Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බිය - සැක නැති සුවපත් දිවියකට දැහැමි පිළිවෙත

බුදු දහම ලෞකික දියුණුව හා ලෝකෝත්තර දියුණුව යන උභය දියුණුවට මඟ කියා දෙයි. සමාජයට අවශ්‍ය පරිපූර්ණ දර්ශනයක් ඉදිරිපත් කරයි. ගිහියකු වශයෙන් මෙලොව දියුණුව සලසා ගන්නා ආකාරය පිළිබඳ කරුණු රැසක් විවිධ සූත්‍ර දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.

මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සඳහා උපකාර වන වැදගත් කරුණු රැසක් මංගල, සිඟාලෝවාද, වසල, පරාභව, වේළුද්වාර , ධම්මික , කුමාරිකෝවාද වැනි සූත්‍රවල දී පැහැදිලි කර දී තිබේ. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මීට අදාළ කරුණු රැසක් දක්වා ඇති අතර, මෙලොව දියුණුව සඳහා කරුණු හතරකුත්, පරලොව දියුණුව සඳහා කරුණු හතරකුත් එහි දේශනා කර ඇත. “චත්තාරෝ මේ ගහපති දිවසේ ඡම්ම හිතාය සුඛාය , සංවත්තන්ති, කථ මේ චත්තාරො ? උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා කල්්‍යාණ මිත්තතා, සමාජීවිකතා යනුවෙන් එය සඳහන් වෙයි. මෙලොව ජීවිතය අර්ථවත් භාවයට පත්කර ගත් විට පරලොව ජීවිතය අර්ථවත් වනු ඇත. මෙම කරුණු කවර සමාජයකට වුවද, කවර පුද්ගලයකුට වුවද ගැලපෙන ඒවා ය. ඒවා අනුගමනය කිරීම තුළින් ඒකාන්ත වශයෙන්ම මෙලොව දියුණුව සලසාගත හැකි බව බුද්ධ දේශනාව යි.

මෙලොව දියුණුව පතන ඕනෑම පුද්ගලයෙක් අනුනට දුකක් කරදරයක් හිරිහැරයක් නොවන පරිදි ධනය සපයා ගත යුතු වෙයි. දහදිය මහන්සියෙන්, දෑතේ වීර්යයෙන්, ධනය උපයාගත යුතු බව, බුදු දහම අවධාරණය කරයි. අධාර්මික වෙළෙඳාම් 5 ක් පෙන්වා දෙමින් අවි ආයුධ වෙළෙඳාම , මස් වෙළෙඳාම , සතුන් වෙළෙඳාම වහල් වෙළෙඳාම, වස විස වෙළෙඳාම යන මේවායින් වෙන්ව කංස කූට, මාන කූට, තුලා කූට, යන ඒවායෙන් බැහැරව උත්සාහයෙන්, වීය්‍ය¡යෙන් ධනය උපයාගත යුතු බව එමගින් අවධාරණය කැරෙයි. අතෘප්තිකර ලෙස ධනය උපයන පුද්ගලයා “ඌණෝ ලෝකෝ අතින්තො තණ්හා දාසො ....” ලෝකයෙහි කවර තරම් දෙයක් ලැබුණත් සෑහීමට පත් නොවන බවත්, ඒ නිසා ආධ්‍යාත්මික තෘප්තියත්, ඉවසීමත් අල්පේච්ඡතා ගුණයත් පුද්ගලයා සතු විය යුතු බව පෙන්වා දෙයි. එවිට පුද්ගලයාට උපයාගත් ධනයෙන් මෙලොව ජීවිතය සැපවත් කර ගත හැකි බව පැහැදිලි කරන ලදී. උපයන ලද ධනය සියල්ලම පාහේ වියදම් කොට එදිනෙදා පමණක් සැප විදීම අනුමාන නොකරන බුදු දහම එම ධනය මතු ජීවිතයට බෙදා ආරක්‍ෂා කර ගත යුතු බව පෙන්වා දෙන ලදී. කිසියම් මනුෂ්‍යයෙකුගේ මෙලොව දියුණුව සලසන ප්‍රධානතම සාධකය වනුයේ ආර්ථික තත්ත්වය නංවාලීම යි. ආර්ථික තත්ත්වය උසස් තත්ත්වයකට පත්කර ගැනීම ගිහි ජීවිතයක ඉදිරිගමන සඳහා අවශ්‍ය යි.

ගෘහ ජීවිතයේ දියුණුවට පවුලේ ආර්ථික ශක්තිය බෙහෙවින් බලපායි. එබැවින් එම ශක්තිය රැක ගැනීමට ගත යුතු පියවර ගැන බුදු දහමින් මඟ පෙන්වා ඇත. ධනය ඉපැයීම පමණක් ප්‍රමාණවත් නොවේ. එහි මනා සුරක්‍ෂිතභාවයද අවශ්‍ය වේ. කුල සූත්‍රයෙහි සඳහන් පරිදි කිසියම් පවුලක් සතුව ඇති දෑ නැති වන විට ඒ වෙනුවට අලුතින් රැස් කිරීම් නොකරන්නේ නම් එම පවුල පිරිහීමට පත් වේ. එසේම දිරා ගිය දේ ප්‍රතිසංස්කරණය නොකිරීමද පරිහානියට හේතුවකි. ආහාරපාන ඇදුම් පැලඳුම් ආදිය සඳහා අධික වියදම් කිරීමද පවුලේ පිරිහීමට හේතුවන්නක් බව කුල සූත්‍රයෙහි සඳහන්වේ.

පවුලේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් මනා සුහද සම්බන්ධතාවක් තිබීමද ගෘහස්ථ ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍යයි. ඔවුනොවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳ බුදු දහමේ සඳහන් වන්නේ එබැවිනි. මවුපියන්ගෙන් දරුවන්ට හෝ දරුවන් ගෙන් මවුපියන්ට හෝ ඉටුවිය යුතු දෑ කුමන පක්‍ෂයකින් හෝ ඉටු නොවුණහොත් එම පවුල තුළ මනා මවුපිය දූදරු සම්බන්ධතාවක් ඇති නොවේ. සාමාජික සෙසු සබඳතාද යහපත් විය යුතුය. සම්බන්ධකම් සුරක්‍ෂිත වීමට හා දියුණුවීමට යුතුකම් ඉටු කිරීම අතිශයින්ම උපකාරී වේ. ගිහි විනය ලෙසින් හැඳින්වෙන සිඟාලෝවාද සූත්‍රයෙහි විශේෂ අවධානයක් යුතුකම් ඉටු කිරීම පිළිබඳ යොමු කර ඇත්තේ එම නිසාය.

සාමාජික දියුණුවට අදාළ බෞද්ධ උපදෙස් පිළිබඳ අවධානය යොමු කිරීමේදී පළමුව පංචශීලය ගැන සඳහන් කළ යුතු ය. බෞද්ධයන්ගේ නිත්‍ය ශීලය වන්නේ ද පන්සිල් ය. පන්සිල් රකින සමාජය ආරක්‍ෂිත සමාජයකි. පළමු ශික්‍ෂාපදය නොරැකෙන සමාජයේ නිතරම ජීවත් වන්නට සිදුවන්නේ කුමන මොහොතක හෝ තමාගේ ජීවිතය අනෙකකු විසින් විනාශ කරනු ලැබිය හැකි ය යන සැකයෙන් හෝ බියෙන් යුතුව ය. දෙවන ශික්‍ෂාපදය ආරක්‍ෂා නොවන සමාජයේ පවතින්නේ කුමන මොහොතක හෝ තමාගේ ධනය අනෙකකු විසින් ලැබිය හැකිය යන සැකයෙන් හෝ බියෙන් යුතුවය. එම ශික්‍ෂාපද සෑම දෙනාම විසින් ආරක්‍ෂා කරනු ලැබේ නම් සැකයෙන් බියෙන් තොර සමාජයක් ඇති වේ. කාම මිථ්‍යාචාරයෙන් වැළකෙන විට සමාජයෙහි කාම අපරාධ සිදු නොවේ. අඹු සැමියන්ට අන්‍යොන්‍ය සැකයෙන් තොරව සාමකාමී පවුල් ජීවිත ගත කිරීමට අවස්ථාව සැලසේ. මුසාවාදයෙන් වැළකුණු සමාජයෙහි කවරෙකු හෝ විසින් තමා රවටනු ඇතැයි යන සැකයෙන් තොරව ජීවත් වීමට හැකිවන අතර පස්වන ශික්‍ෂාපදය රැකෙන සමාජයෙන් මත්ද්‍රව්‍ය නිසා සිදුවන විවිධ අපරාධ , දූෂණ, ධන පරිහානි, සෞඛ්‍ය පරිහානි ආදියෙන් තොරව සිහි බුද්ධියෙන් ක්‍රියා කරන සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහිවනු ඇත. මෙසේ පංච ශීලය ආරක්‍ෂා වන්නේ නම් සාමාජික වශයෙන් ඇති වන දියුණුව ඉමහත්ය.

ගුණ දහම් දියුණුවක් නැත්නම්, මිල මුදල් තිබුණු පමණට දියුණුයි කියා කිව නොහැකි ය. එබැවින් පංච දුෂ්චරිතයෙන් වෙන්ව කටයුතු කළ යුතු වන්නේ ය.

වේළුද්වාර සූත්‍රයේ සඳහන් වන අත්තූ®පනායික ධර්ම පර්යාය ද සාමාජික දියුණුවට උපකාර වන ඉගැන්වීමකි. තමා විදීමට අකැමැති දුක්වේදනා අන් අයට විඳීමට සැලසීමෙන් වැළකිය යුතු බව එම ධර්ම පර්යායෙන් පෙන්වා දෙයි. යමෙක් මා හට අයත් දෙයක් සොරකම් කරයි නම් එයට මම අකැමැති වෙමි. මා ද අනෙකකුට අයත් දෙයක් සොරකම් කරන්නේ නම් හෙතෙමේ ද එයට අකමැති වෙයි. මා අපි‍්‍රය කරන දේ අනෙකාට ද අපි‍්‍රයයි. එබැවින් මා අපි‍්‍රය කරන දුක් වේදනාව අනෙකකුට විඳීමට සැලසීම සුදුසු නොවේ. යනාදී වශයෙන් කල්පනා කර තමා ද සොරකමින් වැළකෙයි. අනෙක් අය ද සොරකමින් වළක්වයි.

සොරකමින් වැළකීමේ වටිනාකම ද කියා දෙයි. ප්‍රාණඝාතාදී අනෙකුත් අකුසලයන්ගෙන් වැළකීමේ දී ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙම ධර්ම පර්යාය සමාජයේ සියලු සාමාජිකයන් විසින් අනුගමනය කෙරෙන්නේ නම් සාමාජික වශයෙන් ඉමහත් දියුණුවක් සැලසෙයි.

වසල සූත්‍රයේ සඳහන් වන සමහර වසලකරණ ධර්ම, පැහැදිලිව ම සාමාජීය දියුණුවට බාධක ය. ණය හිමියකු ණයකරුවකුගෙන් තම ණය මුදල ආපසු ඉල්ලූ විට මා ඔබෙන් ගත් ණයක් නැතැයි ණය ගෙවීම වංචනික ලෙස පැහැර හැරීම, බැහැර නිවසකට ගිය විට එහිදී තමාට ආහාරපානවලින් හොඳින් සංග්‍රහ කළ විට තම නිවසට පැමිණි විට පෙරළා ඔහුට සංග්‍රහ නොකිරීම වැනි කරුණු ඒ අතර වේ.

ගිහි විනය යන ජනපි‍්‍රය නාමයෙන් හැඳින්වෙන සිඟාලෝවාද සූත්‍රයෙහි ඇතුළත් කරුණු මෙලොව පුද්ගල සංවර්ධනයට මෙන්ම සමාජ සංවර්ධනයටද මඟ පෙන්වන සර්වකාලීන වටිනාකමක් ඇති ඉගැන්වීම් ය.

පවුල් ජීවිතයේ න්‍යෂ්ටිය වන අඹු සැමි සම්බන්ධය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය උපදෙස් අං. නි. සංවාස සූත්‍රය ආදී දේශනාවන්ගෙන්ද ඉදිරිපත් කර ඇත. දීඝ නිකායේ චක්කවත්ති සීහනාද , කූට දත්ත වැනි සූත්‍රවලින් ඉදිරිපත් කෙරෙන කරුණු වලින් දේශපාලනික හා ආර්ථික ක්‍ෂෙත්‍රය කෙරෙහි බුදුදහම දක්වන අවධානය පැහැදිලි වෙයි. මෙම කරුණු හා මෙබඳු තවත් බොහෝ දේශනා කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ පුද්ගලයන් විසිනි. බුදුදහම මෙලොව ප්‍රගතිය හා සම්බන්ධ නොවූ දහමක් ලෙසයි හඳුන්වනු ලබන්නේ.

සමස්ත කරුණු සලකා බලන විට ප්‍රසන්න දිවිපෙවෙතකට මඟ පෙන්වන, සාමාජික ජීවිතයේ දියුණුවට මඟ පෙන්වන උපදෙස් රැසක් බුදු දහමෙහි අන්තර්ගතව ඇති බව මැනවින් අවබෝධ වන අතර, බුදු දහම වැඩිදුර හදාරන විට එබඳු උපදෙස් තව තවත් දැන ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව බුදුදහම මෙලොව ජීවිතයට ප්‍රයෝජනවක් නැති දහමකි යන මතය කිසි පදනමක් නැති, අවිචාරවත් එකකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.