UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපේ බොදු දිවයිනෙහි විහාරස්ථාන අතරට එක් වී දියුණුවට පත්වන රමණීය විහාරස්ථානයකි. කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය කොළඹ නුවර පාරෙන් නුවර දෙසට ගමන් කරද්දී මහර මැතිවරණ බල ප්‍රදේශයේ ඉඳගහමුල මංසන්ධියෙන් දකුණට හැරී උඩුපිලට යන මාර්ගයේ කිලෝ මීටර් භාගයක් ගියවිට මෙම බෞද්ධ පුද බිම හමුවේ.

ක්‍රි.ව. 1902 වසරේදී ගමේ වැඩිහිටි උපාසක ඇත්තන් විවේක වේලාවේදී බණ පොත් කියවීමට රැස්වුන ස්ථානයේ පොඩි බුදුපිළිමයක් තබා මුලින්ම පුද පූජා කිරීම මෙම පුද බිම පිහිටි ස්ථානයේදී සිදුකර ඇත. එකල ගමේ වාසය කළ ජොහානිස් අප්පුහාමිට අයිති මෙම ඉඩමේ පුංචි ආවාසයක් සාදා දඹදෙණියේ සෝභිත නම් හිමිනමක් වෙත පූජා කොට උන්වහන්සේගේ අනුශාසනා පරිදි 1906 වසරේදී බුදුමැදුර සෑදීමට අත්තිවාරම් කැපීම සිදුකර ඇත.

ක්‍රි.ව. 1910 වසරේදී බුදු මැදුර සාදා නිම කර එම වර්ෂයේදීම ගමේ දායක පින්වතුන් අනුරාධපුරයට ගොන් කරත්ත වලින් ගොස් ශ්‍රී මහා බෝධියේ අංකුර බෝධියක් වැඩමවා පැරණි බුදු මැදුර විවෘත කරන දවසේ රෝපණය කළ බවත් අතීතය දන්නෝ පවසති. අද දවසේ විහාර භූමියේ විරාජමානව වැඩවසන බෝධීන් වහන්සේට එවැනි මහඟු අතීතයක් පවතින බව ප්‍රකාශ කළ හැක.

1925 වසරේදී විහාරස්ථානයට වැඩම කළ මෙනේරිගම විපස්සී හාමුදුරුවන්ගේ සිය ප්‍රධාන ශිෂ්‍ය රත්නය වන රන්දිලිගම ශ්‍රී පේමරතන ලොකු හාමුදුරුවන්ට භාර කළ මෙම විහාරස්ථානය එදා මල්වලින් පිරී පැවතුන නිසා පුෂ්පාරාමය යන නමින් හඳුන්වන ලදී. එම වසරේදීම පන්සල් භූ®මියට යාබද අලුතින් ඉඩමක් පූජා කිරීම සිදුවුන අතර එම අලුත් ඉඩමේ නව විහාර අංග කීපයක් බිහිවීම පන්සලේ දියුණුව විදහාපාන කදිම නිදසුනක් විය.

මෙම විහාරස්ථානයේ දියුණුවට විශාල අත්වැලක් වූයේ 1937 වසරේ ආරම්භ කළ මහිලා සමිතියයි. චලෝ නෝනා උපාසික මාතාවගේ සභාපතිත්වයෙන් හා ජොසලින් කරලැයින් නෝනා උපාසිකා මාතාව ලේකම් තනතුර දරමින් මහිලා සමිතිය ආරම්භ කළ අතර එම ආරම්භක ලේකම්තුමිය අදත් ජීවමානව මෙම අතීතය සිහිපත් කිරීම වාසනාවකි.

ක්‍රි.ව. 1956 වසරේදී දායක සභාව අතින් සාදන ලද ධර්ම ශාලාවේ පුංචි කාමරය සිය ආවාසය බවට පත්කර ගත් රන්දිලිගම පේමරතන ලොකු හාමුදුරුවෝ විහාරස්ථානයේ දියුණුවට විශාල වැඩ කොටසක් කළහ.

මුලින්ම ආවාසයක් අලුතින් සාදා එහි නැවතුන පේමරතන ලොකු හාමුදුරුවෝ එහි සිට පොසොන් පොහෝ දින මිහිඳු පෙරහර පවත්වා එය කඩවත මංසන්ධිය දක්වා ගමන් කරවා ශ්‍රී පුෂ්පාරාමය ප්‍රසිද්ධියට පත් කළහ.

ශ්‍රී සුජාතා කුළඟන සමිතිය දායක සභාව, සිරි සිදුහත් දහම් පාසල, සර්වෝදය පෙර පාසල, සහ ගමේ විවිධ සුභසාධක සමිති රැසක් ආරම්භ කරමින් ඒවායේ උපකාර ලබමින් නව බුදුමැදුරක්, චෛත්‍යයක් නව බෝධිරෝපණයක් ඝන්ටා කුලුනක්, සර්වෝදය පෙර පාසල් ගොඩනැගිල්ලක් විහාර භූ®මිය තුළ ස්ථාපනය කළේය. මේ කාලය තුළ උන්වහන්සේට බොහෝ උපකාර කළේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වන පුජ්‍යපාද අඹන්පොල ගුණාලංකාර ස්වාමින්වහන්සේය. පිරිත් දේශණ පිළිබඳ චතුරත්වයක් හිමි උන්වහන්සේ පන්සලේ දියුණුව උදෙසා මුලු පැවිදි දිවියම කැප කළහ.

රන්දිලිගම පේමරතන හාමුදුරුවෝ අවු.100ක් ආයු වළඳා අපවත් වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් අඹන්පොල ගුණාලංකාර ලොකු හාමුදුරුවෝ තෙමහල් ධර්ම ශාලාවක් සෑදීම සඳහා වැඩ ආරම්භ කළද එහි වැඩ කටයුතු කරගෙන යද්දී දැඩි සේ ගිලන් වූ අපේ හාමුදුරුවෝ අපවත් වී වදාළහ.


ඕනෑගම නන්දරතන හිමි

ඉන්පසු විහාරාධිපති ධූරයට පත් වත්මන් විහාරාධිපති කාව්‍ය ධර්ම දේශක ඕනෑගම නන්දරතන හාමුදුරුවෝ කාර්යශූර සිල්වත් හිමි නමකි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල කවි බණ දේශනා කරමින් ප්‍රසිද්ධියක් උසුලන අපේ හාමුදුරුවෝ කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමයට නව දහම් ආලෝකයක් ඇති කිරීමට සමත්ව සිටී.

අවට විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමග සමීප සබඳතා පවත්වමින් අවවාද අනුශාසනා ලබමින් ප්‍රදේශයේ සතර පේරුවේ දායක පිංවතුන්ගේ පුණ්‍යමය අවශ්‍යතා නිසි පරිදි සලසා දෙමින් ප්‍රදේශයේ දහම් ආලෝකයක් ඇති කරන්නට මහත් වෙහෙසක් දරති.

මෑතකදී ඉදිකිරීමට ගත් නව දාන ශාලාව උන්වහන්සේ අතින් මුල්ගල තබා ඉදිකිරීමට ගත් අතර තව නොබෝ දිනකින් සඟසතු කර පූජා කිරීමට ලහි ලහියේ වැඩ කරගෙන යමන් සිටී.


විහාර මන්දිරය

දැනට අතර මඟ නතර කර තිබෙන තෙමහල් ධර්ම ශාලා මන්දිරය නැවත ආරම්භ කිරීමට අපේ හාමුදුරුවෝ දානපතින් හා ගමේ සැදැවතුන් හා එක්ව උත්සාහ දැරුවද ප්‍රතිපාදන හිඟකමින් එය අතපසු වෙමින් පවතී. මේ වන විට ලක්ෂ 15 ක් පමණ මුදලක් වැය කර කොන්ක්‍රීට් තට්ටුව පමණක් පළමු මහලට දමා ඇත. ඒ සඳහා පෙදරේරු හා වඩු කාර්මික ශිල්පී පින්වතුන් ස්වේච්ඡාවෙන් මෙම පුණ්‍ය කර්මයට දායක වී ඇත.

ඉතිරි වැඩ නිම කර ගැනීමට තවත් විශාල මුදලක් වැය වේ. පින්වත් දානපතියන්ගේ ආධාර උපකාර මත මෙම තෙමහල් ධර්ම මන්දිරය ඉදිවුවහොත් දැනට දහම් පාසල් ගොඩනැගිල්ලක් නොමැතිව දුක්විඳින දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමටත්, පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාට නේවාසිකව පිරිවෙන් අධ්‍යාපනය ලබන්නටත් එය මහඟු පිටිවලක් වේවි.

අප විහාරස්ථානයේ අවුරුදු 100 ක් ආයු වළදා අපවත් වී වදාල රන්දිලිගම ශ්‍රී පේමරතන ලොකු හාමුදුරුවන්ට උපහාර පිණිස එම යෝජිත ධර්ම මන්දිරය ‘රන්දිලිගම ශ්‍රී පේමරතන ගුණානුස්මරන ශාලාව ලෙස නම් කළ යුතු බව වත්මන් විහාරාධිපති ලොකු හාමුදුරුවන්ගේ බලාපොරොත්තුවයි.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදා පූර්ව භාග 2.59 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 26 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]