UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,

ඩී. ආර්. විජයවර්ධන මාවත,

ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:

2429598, 2429429

ෆැක්ස්:

2429329, 2449069

ඊමේල්:

[email protected]

සංස්කෘතික ආනයනය

කිසියම් සංස්කෘතියකට අයත් භෞතික අංග ආනයනය කළ පමණින් සාර්ථක ප්‍රතිඵල ලැබිය නො හැකි ය.ඒ අන් කිසිවක් නිසා නො ව භෞතික සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ එම සමාජයේ අභෞතික සංස්කෘතියට අයත් ඇදහිලි, විශ්වාස හා සිරිත් විරිත් ආදිය නිසා වන බැවිනි. අපට අවේණික බෙර මෙහි දී උදාහරණ ලෙස ගෙන බලමු.

අප ගේ සාම්ප්‍රදායික බෙර යුරෝපයට අපනයනය කිරීමෙන් මෙ රට බෙර වාදන සංස්කෘතිය එහි පැතිරිය හැකි ද? අප ගේ බෙර වාදනය කිරීම යුරෝපීයයන් විසින් ප්‍රගුණ කළ ද ඒ හා බැඳුණු චාරිත්‍ර නොමැති ව සාර්ථකත්වයක් ලැබිය නො හැකි ය. බෙරය නමැති භෞතික සංස්කෘතිය රඳා පවතිනුයේ අප ගේ ඇදහිලි, විශ්වාස හා සිරිත් විරිත් ආදී අභෞතික සංස්කෘතිය මත වීම ඊට හේතුව යි.

සැබෑ තත්ත්වය මෙය වූව ද ඇතැම් සංස්කෘතීන්ට අයත් භෞතික අංග ආනයනය කිරීමේ උන්මාදයක් ශ්‍රී ලාංකිකයන්ට වැලැඳී තිබේ. මීට හොඳ ම උදාහරණය, චීන ෆෙන්ෂුයි (Fengshui) කලාවට අයත් ‘ලාෆින් බුද්ධ’ (සිනාසෙන බුදුන්) නමැති පිළිමය යි.

විශාල උදරයකින් යුතු හිසමුඩුකළ පිරිමියකු කටපුරා සිනාසෙන අයුරු මේ පිළිමයෙන් නිරූපණය කැරේ. මේ පිළිමයෙන් දැක්වෙනුයේ දහවන සියවසෙහි චීනයේ ෂෙන්ජියන් පළාතේ විසූ චිත්සු නමැති භික්‍ෂුව යැයි සැලැකේ.

කුඩා දරුවන්ට විශාල ඇල්මක් දැක් වූ චිත්සු හිමියන් ගේ ත්‍යාගශීලී ගුණයට චීන ජනතාව අතර ඉමහත් ප්‍රසාදයක් තිබිණ. එම සුවිශේෂී ගුණාංග නිසා අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුරදුන් ලෙස උන්වහන්සේ හැඳින්වීමට චීන ජනතාව පෙළඹී තිබේ. චිත්සු හිමියන් අපවත් වී කලකට පසු නිර්මාණය වූ උන්වහන්සේ ගේ පිළිමය නිවසක තබා ගැනීමෙන් සෞභාග්‍ය උදාවේ යැයි චීන බෞද්ධයෝ විශ්වාස කළ හ. එහෙත්, ඇතමකු ගේ විශ්වාසය වන්නේ මෙය කුවේර පිළිමයක් බව ය. කෙ සේ වූව ද ‘සිනාසෙන බුදුන්’ පිළිමය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ ආක්‍රමණය කැර තිබේ. ශ්‍රී ලාංකික නිවෙස් වෙත සෞභාග්‍ය කැඳවීම සඳහා මේ පිළිමයට අමතර ව අනෙකුත් ෆෙන්ෂුයි සංකේත වන චීන කාසි, කුඩා සීනුව, උණගස් සහිත නිර්මාණ, කකුල් තුනේ ගෙම්බා, රුවල් නැව ආදිය මිල දී ගැනීමට ද ජනතාව පෙළඹී සිටිති.

සුළඟ හා ජලය යන අරුත දෙන ෆෙන්ෂුයි නමැති චීන වචනයෙන් වාස්තු විද්‍යාව හා විශ්ව ශක්තිය අදහස් වන බව කියති. මේ නිසා ෆෙන්ෂුයි කලාව අනුගමනය කිරීමෙන් සෞභාග්‍ය ළඟා කැර ගැනීමට නිවස සකස් කිරීම සඳහා උපදෙස් දෙනු ලැබේ. ෆෙන්ෂුයි කාසි මුදල් පසුම්බියේ තබා ගැනීමෙන් ධනය සිඳී නො යන බැව් ඉගැන් වේ.

මේ සියලු ආශ්චර්ය ගැන කියන ෆෙන්ෂුයි ආචාර්යවරුන් එහි දාර්ශනික පදනම පිළිබඳ ව දක්වන අදහස ද අප ගේ අවධානයට යොමු විය යුතු ය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච මහා ධාතූන් අතුරින් ෆෙන්ෂුයි මඟින් නියෝජනය වන ආපෝ හා වායෝ යන ධාතූන් ගෙන් බිහිවන චී (chi) නමැති ස්වභාවික ශක්තිය නිසි පරිදි හසුරුවා ගැනීම මෙහි අරමුණ වේ.

මේ කුමන අරුතකින් වූව ද ෆෙන්ෂුයි අනුගාමිකයන් ගේ බලාපොරොත්තුව අදිසි බලවේගයක ආධාරයෙන් ඉක්මනින් පොහොසත් වීම ය. එම අරමුණ ඉටු කැර ගැනීම සඳහා උපදෙස් දෙන පොත් රාශියක් සිංහලෙන් පළ වී තිබේ. රූපවාහිනී වැඩසටහන් මඟින් කැරෙන පෙළඹවීම් ද සුලබ ය.

මෙහි දී අප පාඨකයන් ගේ අවධානයට යොමු කළ යුතු කරුණු දෙකක් තිබේ. එකක් නම්, අප මෙය ආරම්භයේ දී සඳහන් කළ අභෞතික සංස්කෘතිය නො සලකා භෞතික සංස්කෘතිය ආනයනය කිරීමෙන් ප්‍රතිඵල ලැබිය නො හැකි බව ය. අනෙක, මෙයින් ජනතාව මුළාවන අයුරු පෙන්වා දීම ය. අදිසි බලවේගයක පිහිටෙන් පොහොසතකු වීමේ සිහිනය බුදු දහමට නො ගැලපෙන්නකි. එය හින්දු දේවවාදයට සමීප සංකල්පයක් බව පෙනේ. එ පමණක් ද නො ව බුද්ධ ප්‍රතිමාව සමඟ ඇති බැඳීම පවා ‘සිනා සෙන බුදුන්’ ප්‍රතිමාව නිසා පලුදු කැරේ. බුදුපිළිමයෙන් සංකේතවත් වන මහා කරුණාව හා මෛත්‍රීය ආදී උතුම් මානව ගුණ වෙනුවට විකට රසයක් දන වන ප්‍රතිමාවක් නිවසේ තැන්පත් කිරීම අප ගේ අවධානයට යොමු විය යුතු ය.

ෆෙන්ෂුයි කලාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් පෙනී සිටින බෞද්ධයන් බුදු දහමෙහි ඇතුළත් ආර්ථික දර්ශනය ගැන කිසිවක් නො දන්නා බව පෙනේ. අතීතයේ පැවැති ඊශ්වර දේව වාදයෙහි ඇතුළත් ලෝකයේ සශ්‍රීකත්වයට අධිපති ජගන්මාතා පිදීම ප්‍රතික්‍ෂේප කළ බුදු රදුන් මිනිස් ‘ශ්‍රමයේ’ වටිනාකම අවධාරණය කළ සේක. මෙය නො දැන ‘ලාෆින් බුද්ධ’ වන්දනාවේ යෙදීම හාස්‍යයක් නො වේ ද?

මැදින් පුර අටවක

මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා පූර්ව භාග 2.13ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]