UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අවිහිංසාව හා ආරක්‍ෂාව

අවිහිංසාව, මෛත්‍රීය හා කරුණාව පිළිබඳ ව ඉගැන්වෙන බුදු දහම අදහන ලාංකික සමාජය එයට පටහැනි යුද වාදී මානසිකත්වයට යට වී ඇතැයි ඇතැම් බටහිර විවේචකයන් නඟන චෝදනාව වෙත අප ගේ අවධානය යොමු විය යුතු ය. එම චෝදනාවට පදනම සැපැයූ දශක තුනක් පුරා අප සමාජය භීතියට පත් කැරැ තිබූ කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීම එ සේ ආගමික හෝ වාර්ගික අර්ථයකින් විග්‍රහ කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. මේ ආකාරයෙන් ම බුදු දහම හා ජාතික ආරක්‍ෂාව අතර සමීප සබඳතාවක් දැකීමට ඇතැම් විචාරකයන් අතීතයේ දී ද උත්සාහ දරා තිබිණ. විශිෂ්ට ඉන්දියානුවකු වන මහාචාර්ය ධම්මානන්ද කෝසම්බිතුමා (1876 – 1947 ) ලියූ ‘භගවාන් බුද්ධ’ නමැති කෘතියෙහි ඊට පිළිතුරු සපයා ඇත. ර.මු.කි. මුදියන්සේ විසින් සිංහලයට පරිවර්තනය කළ එම කෘතිය මෙහි දී උපුටා දක්වමු.

“බුදුරජාණන් වහන්සේ ගේ අහිංසා ධර්මය නිසා භාරතීය ජනතාව අහිංසකයන් බවට පත් විය. මේ නිසා ම රට විදේශිකයන් සතු වූ බව නොයෙක් දෙනා පවසති. මේ අදහසට ප්‍රමාණවත් පිළිතුරක් දිය යුතු ව තිබිණ.”

‘බුද්ධ චරිතය සමග මේ මතයෙහි කිසි ම සම්බන්ධයක් ඇතැයි මට නොහැඟෙයි. බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ ක්‍රි.පූ. 543 වැන්නේ දී ය. ඒ අතර කාලයේ දී හෙවත් ඊට සියවස් දෙකකට පසු ව චන්ද්‍ර ගුප්ත රජු සිය අධිරාජ්‍ය පිහිටුවී ය. ඔහු ජෛන ලබ්ධිකයෙකැයි අයෙක් කියති. ජෛනාගමිකයෝ උග්‍ර අහිංසාවාදියෝ ය. එහෙත් ගී‍්‍රකයන් ඉන්දියාවෙන් පලවා හැරීමේ දී ඔහුට ඒ අහිංසා ධර්මය හරස් නො වී ය. ඔහු පුත් අශෝක අංගසම්පූර්ණ බෞද්ධයෙක් විය. එහෙත් හේ අතිවිශාල මහා රාජ්‍යයක් පාලනය කළේ ය.’

“මුස්ලිම්වරුන් සිංධ –පංජාබ් ප්‍රදේශවල ඒ ඒ කොටස් අල්ලා ගැනීමෙන් අවුරුදු සියයකට පසු ශංකරාචාර්යතුමා පහළ විය. ඔහු ගේ සියලු වේදාන්තවල ඉලක්කය වූයේ ශ්‍රද්‍රයන් වේදය නො හැදැරිය යුතුය යන්නයි. ඉදින් කිසියම් ශුද්‍රයකු වේද වාක්‍ය ඇසුවහොත් ඔහු ගේ කන් උණු කළ වීදුරුවලින් හෝ ලාකඩ වලින් පිරවිය යුතු ය. වේද වාක්‍ය උච්චාරණය කළහොත් දිව කපා දැමිය යුතු ය. වේද මන්ත්‍ර පාඩම් කළහොත් ඔහු මරා දැමිය යුතු ය. ශංකරාචාර්ය ගේ වේදාන්ත මෙ බඳු ඒවායි. ඉන්දීයයන් මරා ජය ගත් මුස්ලිම්වරුන් වෙතින්වත් අපේ පැරැණි නෑයන් පාඩමක් ඉගෙන ගත්තේ නැත. ඔවුහු බුදුරජාණන් වහන්සේ සිය සතුරකු කොට තැකූහ. එ බඳු අය උන්වහන්සේ වෙතින් කුමක් ඉගෙන ගනිත් ද?”

“පැරැණි රාජ්පූත්වරු සිය ආගම දැඩි ලෙස ම ඇදවූ හ. එහෙත් ඔවුන් තුළ අහිංසාව ගැන කිසි ම විශ්වාසයක් නො තිබිණ. අවස්ථාව පැමිණිවිට ඔවුනොවුන් ම යුද්ධ කොට මැරී ගිය හ. මහමුද් ගජනවී විසින් අපේ මේ ශූර අහිංසා වාදීන් අශ්ව කුරයට අසු වූ දූවිලි ලෙසින් විනාශ කැර දමන ලද්දේ කෙ සේ ද? මෙයට හේතුව ඔවුන් බුදුරජාණන් වහන්සේ ගේ අහිංසා ධර්මයට ගරු කිරීම ද?”

“ජපන්නු ගත වූ වර්ෂ 1000 – 1200 ක සිට ම බෞද්ධයෝ වෙති. 1853 වැන්නේ දී කමෝඩෝර් පෙරී විසින් ජපානයට තුවක්කුව එල්ල කරන ලදී. ඒ අවස්ථාවේ හදිසියේ පිබිදුණු ඔවුන් එක්සත් වූයේ කෙ සේ ද? බුද්ධ ධර්මය ඔවුන් නපුංසකයන් බවට පත් නො කළේ ඇයි?”

‘’මේ ප්‍රශ්නයට නියම පිළිතුර සම්මානිත ටීකා කාරයා වෙතින් ලැබී තිබේ. “මිරවිසි සුඥත්ව වෘථා අන්‍යාලා ස්වකෘත තාපලා පුනි” (ඔබේ වරද අනුන් පිට පටවා ඔබ නිර්දෝෂියකු වෙන්න උත්සාහ ගන්නේ ඇයි?) මෝරා පංත නමැති මරාඨි කවියා විසින් මේ කවි පදය ප්‍රකාශ කරන ලද්දේ මෙ වැනි ශ්‍රේෂ්ඨ අහිංසාවාදීන් අමතා විය යුතු යි. මේ අහිංසාවාදියෝ තමන් හා තම මී මුත්තන් විසින් කරන ලද පව් බුදුරජාණන් වහන්සේ පිට පටවා සිය නැණවත්කමේ බෙරය හඬවති.”

මෙහි දී ධම්මානන්ද කෝසම්බි තුමා අනුව යමින් අපට ද ඇසීමට ඇත්තේ ත්‍රස්තවාදීන් බුදුරජාණන් වහන්සේ වෙතින් කුමක් ඉගෙන ගනී ද යන ප්‍රශ්නය ම ය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ව ක්‍රියා කළ යුතු ආකාරය හා බුදු දහමේ ඉගෙන්වීම් පටලවා ගැනීමට තරම් සිංහලයෝ මෝඩ නො වූ හ. මහපැරකුම්බා රජතුමා පඬිරට ජයගෙන රැගෙන ආ දමිළ ජනතාව යොදවා පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකිරීම බුදු දහම හා යුද්ධය අතර සබඳතාවක් යැයි තර්ක කිරීම මුළාවක් නො වේ ද? බුදුන් වහන්සේ ගේ අවිහිංසාවාදී ධර්මය ඇදහීම නිසා දුර්වල රාජ්‍යයක් බිහිවේය යන්න මෙන් ම ජාතික ආරක්‍ෂාව සඳහා සටන් කිරීම බුදු දහමට නො ගැළපේ ය යනුවෙන් තර්ක කිරීම ද බොළඳකමක් යැයි අපි සිතන්නෙමු.

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]