රෝහණ සංඝ සභාවේ උපාධ්‍යාය හා
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී (ගෞරව)
ගොම්බද්දල නන්දාරාම නා හිමි
විහාරස්ථානයක ඉඩමේ සීමාව දක්වා උපචාර සීමාව වෙයි. පුරාණ කාලයේ එක්
ඉඩමක් තුළ පන්සල් කීපයක් තිබී ඇත. තවමත් අස්ගිරි, මල්වතු විහාරවල
පවතින්නේ ඒ
ක්‍රමයයි. ඒ නිසා ‘සංඝස්ස දෙම’ යන වාක්‍යයෙන් සඟ සතු කළ විට එය
ලැබෙන්නේ සමස්ත සංඝයාට නොව විහාරයේ හා විහාර උපචාර සීමාවේ සංඝයාට පමණි.
මෙහි දී සීමාව
යනුවෙන් අදහස් කරන ලද්දේ පොහොය සීමාව පමණක් නොව පොහොය සීමා ඇතුළුව සීමා
වර්ග 15 කි එම සීමා අතරට ගාම සීමා, නිගම සීමා, නගර සීමා,
ජනපද සීමා, රටක සීමා ආදිය එහි දැක්වේ.
යමක් සඟ සතු කිරීමේ දී හා එය බෙදීමේ දී බොහෝ විට අප අනුගමනය කරන්නේ
සම්ප්‍රදාය මිස විනයෙහි දැක්වෙන ක්‍රමයම නොවන බව පැහැදිලි ය. යමක්
සගසතු කර පූජා කළ විට ඒ සියලු දෑ සංඝායා අතර බෙදා ගත යුතු ය යන්න බොහෝ
දෙනාගේ මතය වී ඇත.
එහෙත් එය නිවැරැදි මතයක් නොවේ. එයට හේතුව නම් සඟ සතු කරන දෑ අතර බෙදිය
යුතු දෑ ද, නොබෙදිය යුතු දෑ ද විනය පිටකයෙහි දක්වා ඇති නිසා ය.
ගරු භාණ්ඩ
සඟ සතු කරන දෑ අතර ගරු භාණ්ඩ නමින් හඳුන්වන කිසිම දෙයක් සංඝයා අතර
නොබෙදිය යුතු බව මහාවග්ග පාලියේ (බු.ජ.මු 740) පිටුවෙහි දැක්වෙයි.
විනයේ දී එය හඳුන්වන්නේ් අවේභංගිය භාණ්ඩ වශයෙනි. එහි දැක්වෙන ගරු භාණ්ඩ
නමින් හැඳින්වෙන කිසිවක් සඟ සතු කිරීමෙන් පසු බෙදා ගතහොත් ඒ බෙදීම සිදු
කළ භික්ෂූන්ට ‘පුල්ලච්චය’ නම් ඇවත සිදුවන බවද එහි දැක්වෙයි.
එහි දැක්වෙන ගරු භාණ්ඩ නමින් හඳුන්වන්නේ සංඝාරාම ආරාමයට අයිති ඉඩම්,
කෙත්වතු, ගහකොළ, ආදී සියල්ල ද ලෝභ භාණ්ඩ මැටි භාණ්ඩ, උදලු, කැති, පොරෝ
ආදී භාණ්ඩ ද ඇඳ පුටු, මේස ආදී සියලු දැව භාණ්ඩ ද වේවැල් ආදී වැල් වර්ග
ද පැරැණි ක්‍රමයට ගෙවල් සෙවිලි කරන මුදු තණ, බුබුස් තණ ආදී දේවල්ය.
මෙම භාණ්ඩ සඟසතු කළ විට සඟ සතු දෑ වශයෙන් පරිභෝග කිරීම මිස බෙදීමක් කළ
නොහැකි ය. මෙම ගරු භාණ්ඩ සඟසතු කිරීම සඳහා වෙනමම සංඝික වාක්‍යයක්
බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා ඇති ආකාරයට චුල්ලවග්ග පාලියේ
සේනාසනක්ඛන්ධකයේ ආරම්භයේදීම දක්නට ලැබේ. එනම් ‘ආගතානාගතස්ස
චාතුද්දිසස්ස සංඝස්ස දේම යනු ඒ වාක්‍යයයි. එහි අදහස නම් ‘මෙතැනට වැඩියා
වූද, නොවැඩියා වූද සතර දිග සංඝයාට දෙමු’ යන්නයි. ගරු භාණ්ඩ පිළිබඳ වැඩි
විස්තර දැනගැනීම සඳහා සමන්ත පාසාදිකාවේ හේවාවිතාරණ මුද්‍රණයේ 913
පිටුවේ සිට කියවා බලන්න.
බෙදිය හැකි සඟ සතු වස්තු
ගරු භාණ්ඩ බෙදිය නොහැකි නම් බෙදිය හැක්කේ ලඝු භාණ්ඩය. එය නම් වශයෙන්
සඳහන් කර නැතත් අටපිරිකර, සිවුරු, අඳන, ජලකාටිකා, ඇතිරිලි, ලේන්සු,
පාත්‍ර, පසුම්බි, ඡත්‍ර, පාවහන්, බෙහෙත් වර්ග වැනි දේ බෙදිය හැකි භාණ්ඩ
යි. සඟ සතු කිරීම යැයි කී විට නිතැතින්ම අපේ සිතට නැගෙන්නේ සාංඝික
දානයයි. දානයක් සඟ සතු කිරීම දානමය විනය කර්මයක් නොවුවත් පිරිකර පූජා
කරන නිසා විනය කර්මයට සම්බන්ධ වී ඇති බව පෙනයි. පැරැණි මහ තෙරවරු
දානයක් සඟසතු කර පූජා කළ විට අපලෝකන විනය කර්මය සිදුකළේ ඒ නිසා ය.
දානයට ලැබී ඇති හොඳ පිරිකරක් දන් පිඟාන මත තබා එය එතැන සිටින මහතෙරුන්
වහන්සේ ඉදිරියට තැන්පත් කර වෙනත් භික්ෂුවක් විසින් ‘අයං පඨමභාගෝ මහා
ථෙරස්ස පාපුනාති’ ආදී පාඨය කීම, අපලෝකන විනය කර්මය යි. අද හැම කෙනකුටම
එක වර්ගයේ පිරිකරක් ලැබෙන නිසා එය සිදු නොකරනවා විය හැකි ය.
සඟ සතු කිරීම
වර්තමානයේ දී දානයක් සඟ සතු කිරීමේදී සාංඝික වාක්‍යය ක්‍රම දෙකකට
කියවනු ලැබේ. ‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම’ යන්න එක් ක්‍රමයකි. ‘ඉමං
භික්ඛං සපරික්ඛාරං ඉමස්මි නිසින්නස්ස භික්ඛු සංඝස්ස දේම’ යන්න අනෙක්
ක්‍රමය යි. මෙයින් කුමන වාක්‍යය කීවත් සඟ සතු වීම අනිවාර්යයෙන්
සිදුවෙයි.
එහෙත් මේ වාක්‍ය දෙක පිළිබඳ යම්කිසි මතභේදයක් පවතියි. එනම් ඉහතින්
දැක්වූ පළමුවන වාක්‍යයෙන් සඟසතු කළ විට සමස්ත සංඝයාටම එය අයත්වන බවත්
දෙවැනි වාක්‍යයෙන් සඟ සතු කළ විට එම සිමාව තුළ සිටින සංඝයාට පමණක්
අයත්වන බවත් බොහෝ දෙනා කියති. මේ මතභේදය ගැන විනයානුකූ®ලව විමසා බලා
අදහසක් ප්‍රකාශ කිරීම සුදුසුය යන්න මගේ හැඟීමයි. ගරු බඩු සඟ සතු කරන
වාක්‍යය හැර වෙනත් වාක්‍යයකින් සමස්ත සංඝයාට අයිති වන සේ සඟ සතු කළ
නොහැකි යන්න මගේ මතය මා ඉදිරිපත් කරන කරුණු වලින් පැහැදිලි වනු ඇත.
දානයක් සඟ සතු කළ විට එහි ඇති පිරිකර බෙදන්නාක් මෙන් ආහාර වර්ග බෙදිය
නොහැකි ය. දානයට වැඩම කර සිටි සංඝයා වහන්සේ වැළඳීම පමණක් සිදු කරති.
ආහාර වර්ග විකාලයේදී ළඟ තබා ගැනීම භික්ෂූන්ට අකැප ය. උදෙන්ම පිරිනැමුණු
දානයක් නම් ඉතුරු කොටස දවාලට වැළඳීම සඳහා ගෙන යා හැකිය. සඟ සතු දානයකදී
බෙදාගත හැකි වන්නේ් එයට ලැබුණු පිරිකර පමණකි.
පිරිකර බෙදීමේ විනය උපදෙස්
භික්ෂූන්ට ලැබෙන සඟ සතු පිරිකර බෙදීම ගැන බුදුරජාණන් වහන්සේ විසින්
උගන්වා ඇති ක්‍රමය දැක්වෙන්නේ මහාවග්ගපාලියේ චීවරක්බණ්ධකයෙදී ය.
මහාවග්ග බු.ජ.මු 749 - 750 පිටුවල සිවුරු බෙදීමේ ක්‍රම 8 ක් දක්වා
ඇතත්, අපගේ කරුණු දැක්වීම සඳහා අවශ්‍ය වන්නේ ඉන් ක්‍රම දෙකක් පමණකි.
එනම් ‘සංඝස්ස දේති සීමාය දේති’ යන කරුණු දෙකයි. සංඝස්ස දෙමි කියා
දුන්විට එය බෙදාගත යුත්තේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ විසින් දක්වා
ඇත්තේ මෙසේ ය. ‘සංඝස්ස දෙමි’ වාක්‍යයෙන් දුන්විට (සම්මුඛී භූතේත සංඝේත
භාජේ තබ්බං) හමු වූ සංඝයා විසින් බෙදාගත යුතුය යනු එහි අදහසයි. මේ
කොටසට අටුවා ලියන බුදුගොස් හිමියෝ ‘සම්මුඛි භූතේන’ යන වැකියට අටුවා
ලියමින් උපචාර සීමාවේ සිටින සංඝයාද රැස්කර ඒ සිවුරු බෙදාගත යුතු යැයි
සඳහන් කරති. (සමන්ත පාසාදිකා - 845 පිටුව)
මෙහි දක්වන ලද උපචාර සීමාව නම් කුමක්ද? විහාරස්ථානයක ඉඩමේ සීමාව දක්වා
උපචාර සීමාව වෙයි. පුරාණ කාලයේ එක් ඉඩමක් තුළ පන්සල් කීපයක් තිබී ඇත.
තවමත් අස්ගිරි, මල්වතු විහාරවල පවතින්නේ් ඒ ක්‍රමයයි. ඒ නිසා ‘සංඝස්ස
දෙම’ යන වාක්‍යයෙන් සඟ සතු කළ විට එය ලැබෙන්නේ සමස්ත සංඝයාට නොව
විහාරයේ හා විහාර උපචාර සීමාවේ සංඝයාට පමණි.
‘සීමාය දේති’ මේ වචනය බුදුරජාණන් වහන්සේ තේරුම් කරන්නේ මෙසේ ය.
(යාවතිකා භික්ඛු අන්තෝසීමාගතෝ තේහි භාජේ තබ්බං) යම් තරමක් භික්ෂූහු යම්
සීමාවක් තුළ සිටී ද ඔවුන් අතර බෙදාගත යුතු ය යනු, එහි අදහස යි.
මෙහි දී සීමාව යනුවෙන් අදහස් කරන ලද්දේ පොහොය සීමාව පමණක් නොව පොහොය
සීමා ඇතුළුව සීමා වර්ග 15 කි එම සීමා අතරට ගාම සීමා, නිගම සීමා, නගර
සීමා, ජනපද සීමා, රටක සීමා ආදිය එහි දැක්වේ. ‘ඉමස්මිං ගාමෙ නිසින්නස්ස
සංඝස්ස දේම. ඉමස්මිං නිගමෙස නිසින්නස්ස ආදි සීමා තබා සඟ සතු කිරීම
සුදුසු ය. යනු එහි අදහසයි. ඒ පිළිබඳ නිදසුන් කිහිපයක් විනය අටුවාවේ
දැක්වේ.
යම්කිසි අවශ්‍යතාවක් සඳහා පොහොය සීමාවට රැස්වන භික්ෂූන් දකින දායක
පිරිසක් විසින් සිවුරු ගෙනවුත් ‘ඉමානී චීවරානි සීමාය නිසින්නස්ස සංඝස්ස
දෙම කියා දුන්නොත් ඒ සිවුරු අයත් වන්නේ එම සීමාව තුළ භික්ෂූන්ට පමණක්
බව අටුවාව කියයි. තවත් හොඳ නිදසුනක් අටුවාවේ දැක්වෙයි. දඹදිව සිටින
දායක පිරිසක් ‘ඉමානි චීවරානි තම්බපන්නි දීපෙ සංඝස්ස දෙම’ කියා සඟ සතු
කළහොත් එය අයත් වන්නේ ලංකාවේ භික්ෂූන්ට බවත් ලංකාවේ භික්ෂුන් කැමැති
නම් ඉන්දියාවේ භික්ෂුන්ටද දිය හැකි බවත් අටුවාවේ දැක්වෙයි.
දක්ඛිණ විභංග සූත්‍රයෙහි දැක්වෙන සඟ සතු දාන හතෙන් 5, 6, 7 යන දාන
තුනම දෙන්නේ සීමා සහිත භික්ෂු පිරිසකට ය. දායකයෙක් සංඝයා වෙත පැමිණ
‘ස්වාමිනී සඟ සතු දානයක් දීම සඳහා දස නමක් පස් නමක් හෝ එක් නමක් ලබා
දෙන්නැයි කියා සංඝයාගෙන් ඉල්ලීම ඉහත කී දානවල ප්‍රධාන ලක්ෂණය යි. එසේ
දානය දුන් විට ද ලැබෙන ආනිසංසය අසංඛ්‍ය බව බුදුරජාණන් වහන්ස්ම දක්වා
ඇත.
මා ඉහත සඳහන් කළ කරුණු අනුව ‘සංඝස්ස දේම’ කියා කීවත් ‘ඉමස්මිං
නිසින්නස්ස සංඝස්ස’ කියා කීවත් සඟ සතු කරන දානය පිරිකර ආදී සියල්ලම
අයත් වන්නේ සීමා සහිත භික්ෂු ප්‍රමාණයකට බව පැහැදිලි ය. එමෙන්ම මේ
වාක්‍ය ක්‍රම දෙකම බුද්ධ කාලයේ සිට පැවත එන බවත් පැහැදිලි ය.
සමස්ථ සංඝයාටම අයිති වන්නේ අගතානාගස්ස යනාදී වාක්‍යය කියා සඟ සතු
කළහොත් පමණකි.
|