වාසයට වැඩි කැමැත්තක් නොදක්වති. දැඩි ශීතල නිසා සෙම් අපහසුතා පීනස, ස්වසන අවහිරතා ආදියෙන් ව්‍යාධියට පත්වී ආගන්තුක භික්‍ෂූන් වහන්සේට වන තවත් බාධාවකි. මෙම ප්‍රදේශය නියෝජනය කරන බහුතරයක් දමිල දේශපාලඥයන් තම ආගම වඩා හිඳුවීමට කැප වෙමින් බොහෝ සේ කෝවිල් දේවාල ඉදිකරති. ඒවා දියුණු තියුණු කර ගැනීමට අත හිත දෙති.

මේ ප්‍රදේශයේ බෞද්ධ නියෝජිතයන් බෞද්ධාගමික සිද්ධස්ථාන දියුණු කිරීමට උනන්දු නොවන ඇල්මැරුණූ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ද මෙහි වසන භික්‍ෂූන් වහන්සේ මන්දෝත්සාහයට පත්වන බව මෙම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ පවසති.

දානෙ ටික පමණක් ලැබුණු පලියට අනෙකුත් අවශ්‍යතාවයන් නොසැපයෙන තත්ත්වයක් තුළ කඳුකරයේ විහාරස්ථානයන් බහුතරයක් පෙළෙන්නේ මන්දපෝෂණයෙනි. විශේෂයෙන් වතුකරයේ ඇති අතලොස්සක් වූ සිද්ධස්ථාන කෙරෙහි අවධානය අඩුවන තරමට ඒවා දියුණු නොවේ. වසර 70 ක පමණ කාලයක් ගෙවී ගියද ලිඳුල බෝධිමළු විහාරයේ වර්ධනය ද මන්දගාමී වී ඇත්තේ ඉහත හේතූන් ගේ බලපෑම නිසාවෙනි. මෙම විහාරස්ථානයේ පැත්තක බෝධීන් වහන්සේ දක්නට ලැබේ. ශීත දේශගුණයට එතරම් පි‍්‍රය නොකරන බෝ වෘක්ෂයක් රෝපණය කර වර්ධනය කර ගැනීමද අපහසු ය. එහෙත් ඒ බාධක මැද නොසැලෙමින් මඳක් විසල් ලෙස වැඩී ඇති බෝධීන් වහන්සේ වසර සියයක් පමණ පැරැණි ය.

වෙහෙර ගොඩනගා ඇත්තේ බෝධීන් වහන්සේ අසල මලසුන් කුටියක් මුදුනේ කුඩාවට ය. එම චෛත්‍යය වෙනම තැනක මදක් හෝ විසල් ලෙස ගොඩනැගුවේ නම් විහාරයට ඇතුල් වීමේදී දැනෙන හැඟීම වඩාත් තීව්‍ර වනු නියත ය. විශේෂයෙන් විහාර භූමියේ ඉඩ කඩ නොමැති වීමද දෙවනුව වැය පාර්ශ්වය ද ඊට බාධා පමුණුවා ඇත. පසෙකින් වන ධර්ම ශාලාවද අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තරම් නොවන කුඩා ගොඩනැගිල්ලකි. මෙහි ඇති බුදු මැදුර තුළ සත් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ද බිතු සිතුවම් ද තවමත් නිමැවෙමින් පවතී. අනෙකුත් ඉදිකිරීම් කාර්යයන් ද තවමත් අවසන් වී නොමැත. එය නිමා කිරීමට මෙතුවක් අපහසු වී ඇත්තේ මුල්‍ය අපහසුතා නිසා බව විහාරාධිපති වහන්සේ පවසති.


ආවාස ගෘහය

පුර පසළොස්වක පෝ දිනයන්හිදී සියයකට අධික පිරිසක් විහාරස්ථානයේ දී පෙහෙවස් සමාදන් වෙති. ඉරුදින දහම් පාසලෙහිද දරුවෝ එකසිය විසිපස් දෙනෙක් පමණ දහම් අධ්‍යාපනය ලබති. ඒ අතර දමිල දරු දැරියන් කීප කෙනෙකු ද සිටීම විශේෂයකි. සතියේ දිනයන්හිදී කුඩා දරු දැරියන් වෙනුවෙන් මෙහි පෙර පාසලක් ද පවත්වා ගෙන යනු ලබයි.


යටිවාවල නන්දරතන හිමි

පනස් දෙනෙකු පමණ වූ දරුවන් අතර දමිල මුස්ලිම් දරුවන් ද සහයෝගයෙන් එකට ඉගෙනීමේ කටයුතු මෙන්ම කෙලිදෙලෙන් මේ සෙවන යට කල්ගෙවීම විශේෂයෙන් අගය කළ යුතු වේ. මෙසේ සියලු ආගමික සාමාජික සද් කාර්යයන් රැසකට හෙවනක් ව පවතින විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ඉඩ කඩ සීමා සහිත වීම යම් බාධාවක් ලෙස පෙනුන ද සීමිත සම්පත් හා ලද ඉඩ ප්‍රයෝජනයට ගනිමින් මෙවන් තැනෙකින් ප්‍රදේශයේ සාමය සමාදානය වෙනුවෙන් කෙරෙනා සමාජීය ආගමික මෙහෙවර පැසසිය යුතුවේ.

අද වන විට කුඩා ආගමික කේන්ද්‍රස්ථානයකින් විසල් සුභසාධන කටයුතු රාශියක් ඉෂ්ඨ වුව ද වසර 70 ක කාල පරාසයක් තුළ අඩු වැඩි වශයෙන් එළැඹි යම් යම් බාධක හිරිහැර කරදර සියල්ලට එඩිතරව මුහුණ දෙමින් අභියෝගාත්මක කාර්යයන් රැසක පෙරමුණ ගෙන සිටින වත්මන් විහාරාධිපති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශාසන බල මණ්ඩලයේ හිටපු ලේකම් යටිවාවල නන්දරතන හිමියන්ගේ එඩිය හා දිරිය බොදුනුවන් වන අපට සතුටකි.


ධර්ම මන්ධිරය

උන්වහන්සේ පවසන්නේ නුවරඑළිය වැනි දුෂ්කර කඳුකර ප්‍රදේශයන්හි ඇති සීමාසහිත විහාරස්ථාන නඩත්තුවට හා පවත්වාගෙන යාමට යම් කිසි අරමුදලක් ඇති කළ යුතු බවයි. අදාළ වගකිවයුත්තන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතු බවයි.

බෞද්ධ පරිසරයක් තුළ දී ජාති කුළ ගොත් පසෙකලා අනාගත දරු පරපුරට සුහදත්වයේ, සහජීවනයේ, සාමකාමීබවේ අගය ප්‍රායෝගික තලයේ දී වටහා දෙන කුඩා වුව විසල් වැඩ කොටසකට උරදෙන මෙවන් පුදබිම්හි සඟරුවනගෙන් නැඟෙන හඬ වගකිවයුත්තන්ගේ සවන් පත් වෙතට ඇසේවා!

 

 

 

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.