Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ

මැටරඹ හේමරතන නා හිමි

දකුණු පළාතේ ගාල්ලේ සිට මාතර දක්වා දිවෙන මාර්ගයෙහි ගාල්ලෙන් කිලෝමීටර 3 ක් ඔබ්බට ගිය තැන උණවටුනේ එරමුදු ගහ හන්දිය හමුවෙයි. එරමුදු ගහ හන්දියෙන් වම්පස වූ මාර්ගය හීනටිගල හරහා හබරාදුව දක්වා දිවෙයි. හීනටිගල පාරේ කිලෝ මීටර් 2 ක් පමණ පසු කළ විට මැටරඹ නම් දර්ශනීය ගම් පියස හමුවේ.

මැටරඹ ඈගන්තොල්ල වත්තේ පදිංචිව සිටි අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර මහතාටත්, අක්මීමන පල්ලියගුරුගේ ඇලිස් නෝනා නොහොත් යටගම හාමිනේටත් දරුවන් හය දෙනෙක් විය. ඉන් පස්වැන්නා වූ අහංගම නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාර දරුවාට වයස අවුරුදු හයක් පමණ වන විට තම ආදරණීය පියාණන් මෙලොව හැර ගියහ. ඒ කුමරුවා යටගල මැල්කම් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1956 අපේ‍්‍රල් මස 5 වන දින මැටරඹ හේමරතන නමින් මේ කුමරුවා පැවිදි බිමට පත්විය.

යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසු ඉලුප්පිටියේ ජිනරතන ස්වාමීන් වහන්සේ කීර්ති ශ්‍රී ගුණරතන වත්තේහේනේ රතනසාර ස්වාමීන් වහන්සේ සහ පණ්ඩිත වත්තේ හේනේ පියරතන ස්වාමීන් වහන්සේලා පැවිදි ආචාර්යවරුන් වූහ.

යටගල හෙට්ඨාචල පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා ද්විතීයික අධ්‍යාපනය රත්මලාන පාරිවේණික අභ්‍යාස විද්‍යාලයෙන් ලබා ගත්හ. 1965 ජුනි 6 දින උපසම්පදාවට පත්වූහ. උන් වහන්සේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත. මේ වකවානුව වනවිට මැටරඹ හේමරතන හිමියන්, යටගල හෙටිඨාචල පිරිවෙනේ පරිවේනාධිපති ධූරයට ද පත්ව ඇත.

පිරිවෙනේ දියුණුවට ඇප කැප වී සේවය කළ උන්වහන්සේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙසට ද පුරා අවුරුදු 20 ක් සේවය කර ඇත. 1976 දී යටගල රජමහා විහාරයේ විහාරාධිකාරී තනතුරට ද පත් වූහ. ගාල්ල දිස්ත්‍රික්කයේ පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ‍ෙල්කම් ධූරය 1987 - 1997 දක්වා පුරා වර්ෂ 10 ක් හොබවන ලදී. ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස අවුරුදු 8 ක් සේවය කළ අතර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ලෙස 1990 වර්ෂයේ සිට කටයුතු කරන ලදී. උන් වහන්සේ මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ සභාපති පදවියෙන් ද පිදුම් ලැබූහ.

ගැසට් අංක 617 යටතේ 1990.6.29 දින ගාල්ලේ යටගල රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කරන ලදී. මෙම පූජාභූමි භාරකාර මණ්ඩලයේ අනුශාසක ලෙස අද දක්වාම කටයුතු කරන්නේ ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නාහිමියන් ය.

පරිනත බුද්ධියත්, ශාසනික ජීවිතයෙන් ලත් අවබෝධයත් සහජ හැකියාවත් සමගින් ඔප් නැංවුන මේ හිමියන්ගේ දක්ෂතා නිසාම ග්‍රන්ථ කීපයක්ම එළි දැක්වීමට උන්වහන්සේ සමත් වූහ.

1. උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය , 2. ලේඛන රේඛා , 3. ඉන්දු ආර්ය සංස්කෘතිය , 4. අපතේ යන අධ්‍යාපන සම්පත් , 5. වන්දනා ගාථා , 6. ඓතිහාසික මඟුල් මහා විහාරය ඉන් කිහිපයකි. 2004 කීර්ති ශ්‍රී ගුණරතන වත්තෙහේනේ රතනසාර නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු මැටරඹ හේමරතන හිමියෝ අෂ්ඨමහා විහාරාධිපති පදවියෙන් පිදුම් ලැබූහ. විනයධර කීර්තිධර උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් යටගල හෙට්ඨාචල පිරිවෙනෙන් වසරක් පසා බිහිවීම සිදුවිය. අෂ්ඨමහා විහාරාධිපති ලෙස උන් වහන්සේ ඉතා උනන්දුවකින් යටගල රජමහා විහාරය, හතර පේරුව කේන්ද්‍ර කොට ගෙන ඇති අනෙක් විහාරස්ථාන සහ දායක පිරිස් පිළිබඳ සොයා බලමින් අවශ්‍ය තැන්වලදී අනුශාසනා දෙමින්, සෑම විහාරස්ථානයකම උන්නතිය සඳහා ඇප කැප වෙමින් කටයුතු කරති.

1997 දී තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල ධර්ම ප්‍රචාර කටයුතු වලද නිරත විය.

2000 දී එංගලන්තයේ රෙඩ්බිජ් ප්‍රාන්තයේ රෙඩ්බිජ් බෞද්ධ විහාරාධිපති ලෙස ශාසනික සේවය කරන්නට උන්වහන්සේට හැකිවිය. එහිදී විජාතික සැදැහැවතුන්ගෙන් යටගල රජමහා විහාරයේ නැණසල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පරිඝනක යන්ත්‍ර පවා ලබා ගැනීමට සමත්ව ඇත. 2009 ඉන්දියාවේ ධර්ම ප්‍රචාර කටයුතු වලද නිරත විය. අෂ්ඨ මහා විහාර වලින් එකක් වන සිතුල්පව්ව රජමහා විහාරය ශාසනික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ද දියුණු කිරීමට නා හිමියන් මහත් ‍ෙවහෙසක් දරා ඇත.

සිතුල්පව්ව මඟුල් මහා විහාරයේ දාගබ ප්‍රතිසංස්කරණය කොට කොත් පැළැඳවීම සිදුකළ අතර තොරතුරු මධ්‍යස්ථානයක්ද එහි ස්ථාපිත කරන ලදී. සිතුල්පව්ව රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විහාරස්ථානයේ සියලු අඩුපාඩු සොයා බලමින් සපුරා ලන්නට සමත් වී ඇත.

සිතුල්පව්ව වන සෙනසුනකි. මේ සෙනසුනෙහි භාවනා කරන භික්ෂූන් වහන්සේලාට නවාතැන් දීම ආරාම සිරිත වේ. එහෙත් සිතුල් පව්වේ ඇති විවෘත ගල්ගෙවල්වල ආරක්ෂාව නැත. මෙය අවබෝධ කරගත් නායක ස්වාමීන් වහන්සේ සිතුල්පව්ව දායක සභාවේ අනුශාසක අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම පරිදි සිතුල්පව්ව දායක සභාවේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ මැදිහත් වීමෙන් කාමර 30 කට ආසන්න අංග සම්පූර්ණ සංඝාවාසයක් සිතුල්පව්වේ ඉදිකළේය. 2009 ජුනි මස 6 වනදින දායක සභාවේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සංඝාවාසය විවෘත කොට පූජා කිරීම සිදු කැරිණි.

2008 දී සිතුල්පව්වේ රෝපණය කරන ලද ආනන්ද බෝධිය වටා බෝධි ප්‍රාකාරයක් 2009 දී ඉදි කරන ලද්දේ ද හිමියන් ගේ අනුශාසනා පරිදිය. සිතුල්පව්වේ සංඝාවාසය ඉදිරිපිට ඇති දාගැබ වටා රන් වැටක් 2009 දී ඉදි කරන ලදී. මෙය සිතුල්පව්වටම සුවිශේෂ වන්නේ රන්වැට ඉදිකොට ඇත්තේ බෝධියක් වටා නොව දාගැබක් වටා වීමෙනි.

රුදුරු ත්‍රස්තවාදීන් යාල සිතුල්පව්ව භූමියට ඇතුළු වී සිටි වකවානුවක් විය. එම කාලය තුළ ජීවිතයට ඇති බිය නිසාම වන්දනා පිරිස් පැමිණීමද හීන විය. දානය පවා නොලැබිණ. ජීවිතය පිළිබඳ ඉතාම අවදානම් සහිත තත්ත්වයක් විය.

මේ හිමිපාණෝ තමා ගැනම පමණක් සිතුවේ නම් යටගල රජමහා විහාරය හෝ අෂ්ටමහා විහාරවලින් එකකට ගොස් වැඩ වාසය කරන්නට තිබුණි. එහෙත් මේ හිමියන් දායකයන් ආරක්ෂා වන්නේත් පන්සල නිසාය යන මතයේම පිහිටා ගෙන පන්සලේ ඇති වියළි ආහාර ද්‍රව්‍ය වලින් දායකයන්ද හැකි ලෙස පෝෂණය කරමින් වන ලැහැබ්වල සේවයේ යෙදී සිටි ආරක්ෂක හමුදාවටද හැකි පමණින් උදව් කරමින් දැඩි අධිෂ්ඨානයකින් සිතුල්පව්වේම වැඩ වාසය කොට රැඳී සිටීම උන්වහන්සේ ගේ නිර්භීතභාවයේ ලක්ෂණයක් ලෙස හුවා දැක්විය හැකිය.

සෑම විහාරස්ථානයකම කටයුතු පිළිබඳව ඉතා ඕනෑකමකින් සොයා බලන විහාරාධිපතීන් වහන්සේ පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ අවධානයට යටගල රජමහා විහාරය යොමුකර තිබීම නිසා වර්තමානයේ විශාල දියුණුවක් ලබා ගැනීමට හැකියාව උදා කරගෙන ඇත. යටගල රජමහා විහාරයට ප්‍රවේශ වන මාර්ගයෙහි වාහල්කඩ දෙකක් දාන ශාලාව නැණසල, දෙමහල් පැවිදි ශිෂ්‍ය නේවාසිකාගාරය දැනට ඉදිවී හමාරය.

යටගල රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාර මැතිතුමා විහාරස්ථානයේ සිදුවන සෑම කටයුත්තකදීම ඇපකැප වෙමින් දායක වෙමින් තම ගමට, ගමේ විහාරස්ථානයට වියයුතු සේවය නොපිරිහෙලා ඉටු කර දීම ප්‍රශංසනීයයි. හැකි හැම අවස්ථාවකම යටගල රජ මහා විහාරයට පැමිණ අවශ්‍ය දේ සොයා බලමින් අවශ්‍ය උපදෙස් දායක සභාවට ලබාදෙමින් විහාරස්ථානයේ උන්නතිය සඳහා කරනු ලබන කැපවීම ප්‍රදේශවාසීන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වී ඇත. ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නායක හාමුදුරුවන්ගේ මේ දක්ෂතා සහ ශාසනික මෙහෙවර මල්වතු මහා විහාර පාර්ශ්වය තේරුම් ගෙන දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරය උන්වහන්සේට පිරිනමා ඇත.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නා හිමියන් වහන්සේ අතින් මේ පිළිබඳ සන්නස් පත්‍රය භාරදීම 2009 අගෝස්තු 30 වැනිදා මල්වතු මහා විහාරයේදී සිදු කැරිණ.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අෂ්ඨමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නා හිමියන් පිළිගැනීම හා සෙත් පැතීම සැප්තැම්බර් 9 වැනිදා යටගල රජමහා විහාරස්ථානයේදී සිදු කැරිණි. අභිනව නා හිමියන්ට විජිනිපත පිළිගැන්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් 11 වන දා යටගල රජමහා විහාරයේ දී සිදු කිරිමට නියමිතව තිබිීණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.