Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරය

ජනතාවට සහනය සැනසිල්ල ලබාදෙන පුණ්‍ය භූමිය ගමේ විහාරස්ථානයයි. මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නිමලව ග්‍රාම නිලධාරී වසමේ ය.

මල් මොරකැටිය, හල්ගස්හේන, නිමලව, ඉඳිගස්හේන, හේනේගම දකුණ, පරගහවත්ත, හල්පේ, සැමිඩෙල් වෙරළුගහ හේන තෙපුදෙණිය යන ගම්මාන සියල්ල සතර පෝරුවේ දායක ගම් වේ.

ඓතිහාසික වශයෙන් වැදගත් පුණ්‍ය භූමියට අයත් ඉඩම සැමිඩෙල් වතුයාය හිමි වූ දොන් හෙන්ද්‍රික් ද සිල්වා සිටුගේ තේ වත්තේ අප්පුහාමි නමැති දානපතියකුට අයත් ය. ඔහු විසින් 20 වන සියවසේ මුල දී අක්කර 02 ක් පමණ භූමිභාගයක් වෙන් කර කුඩා විහාර මන්දිරයක් තනා ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතු කර ගැනීමට සලසා දී තිබුණි. එවකට හේනේගම ශ්‍රී සුධර්මාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ හේනේගම ශ්‍රී මේධානන්ද මාහිමිගේ ආචාර්යෝත්තම අතුරැලියේ ඉන්දරතනාභිධාන මා හිමිගේ මඟ පෙන්වීම යටතේ ඉහත කී දානපතියා විසින් අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 1912 වර්ෂයේ දී රු. 250, 000 ක් පරිත්‍යාග කර ඇත. එම උතුම් පරිත්‍යාගය සිහි කිරීම වස් එවකට ධර්ම දූත ව්‍යාපාරයේ යෙදී සිටි ගෞරවණීය අනගාරික ධර්මපාල උතුමාණන්ගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අන්කුරයක් (පැළයක් )පාත්‍ර ධාතුවක තැන්පත් කර අනුරාධපුරයේ සිට විශාල පෙරහැරකින් උත්සවාකාරයෙන් වඩමවා ගාල්ල අකුරැස්ස පාරේ තෙපුදෙණියේ පිහිටි මෙම පුණ්‍ය භූමියේ රෝපණය කර පුද සත්කාර කළ බව ඉතිහාසය සාක්‍ෂි දරයි. ඒ 1913 වර්ෂයේ දී ය.

මේ දානපතියාගේ අභාවයෙන් පසු ඔහුගේ මුනුපුරු ජේ.ඇස්. ද සිල්වා සිටුගේ මහතා විසින් දෙහිගස්පේ ගුණානන්ද, හුලංදාවේ ශ්‍රී සුමන, මත්තේහේනේ පියරතන, පාතේගම ගුණරතන, බම්බලපිටියේ නාරද හිමිපාණන් වැනි යතිවරයාණන් වහන්සේලා වර්ෂයක් පාසා වස් වස්සවා සවස් කාලයේ අලි ඇතුන් සමගින් සැම්ඩෙල් බංගලාවේ සිට මහ පෙරහරින් වඩමවා මෙම ස්ථානයේ පින්කම් පවත්වා ඇති බව පැරැන්නෝ පවසති.

මෙම ස්ථානය වල් බිහි වූ බැවින් හේනේගම විහාරාධිපති ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම මත 1975 පොසොන් පුර පසළොස්වක පොහෝ දින ප්‍රදේශයේ දායකකාරකාදී කිහිප දෙනෙකුගේ ආරාධනය පිට ශාස්ත්‍රවේදී පණ්ඩිත කනංකේ මහානාම හිමිපාණන් වැඩම කිරීම නිසා නව යුගයක් උදා කිරීම ආරම්භ විය. මෙම අවස්ථාවේ එවකට මෙම ප්‍රදේශයේ සේවය කළ ඉඩම් නිලධාරී විසින් අක්කර 47 ක ඉඩමෙන් අක්කර 03 ක් පමණ පූජා භූමියට වෙන් කරවන ලදී. මාතර සහකාර දිසාපති චන්ද්‍ර රණසිංහ මැතිතුමාගේ උපදෙස් මත උන්වහන්සේට 1978 වර්ෂයේදී දායකයින් විසින් සාදා දෙන ලද තාවකාලික ගොඩනැගිල්ලේ වස් වස්සවා තාවකාලික ධර්ම ශාලාවක්ද සාදා පින්දහම් ආගමික කටයුතු වල නිරතව සිටි බව පැවසේ.

චෛත්‍යරාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් 1990 පොසොන් මාසයේ දී නිමකරනු ලැබීය. ඉන් අනතුරුව විහාර කෘත්‍යාධිකාරී ආචාර්ය හේනේගම මංගල ස්වාමීන් වහන්සේගේ බලවත් කැපවීමෙන් දායක සභාවේ ද සහාය ඇතිව අංග සම්පූර්ණ පුස්තකාලයක් තනවන ලදී.

මෙම කටයුතු කිරීමේදී විහාරාධිපති කනංකේ මහානාම හිමිපාණන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී ආචාර්ය හේනේගම මංගල හිමිපාණන් දායක සභාව හා කුළඟන සමිතියේ සහායද ලබාගෙන මෙය අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් කිරීමට කැපවීමෙන් කටයුතු කර ඇත. මෙහි අංග සම්පූර්ණ දහම් පාසලක් ද, පෙර පාසලක්ද ඉතාමත් සාර්ථකත්ත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ.

විහාරස්ථානයේ සියලු සංවර්ධන කටයුතු නිමා කර 30 වසරක් පිරීම හා විහාරාධිපති මහානාම හිමිපාණන්ගේ 75 වන ජන්ම දිනය නිමිති කරගෙන 2008.12.09 වන දින සවස 05.30 ට අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්මදේශනාවක්, පින්කම් සහ එදින සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ පසුදා දහවල් මල්වතු මහා විහාරීය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවන් පිරි නැමීමටද කටයුතු යොදා ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.